රට හුණු මල්


සරදාට තාම වෙසක් පෝයවල් පහක වයස පිරුනා විතරයි....බෙල්ල ගාවට වවපු කොණ්ඩෙ ගැට පිච්ච මලක් ගහගෙන 'අම්මා මේ බලන්න මම මල් කුමාරියෙක් වගේ නේද ' කියලා සරදා අහනකොට සරදාගෙ අම්මා රස්නෙම රස්නේ හාච්චියක් කම්මුළට තද කරලා තියනවා...සරදාට තිබ්බේ පුංචි කළුම කළු බෝල ඇස්...සරදාගේ මාමා වෙච්චි ගුණේ මාමාට ඒ ඇස් පෙනුනෙම පුංචි කුරුමිණියෝ වගේ....'කෙල්ලේ උඹට තියෙන්නේ කුරුමිණි ඇස්' කියලා ගුණේ මාමා කියද්දි සරදා තොල් කණපිට පෙරලලා 'මම ආස නෑ වුන්ට' කියාගෙන අම්මා ගාවට දුවගෙන යනවා...සරදලාගේ ගෙදර බඩගින්න කියන්නෙම හරියට සුලඟ හමනවා වගේ සාමාන්‍ය දෙයක්....උදේ වේලක් කෑවොත් දවල් වේලට අසෝක වීදුරුවකින් එකක් වතුර බීලා බඩ පුරවා ගන්නවා...පුංචි සරදාටත් බඩගින්න හුරුයි...ඒ නිසාද කොහෙද එයාට ලස්සනට හිනා වෙන්න රස කෑම බීම ඕනි වුනේම නැහැ...සරදාගේ අම්මා ඉරිදා දවස් වලට කුලී වැඩ ඉල්ලගෙන ගෙයක් ගෙයක් ගානේ යන්නේ නැහැ...එදාට එයා ගෙදර වැඩපල කරගෙන ඉන්නවා...උදේ කාලෙම වැඩ කරලා මහන්සි වුනාම මුළු සතියකම මහන්සි දිය කරලා දාන්නේ දවල් නිදාගෙන තමා...ඒ වෙලාවට සරදා කරන්නෙ අම්මා ගාවට ගිහින් තුරුළ් වෙලා ඉන්න එක...අම්මා ගාව හරිම සුවඳයි...සරදා අම්මගේ පපුව මැද්දේ එයාගේ මූණ ඔබාගෙන හෙමින් හුස්ම ගන්න ආසයි...අම්මගේ පපුව ලස්සනට ගැහෙනවා..සරදා ඒකට ආසයි...අම්මට ඉතින් හොදටම නින්ද ගියාම සරදාට කම්මැළි හිතෙනවා..හොදටම නිදා ගත්තම අම්මා ටිකක් ගොරවනවා...අහස තරම්ම නෙමෙයි...ඊට වඩා ටිකක් අඩු සද්දෙකින්...සරදා හෙමින් අත් දෙක ලිහලා දාලා අම්මගේ තුරුළෙන් ඈත් වෙලා මැද සාලෙට ගියා..සාලේ කිව්වට ලොකු ඉඩක් නැහැ...සරදා ඉස්සරහ පාරේ යන මිනිස්සුන්ගේ රූප රට හුනු කෑල්ලෙන් බිම කුරුටු ගාන්න ආසයි..රට හුනු සුදු පාටයි..ඉක්මනට කෑළිත් කැඩිලා යනවා...ගුණේ මාමා ඇවිත් දොර ගාව හිටගන්නකන්ම සරදා දැක්කේ නැහැ...සරදා හිටියේ රට හුනු කෑළ්ලෙන් පිච්ච මල අඳින ගමන්...පිච්ච මලට පෙති පහක් ඇඳලා ඉවර වෙන කොට තමා ගුණෙ මාමා ඇවිත් කියලා දැක්කේ...වෙනදට කුරුමිණි ඇස් කියලා විහිළු කරාට එයා අද එහෙම කලේ නැහැ..සරදා දිහා බලලා එයා හිනා වුනා ...එයා සරදා ගාවට එනකොට රට හුනු කෑළ්ළ ගුණේ මාමගේ කකුළට අහු වෙලා 'ටික්' සද්දයක් එක්ක කැඩිලා ගියා...සරදාගේ පිච්ච මලේ පෙති ඔක්කොම කැඩිලා ගියා...සරදාව ගුණේ මාමා වඩා ගත්තමත් සරදාගේ කටින් මුකුත් පිට වුනේ නැහැ...සරදාව එයා වෙනදටත් වඩා ගන්නවා නෙහ්....ගුණෙ මාමා හෙමින් සරදා එක්ක වැට පැනලා යන්න ගියා...අහස වුනත් ඇස් වහගෙන ඉන්න ඇති ...තැඹිලි ගහේ ඇට්ටි පවා බිමට වැටුනා...හරියටම ඉර බැහැලා පායන කොට සරදා හිටියේ කුණු කානුවක සදහටම නිදාගෙන...ඒත් සරදාගේ මුහුණේ යාන්තම් හිනාවක් කාණුවෙන් පිට හිටපු මිනිස්සු දිහාවට පා කරලා තිබ්බා...

Comments

Popular Posts