කළල

මට ඇහෙන්නේ මුහුදේ හෝ සද්දේ විතරක් නෙමෙයි...ඔරලෝසුවේ තප්පර කට්ටේ නැවතිල්ලක් නැති 'ටික් ටික්' සද්දෙත් එක දිගට ඇහෙනවා...රිද්ම හිටියේ නිදාගෙන නෙමෙයි කියලා මට තේරුනත් එයාට ඕනි වෙලා තිබ්බේ එයා නිදිබව මට අඟවන්න...ඇඳ ගාවම තිබ්බ ටීපෝව උඩ ගෝල්ඩ්ලීෆ් පැකට් එකක් හාන්සි වෙලා ඉන්නවා...මම එක ගෝල්ඩ්ලීෆ් සිගරට් එකක් තොල් අස්සෙ තද කරගෙන ලයිටරයෙන් පත්තුකරන්න හැදුවේ..'ශිටිශ් ශිටිශ්' සද්දේ එක්ක දෙපාරක් ලයිටරෙ ගහද්දි නිල් පාට දැල්ලකින් සිගරට් එක පිළිස්සුනා...ඊළඟ කාර්‍යය ඉහළට ලොකු හුස්මක් ගන්න එක...එහෙම ලොකු හුස්මක් ගන්නේ සිගරට් දුම ගර්ථ වෙනකන් යන්න ඕනි නිසා...ඔව් එහෙම නොගියොත් වැඩක් නැහැ....මම පළවෙනි දුම් පාර රිද්මගේ මූණට පිම්ඹා...හොරට නිදාගෙන හිටපු රිද්ම ඇස් හෙමින් ඇරියේ නෝක්කඩුවක් එක්කමයි...එයත් ඇඳ විට්ටමට මං වගේ හේත්තු වුනා...අපි දෙන්නම හිටියේ එකම ඇඳ රෙද්ද ඇතුලේ...මට එයාගෙ රස්නෙම රස්නේ කළවා දෙක මගේ කළව ගෑවි නොගැවී තියෙනවා දැනුනත් මම හිටියේ හිත මහන්සියෙන්....මුළු රැයක් කියන්නේ සුරතාන්ත කීයකට ඉඩ තියෙන කාලයක්ද...සුරතාන්ත හතරකට ඉඩ ලැබුනා...ඊට පස්සේ මට ඇහුනේ රිද්මගේ ඉහළට ඇද ගන්න හුස්ම වල සද්දේ...
"මට ඔයාට දෙයක් කියන්න ඕනි"
රිද්ම කොහොමත් කළබල වෙන මිනිහෙක් නෙමෙයි....මමත් එහෙමයි...අපි දෙන්නම දර්ශනවාදය ඉගෙන ගත්තේ එකට...රිද්ම හැමදාම තර්ක කලේ ආදරේ කියන්නේ ලිංගිකත්වයට දෙන පර්යාය වචනයක් කියලා...ඒ දවස් වල කැම්පස් එකේ 'උණ ' තියෙන සෙට් එකේ විනෝදාංශය වුනේ ආදරය ලිංගිකත්වයෙන් පෙරලා වෙන් කරන්නේ කොහොමද කියන එක ගැන...කෝපි කෝප්ප දහයක් හිස් වෙලා ගියත් ඒ තර්ක කිරිල්ල නතර වුනේ නැහැ...ඒත් එතනදි සමහරු තමන්ගේ තර්ක වලින්ම  අළු ගසලා ආදර කතා වලට මුළ පිරුවා...සමාවෙන්න , ඒ ආදර  කතා   වලදි උන් ටික ලිංගිකත්වයෙන් පරම වුනු ප්‍රේමයක් ගැන වචනයක් වත් කතා බහ නිවිච්ච බව සහතිකයි...අන්තිමට ඉතිරි වුනේ මමයි රිද්මයි හිස් කෝපි කෝප්ප ගොඩකුයි...අපි පටන් ගත්තෙම තර්කයකින්...අන්තිමට තර්කය අමතක වෙච්ච ගානට රිද්ම හැසිරුනා...මම හිතන්නේ ආදරේ කියන්නේ ඒකට වෙන්න ඇති...රිදමගෙන් ලැබුණු පළවෙනි සුරතාන්තය එක්කම අපිට තර්කයට උත්තරයක් ලැබුනා...ආයිත් තර්කය සනාථ කරන්න  සාක්ෂි අවැසි නැති වුනත් මමත් රිද්මත් කල්පිත පරික්ෂාවෙන් අයින් වුනෙ නැහැ...ආයිත් ආයිත් අපි සුරතාන්තයකට පස්සේ ඇති  වෙන හැඟිම ගැන නිර්වචනය කරන්න හැදුවා...හැබැයි තනි තනිවම...
රිද්ම මුකුත්ම නොකියා මං දිහා බලාගෙන හිටියා...ඒ එයාගේ හැටි..
"මම අම්මෙක් වෙන්න යනවා"
ඒ වෙලාවේ රිද්ම එක පාරටම ගැස්සුනා...ඒක සාමාන්‍යයි...රිද්ම ඇස් ලොකු කරගෙන බලාගෙන හිටියා විතරයි....මට ඕනි වුනේ ඇරිස්ටෝටල් හරි වෙන කාව හරි  රිද්ම ඇදලා අරගෙන 'කාන්තාවක් ගැබ් ගැනිම හුදෙක් ලිංගිකව හැසිරිච්ච බවට ප්‍රසිද්ධ රහසක ප්‍රතිමූර්තියක්   ' කියලා තර්ක කරනවට..ඒත් එයා කලේ සම්පූර්ණ ඇඳ රෙද්දම එයා සන්තක කර ගත්ත එක්ක...,ඒක  නිසා  මට සිද්ද වුනේ නිරුවතින් ඇඳේ තනි වෙච්ච එක..
"ලෑස්ති වෙන්න..මම දන්න තැනක් තියෙනවා...එතනට යමු...ගාණත් ප්‍රශ්නයක් නැහැ"
මම බාගෙට පිළිස්සිච්ච  සිගරට් එක පුළුවන් තරම් හයියෙන් රිද්ම දිහාවට විසි කලා...ඒත් සිගරට් එක  රිද්මට ගෑවි නොගෑවි  ගිහින් වතුර කෝප්පයකට වැටුනේ "චිරිස් " සද්දෙට නිවෙන ගමන්..

Comments

  1. උදේ පාන්දර බුකි බිත්තියෙත් දැක්කා....හරිම අපූරු ලියවිල්ලක්.....රහයි.....
    නැවතිල්ලෙ කල්පනා කරන්න පුන්චි දෙයක් ඉතිරි කරලා.....

    ReplyDelete
    Replies
    1. බොහෝම ස්තුතියි අදහස් දැක්වූවාට 😊

      Delete

Post a Comment

Popular Posts