Sunday, January 29, 2017

මම, අහස සහ පොළව

මම අයිති වුනේ අහසටවත් පොළවටවත් නොවෙන විත්තිය මම කලින් ඉදන්ම දැනගෙන හිටියා. වායු බුබුළක් වගේ එහෙමත් නැත්නම් අන්වික්ෂීය දුලි අණුවක් වගේ මම ඉතා ක්ෂුද්‍ර පැවැත්මකින් සෑහෙමින් , පාවෙමින් හිටියා. ඔහු අවේ නිරිතදිග මෝසම වගේ කිසිම පෙර දැනුම් දීමකින් තොරව.

ඔහු පුර්ණවම පොළව හා ගුරුත්වයෙන් සම්බන්දව අහස දෙස බලමින් ,  තරු රටා  තමන් කැමති නම් වලින් නම් කිරීම්  කරමින් , පින්න නිසා නහය දන බව හඟවමින්. මම ඔහුව දැක්කේ මුලින්ම පුංචි තිතක් විදිහට. දිලිසෙන පුංචි තිතක්. ක්‍රිම්සන් පැහැ අංශුවක් කියලා මං රැවටෙමින් ඔහු අසලට වඩවඩා ලං වුනා. ඒ දැක්ක ආලෝක තිත ඔහු නොවෙන වග ළඟටම යනතුරු හදුනාගන්න බරුවිම ඇත්තටම මගේ වරද,ඔහු තිත දල්වාගෙන සිටින්නා පමණයි.ඒ ආලෝක තිත ඔහු මුව දුම් පැහැයට හරවන දැල්වු හිසින් යුත් දුම්වැටියක්.

මම කිසිම දවසක  මගේ වටා ආලෝකයක් පැවතිය වග දැනගෙන හිටියේ නැහැ. ඉතින් මේ තරම් දැඩි කලුවරක  ඔහු මා දකී කියන කාරණය ගැන මම වදවුනේම නැහැ..

“ මම හිතුවේ ඔයා තරුවක් කියලා. අහසෙන් බිමට පැනල ජිවිතය නැති කරගන්න හදන”

මම එතකොට තමා මගේ ප්‍රභාව දැක්කේ.. කළුවරේ ආලෝකමවත්  පැවැත්ම ඉතා අනතුරුදායක විත්තිය මම දැනගෙන නොසිටියාම නෙමෙයි. ඒත් එය මට එතරම් වැදගත් විදිහට මතක් කරලා දෙන්න පරිසරය සුදානම් වෙලා හිටියේ නැහැ.

“නැහැ මම තරුවක් නෙමෙයි. මම හිතුවේ ඔයා පොඩි ක්‍රිම්සන් තිතක්ය කියලා.”

අපි කතා කරා. එයාට තිබ්බේ මායාවක් වගේ කටහඬක්. එයා එයාගේ කටහඬින් මාව එක තැනක සීරුවට තියාගෙන බොක්ස් ගිටාර් තතකින් මගේ කකුලක් ගෙට ගහගත්තා. මම හිටියේ ‘ මෙන්න මගේ කකුළ. ඔන්න ගැට ගහගන්න’ තාලෙට. එයා සිංදු කියලා ඉවර වුනාට පස්සේ මට ආදරෙයි කිව්වා. එයා මගෙන් ප්‍රශ්නයක් ඇහුවා නොවුනත් එතන උත්තරයක බලාපොරොත්තුවක්  තියෙන බව මට ඉවෙන් වගේ දැනුනා . මට තිබ්බ ලේසිම තෝරාගැනීම ‘ඔව්’ කියන එක. ‘නැහැ’ කියන එක අවස්තානුකුලව අපහසු උත්තරයක්. මම වැඩි මහන්සියක් නැතිවම පහසු උත්තරය තෝරගත්ත.

මම පොළවට ඉතා ආසන්නව හිටියත් තවමත් ගුරුත්වය එක්ක තිබ්බේ අල්ප වූ සම්බන්දයක් .මගේ පය වෙලා හිටිය  ගිටාර් තත, ඔහුගේ බල කිරීම පොළව හා පයුරුපාසානම් පවත්වාගෙන යන්න. මට එයාව සිපගන්න ඕනි වුනා. ආදරේ කියලා කියකියා කාලේ ඔහේ දියකරලා දන්නා ඕනි වුනා. නිතර මා වෙනුවෙන් වෙන් කරන ලද කාලයේ සලාක වල උවමනාව මට තිබුනා. නමුත්, ඔහු ඒ ගැන හිටියේ සැකයෙන්. ‘ආදරේ එසේවිය හැකිද,’ කියලා දෙගෙඩියාවකින්. “මට පුදුමයි ඔයා මාව හරියට දන්නෙවත් නැතිව ආදරේ ආදරේ කියන එක ගැන. අඩුම ගානේ ඔයා මං කවුද කියන එකවත් නොදැන.”

මහ පොළව මතදී ආදරය නිතරම සැකය වගේම අවිශ්වාසය එක්ක පවතින බවත් , එකවරම සුරංගනා කතාවල මෙන් ආදරේ ප්‍රථම වචන හුවමාරුවෙන් ඇති නොවෙන්නක් බවත් මම ඉගනගත්තා. හාද්දක් සඳහා කල්පයක් හෝ දෙකක් ඉවසිය යුතුය වගේ නීති පවා පවතින වග!!! ඔහු කිව්වේ පොළව හෝ අහස හා බැඳීමක් නැත්තියක් හා ප්‍රේමයෙන් බන්ධනය එතරම් විශ්වාසනීය නොවෙන විත්තිය. මම ඒ වෙනකොටත් ඔහු වෙනුවෙන් මගේ හදවතින්ම කොටසක් බදු අරගෙන ඉවරයි.ඒ ඔහු ඒ බද්ද ගෙවයි කියලා තිබ්බ විශ්වාසය නිසා.නමුත් ඔහු බද්ද ගැන මතක් කරනවට කැමති වුනේ නැහැ.

“එක්කෝ පොළව, නැත්නම් අහස.” ඔහු කිව්වේ එහෙමයි. මට අහසෙවත් පොළවේ වත් ඉඩක් හදාගන්න අමාරු විත්තිය දැනගෙන එහෙම කියන එක අසාධාරණ වග ඔහුට බාගදා නොතේරෙන්න ඇති.

“මට එහෙම කරන්න අමාරුයි. ඔයාට නොතේරුනාට මට පැවැත්ම තියෙන්නේ මෙන්න මේ වගේ හිස්තැන් වල විතරයි. අහස හෝ පොළව කියලා මට බෙදීමක් නැහැ.ඇලීමක් නැහැ.”

ඔහු හිනා වුනා.මම හිටියේ තවත් දිග පැහැදිලි කිරීමක් හිතෙන ගොනු කරමින්.ඒත් මගේ භාෂා දැනුම අල්පයි.වචන හිඟ වීම කියන්නේ එක්තරා සාපයක් වගේ. මම ඒ සාපය නිසා කිසිවක් කියන්න එඩිතර වුනේ නැහැ.

අන්තිමට මම තොරගත්තේ අත්හැරීම.වඩා අමාරුම තෝරාගැනීම. වඩා වේදනාකරිම දඩුවම.

ඔහු “මම යනවා” කියපු ගමන්ම මට යන්න ඇරියා. ගිටාර් තත් හා මායාකාරී කටහඬ ක්ෂණිකව නවත්තල දැම්මා. පස්සේ ආයිමත් මම ටිකෙන් ටික ඉහලට ඉහලට සහ ඉහලට. ඔහු ආයිමත් දුම්වැටියක් දල්වා නොගන්නට ඇති. කඩා වැටෙන තරු තිබුනාට අහස කරා යන තරු නොමැති නිසා මම, ඉහල යන ගිනිගත් සරුංගලයක් මෙන් පෙනෙන්නට ඇති.

*************************************************************************************
“මම ඔයාට හදාගන්න ඕනි දේවල් එකිනෙක කියන්නම්.”

“හදාගන්න  දේවල් ? මොනවද මම හදාගන්න ඕනි?”

“ඔයාට බැරිද ඔයාගේ කටහඬ වෙනස්  කරගන්න. මට ඔයා ඔහොම කතා කරනකොට කේන්ති යනවා.”

“කේන්ති යනවා?මම කොහොමද කටහඬ වෙනස් කරගන්නේ. ඇරත් මට එහෙම කරන්න උවමනාවක් නැති කොට”

“ඔයා ලියන දේවලුයි ඔයාගේ හැසිරීමයි මහා පරස්පරයි. ඔයාට බැරි ඇයි ඔයා ලියන එව්වා වගේ ටිකක් බරෑරුම් විදිහාට හිතලා වැඩ කරන්න.”

“මම කැමති සැහැල්ලුවෙන් ඉන්න. ආදරේ කියන්නේ ඔලුව උඩ තියාගෙන බරට තියාගෙන ඉන්න ඕනි දෙයක් නෙමෙයි. ඔයාට ස්වභාවික මාව තේරුම් ගන්න බැරිනම් ආදරේ කිව්වේ ඇයි?”

“මම කිව්වේ ඔයාට ආදරේ වෙනුවෙන් ටිකක් වෙනස් වෙන්න කියලා විතරයි.”

“මට හාද්දක් දෙන්න. ටිකක් දිග එකක්.”

“අපි යාලු වෙලා දවස් කියද?ඔයා ඔහොම හැසිරෙන්නේ ඇයි කියලා මට තේරෙන්නේ නැහැ.”

“හාද්දක් ඉල්ලන එක ඔය තරම් අපරාදයක්ද?ඇරත් ඔයා මට ආදරේ නම් ඇයි හාද්දක් දෙන්න අමාරු!!”

“පොළවේ පය ගහලා ඉන්න.ඔයාට තේරෙන්නේ නැද්ද එකේ තියෙන බරපතල වැදගත්කම ගැනවත් ටිකක්වත්”

“මට පොළවේ පය ගහලා ඉන්න මගේ කටහඬ වත් වෙන මගේ හැසිරිමවත් වෙනස් කරගන්න බැහැ. මට හාන්ඩ්ස් ක්‍රිස්ටියන් ඇන්ඩර්සන්ගේ අර දියකිඳුරියගේ කතාව් වගේ කැපවීමක් කරන්න උවමනාවක් නැහැ.ආදරේ කියන්නේ තිබෙන හැටියට බාර ගැනීමක් විතරමයි.මම මගේ විදිහ වෙනස් කරගත්තත් ඒක ගොඩක් කාලයක් මට පවත්වාගෙන යන්න පුළුවන් වෙන්නේ නැහැ. මොකද මම නිතරම මම විදිහට මතුවෙන නිසා.”

“මට අර කතාව කියන්න.දියකිඳුරිගේ කතාව.”

“ඔන්න එකමත් එක රටක........”

*************************************************************************************
පසුව ලියා තබමි,
මේ අවසන් වන්නේ තුන්වෙනි කෝපි කෝප්පය නිසාවෙන් හෙට උදැසන වන ශාරීරික අපසුව ගැන මට කල්තියාම අනාවැකි පැවසිය හැකිය. ලියන්නියක් වීමද එක්තරා අභාග්‍යයයක් වග මට මුලින්ම දැනුනේ මගේ ඉතා දිගු පෙම්වතුන්ගේ ලැයිස්තුව පිරික්සීමෙන් පසුවය. ඔහුන්ගෙන් සියයට අනූවක්ම පාහේ මා යැයි වරදවා වටහා ගත්තේ මා ලියූ දෑ වල හුස්මගත් අයවලුන්වය. ඒ නිසාවෙන්දෝ මගේ හදවත නිතරම පාහේ කැබලි වෙමින් නැවත සවිවෙමින් පවතියි. මම තවමත් ප්‍රේමය හඳුනාගෙන නොමැති වග පමණක් මම දනිමි. මගේ හොඳම මිතුරාගේ අදහස අනුව ප්‍රේමය යැයි අපි හඳුනාගන්නා බොහෝ දෑ මායාවන් ය. එවිට රෝමියෝ හා ජුලියට් ගැනද සාලිය අශෝකමාලා ගැනද සැක පහලවෙයි.

ප්‍රේමය යනු කියවා තේරුම් ගතහැක්කක්  නොවන්නේමය. එය අවබෝධ කරගත යුත්තක්මය. එය ගවේෂණය කර සොයාගත යුත්තක්මය.මම, මේ මොහොතේ සිට මගේ සැහැල්ලුව සහ සතුට ගමන් වියදමට ළඟ තබාගෙන ප්‍රේමය ගවේෂණය කිරීමට යන්නෙම්. එය කෝපි කෝප්ප කියක දුරක් වේ දැයි මටද නිච්චියක් නැත.මා  දන්නේ අවසානයේදී කෙසේ හෝ ප්‍රේමය මුණගැසෙන වග පමණයි.


Saturday, January 21, 2017

අකලංක

අකලංක
මේ මධු කලංක
නුඹ එවූ බව කියූ
හාදු වල සරු කොටස්ද
සුලඟේ නො එවා
පියාඹා එන්න බැරිමද

Monday, January 16, 2017

පාවෙනා තරුවකටය..

"මම වෙනුවෙන් ලියන්න" යැයි කියූ පළමු වැන්නා නුඹ නොවන වග පවසමි..ඉතින් මේ සටහන සියළු ගැටපද ලිහා ගනිමින් සීරුවට කියවීමේ වගකීම ඔබට පවරමි..

බී අවසන් කෝපි බඳුන්'තර අඩක් ලියා අවසන් කවි ය, ලියා අවසානයක් නැති පතරංග කවිය,ප්‍රේමය,කා නමින් නම් කරන්න දැ‍යි දෙගිඩියාවෙන් පසුවෙමි...විදුලි සංඥා ලෙස නුඹ වටා දැවටෙන මගේ සිනහව,එය පළුදුය,කිසිවෙක් නොවිමසන තරම් සීරුවට,කඳුළු ලාටු ගා අලවා ඇත්තෙමි...සබඳ නුඹ සවන ඒ පළුදු වලට සංවේදී නොවීම පුදුමයක් නොවෙයි..එය එතරම් ඉසියුම් වුව, මහත් වේදනා දනවන සුළුය...

සබඳ මම නුඹට මා හද මත කාලය සිතුවම් කළ දළ රූ සටහන්,අකුරු අමුණා ඇති ව්‍යාකරන වැරදි සටහන් පෙන්වමි..තුවාල වූ කවි වලින් ගැලූ ලේ සළකුණු පවා පෙන්වමි..බැලීම හෝ නොබැලීම නුඹෙ කැමැත්තය...මම නුඹට පෙනෙන ලෙස මා සතු ශක්තියෙන් හද ඉහළට ඔසවාගෙන සිටිමි..

මගේ පපුව රිදුම් දෙයි...ඒ ඇයි දැයි විමසන්නට කිසිවෙක්ම නොමැති විම, මේ රිදුමට වඩා රිදුමකි...මගේ ප්‍රේමය කිසිදාක නොදැකපු භූත ආත්මයක වෙනුවෙන් දන් දී දෑ වසරක්ය..ඒ භූතාත්මය කාලය ටික ටික දික්කරමින් මා වෙහෙසට පත් කරයි..මට උරහිසක් අවැසි මොහොතක, කමිස උරහිසකින් කඳුළු පිස දැමීමට අවැසි මොහොතක, ඔහු, නෑවිදින් සැඟව යයි... ඉතා දැඩි සීත වැළදගැනීමක් අවැසි විට පවා ඔහු නොපැමිණ මඟහැර නික්ම යයි..ඔහුව කිසිදාක මම දැක නැත්තෙමි..මම දන්නා එකම දේ මා ,ඔහු වෙනුවෙන් කාලය නිකරුනේ පුළුස්සන වග පමණි..

ප්‍රේමයේ හෙවනැලි පමණක්ම මා දැක ඇත්තෙමි...මගේ සිහින වළාකුළු මෙන් ඉහළය...සති අන්තවල තෝසේ කඩවල උඳු වඩේ හා සාම්බාරු සුවඳ විඳීමට මට අවැසිය...පේරාදෙනිය රොබරෝසියා ගස් යට පරව ගිය මල් වලින් සිහින ගැන විමසීම අවැසිය... සියළු දෑ ක්ෂ්ණිකව අතහැර පැතලි උරහිසක හිස හොවාගෙන කැමති කවි පද සෙමින් මිමිනිම අවැසිය..

නුඹ පැමිණියේම ඒ සියල්ලම මම කැමතිම පාට මල්ලක දමාගෙනය..මම තවමත් වික්ෂිප්තව නුඹ ගැන මනස වෙහෙසවමි... නුඹ පැමිණියේ කොහෙ සිටද??අර පේන නිහාරික දූවිල්ලේ සිටද.. නැතහොත් කඩා වැටෙන තරුවක වල්ගාවක සිටද.
.
ගිටාරයේ තන්තු පෙළන හඬ හා මුසුව ඇසෙන නුඹෙ හඬ,මා හදවතේ තනුවට සමාන්තරව වැයෙන හැටි!!නුඹ ගයන විට මම සිත සෙමින් සූරමි...නුඹ බාගදා නොදන්නවා විය හැකිය... නුඹේ හඬ ඔහු නමින් නම් කළ බොහෝ කඳවුරු පුපුරවා හැරිය වග...නමුදු නටඹුන් එහෙම්මමය..මට කාලය බොහෝ සේ අවැසිය..

නුඹ හිස තබාගන්න උරහිසක්ද,ඇවිදින විට අල්ලා ගන්න දෑතක්ද හා කාලය නැමැති වියළුණු මලක පෙත්තක්ද මා නමින් වෙන් කිරීමට සිටින වග දැනෙයි..මමද සිහිනයෙන් අවදිව නුඹෙ අත අල්ලාගෙන පේරාදෙනිය වලේ මනමේ බලන්නට ආසාවෙන් සිටිමි.. නමුදු මම බියෙන් සිටිමි... අහේතුකව මම බියෙන් සිටිමි...

ඉගිල යන කදෝකිමි තරු සිටින අමාවක කළුවරක,නුඹෙ උරහිසට බරව , ගිටාරයේ ස්වර කම්පනයන්ට දැහැන් ගත වෙමින් අතීතයට පිටුපා සිටගන්නට මම ආසා කරමි...ආසාව අනෙක් සියළු ආසා මෙන්ම බිඳී විසිරී ගොස් නැවත හදවත තුවාළ වුවොත්??..ඒ නිසා මම නිරුත්තරව පසුවෙමි






Thursday, January 12, 2017

නමක් නම් කළ නොහැක

මේ කිළිටි ඇඳ ඇතිරිලි, සමනල් ස්ටිකර් ඇලවූ සැටින් ජනෙල් රෙදි මාස කිහිපයකට පසුවද එලෙසම පවතියි...ඇය සියළු දෑ අතහැර දෙව්ලොවට ගිය වග සමර ගෑ බිත්තියේ එල්ලී බලා සිටිනා හූනා බාගදා නොදන්නවා විය හැක...ඇය දිනපතා දැල් වූ සුගන්ධවත් ඉටි මල අඩක් දැවී නිවී ගොසිනි...මේසය අසල බොන්සායි ගස, ඇය ඉතා ආසා කල, නමුදු හැර දමා යාමට සිදු වුන, ඇය කැමති අකමැති සෑම දේම පැවතියද,ඇය සොයාගත නොහැකිය...සොයා යෑමද රිදවනා සුළුය...



මීට වසර ගණනකට පෙර,එදා මහ වැසි වැටුන, ඇය තම සිඟිත් දෑතින් මා දබරඟිල්ල අල්ලා ගත් මොහොත මට සිහියට එයි...ඇය සිඟිති ස්වර සුසර කර "අම්මා" යැයි කියූ දින හදවතේ මා නොදත් තැන්නක ඉතිරිය...


ඇය සිය විසි එක්වෙනි උපන්දිනයට සිටියා නම්, දැන් මා අතේ රැඳි මේ විසල් සෙල්ලම් වලසා ඇය තුරුළේ සිටින්නට ඉඩ තිබුණි...විකිරණ ප්‍රතිකර්ම නිසා හිසින් බැස ගිය කොණ්ඩා ගස් ගැන පවා ඇය වද නොවුන බව මට මතකය...දෑත් කෘෂව යන විට , දෙතොල් අවපැහැ වන විට "මට සනීප වුනාම හැමදේම හරියාවි" යැයි ඇය දෑස් සිහින් කර සිනාසුනා මතකය...ඇය බෙහෙත් කටු සම පසාරු කරන විට පවා සිනහසුනාය... "මට ඉක්මනට හොඳ වෙනවා...මට ලස්සන මනාලියෙක් වෙන්න ඔනා" ඇය මගේ කම්මුළ් මෘදුව මිරිකමින් කියූ හැටි, මතකයන් බොහෝ වේදනාවක ගිල්වනා හැටි!!



මේ හැමදේම ඇය මහරගම වාට්ටුවට යෑමට පෙර තිබූ ලෙසමය...වෙනස සියල්ලේම ප්‍රාණය වූ ඇය නොමැතිව ඇති හිස්තැනයි...ඇය ලියූ දිනපොත් පිටු'තර, ඇය සදහටම දෑස් වසා ගන්නට පෙර ලියූ සටහන සෑම රැයකම මම කියවමි...මගේ දුවේ...නුඹ පැතූ ජීවිතය නුඹ ඉදිරියේම කුඩුවී යන හැටි දෙස බලා නුඹ සිනහසුන හැටි මට පුදුමය...මරණයට පවා අම්මෙක්ගේ ප්‍රේමය බිඳ දමා යා නොහැකි වග මම  දන්නෙමි....විටෙක මේ දින සටහන් මට හමු නොවුනා නම් යැයි සිතෙයි...

***********************************
අළු බදාදාවක
දොළහේ කණිසමට..


මේ දිනපොතේ දිනකට ලිවීමට ඇති ඉඩ මා මෙන් අතැඟිලි ගණනට ජීවත් වීමට දින නියම වූවෙකුට මදි බව මුලින්ම ලිවිය යුතුය...මා අත තිබෙන පෑනද ඉක්මනින් ඉවර වී යනු ඇත... අලුත් පෑනක් ඉල්ලා සිටීමෙන් කිනම් ප්‍රයෝජනයක්ද...මා කාවෙනුවෙන් ලියන්නද??


අම්මා මගේ ඇඳ විට්ටමට හිස තබාගෙන අඩ නින්දේය...ඇගේ හිස කෙස'තරින් මතුවෙන සුදු කෙස් ගස් මේ මද ආලෝකයෙන් පවා පෙනෙයි...ඇගේ පිරිපුන් කම්මුළ් බෙරි වුන බත් මෙන් වී ඇත...මට මා ගැන දුකක් නැත..මට දුක අම්මා ගැනය..



පාසල් යන විට දණ තෙක් වැඩුන කොණ්ඩය තනි කරලට ගෙතූ හැටි මට මතකය...ඒ කොණ්ඩය අතර ඔහු රඳවනා ගැටපිච්ච මල් සුවඳ මතයක...සුදු මහත්තයාට දැන් මල් ගසා සැරසීමට  කොණ්ඩයක් නැති අඩුව දැනෙනවා විය හැක...ඔහුගේ විසල් පපු තුරුළේ තවමත් හිස හොවන්නී මම වෙමි...ඒත් එය කොයිතරම් කාලයකටද...කම් නැත...තිබෙන ටික කාලය හෝ ඔහු උරහිසේ කඳුළු සැලීම මා සඳහාම පමණය...


මට ඔහුගේ ඇස් තේරෙයි.."ඔයා සනීප වුනාම අපි සිරිපාදේ යමු" යැයි කීවත් හිමය තරණයට වාරය එනතුරු හුස්ම රන්දා ගන්නට මට බැරිව යනු නිසැකය...    



 දෑස් වටා ඇති කළු පැහැ හෙවනැලි, සම් ඇට පමණක්ම ඇති මස් නැති කෝටු අතපය ගිලී නොපෙනී යන ඇස් වාට්ටුවේ නානකාමර කැඩපතින් පෙනෙයි...මේ මම දැයි පවා මට සැකය... ඒ පෙනෙන්නිය මම නොවේ යැයි මටම කියාගනිමින් ඉක්මනින් දෑස් වසා ගන්නේ ඇයි දැයි මටම නොතේරෙයි... ඇත්ත පිළිගැනීම මේ තරම් කටුකද..මම සියළු දෑ ඉවසාගත යුතුය...මේ රිදුම් තව සුළු කාලයකට පමණක් නම් ඒ ගැන තැවෙනු කුමටද?


සුදුමහත්තයා මෙන් දඟ කොළුවෙක්ට අම්මා වීම නම් මරණ මංචකයේදී පවා අත්හැරිය නොහැකි සිහිනයකි...මම හිතින් ඔහු නමින් ගැබ උසුලමි...මා මියෙන විට ඒ ගන්ධබ්බ ප්‍රේමනීය වස්තුව පමණක් රැගෙන යමි...ඒ පැංචාට සිතින් නම් සාදමි... ගවුම් කොට හිතින් මසමි...මේ කෙටි කාලය මට සතුටින් ඉන්නැයි ඒ පැංචා කියනවා යැයි මවා ගන්නෙමි..


"අම්මේ මම ඉක්මනට හොඳ වෙයි" කියූ විට අම්මා සිනහසෙන නිසා වෙන්ම එය නැවත නැවත කියනවා විනා ජීවිතාසාව නැතිව බොහෝ කල්ය.. හැම සෛලයකම පිළිකාව උඩුදුවා ඇති නිසාදෝ කිව නොහැකි තරම් වේදනාය...එළි වෙන්නට මත්තෙන් අම්මා සනසන්නට හෝ මම නිදා ගත්තා යැයි පෙන්විය යුතුය...අම්මා හැර යාමට මම තවම සූදානම් දැයි මට සැකය... මාරයා මා සූදානම්ව පැමිණෙන තුරු ඉවසාවි දැයි පවා සැකය..
*******************************************
දුවේ නුඹ වළාකුළු අතරට ගිය වග මම දරාගනු කෝම??මම වළාකුළු අතරට එන විට නුඹ අසල ඉඩක් මට තියෙයිද...දුවේ ඒ දිග කොණ්ඩය නුඹට නැවතත් දෙව්ලොවෙදි හමුවුනාද..මගේ මුණුපුරා දෙව්ලොව සුවෙන් පසුවෙයිද



Wednesday, January 11, 2017

එකැස් හාවෙකුට


නමක් නැති දුකක්
තටු ගසන විට හිත යට
තටු වැදී හද බිතු මත
රිදෙන විට


නුඹ යැයි මා නම් කළ
පරණ රෙදි වලින් තැනූ
එකැස් හාවෙකුට
හද පළා පෙන්වමි

Sunday, January 8, 2017

නිර්නාමික ප්‍රේමය ලියා තබමි..

නියඟයක විසල් හෙවනැලි යට ගෙවී යනු පිණිසම ලැබූ ජනේරුවේ හරි මැදක, උතුරු කඳු හිස් පිසදමමින් හිස මදක් පහත් කරගත් සුලඟකට මගේ තුන්හුලස් මුහුණ මත වැදී විසිරී යන්නට ඉඩදෙමින්, ඇතිව නැතිවී යන නේක සිතුවිලි පිරික්සා නුඹ නමින් වෙන් වූ සිතුවිලි වෙන්කර මෙලෙස ඉතා අපිළිවෙලට ලියා තබන්නට කැමැත්තෙමි..


පනාවක් නොදැක්කා මෙන් කැරළි ගැසෙමින් පවතින කෙස්සාවද , කහ දුඹුරු පැහැයට හැරෙමින් තිබෙන නිය ආලේපන ගැලවි ගැලවී යන නියපොතුද, දිගුම දිගු රැයක තනි නොතනියට සිටි තරු නිසාම ඇති වූ දෑස් යට අමාවක හැඩතලද නුඹට කිසිදාක නොපෙනන බව මම හොදාකාරවම දන්නෙමි...


නුඹ මා යැයි සිතන,සමචතුරස්‍රාකාර රාමුවේ මද සිනහවකින් සිටින "මම" සැබැවින්ම සියළුම සංස්කාරයන් මෙන්ම කෙමෙන් හා බිඳෙන් බිඳ වෙනස් වෙමින් පවතියි...ඒ කාන්තිමත්  දෑස්, අද රක්ත පැහැ ගෙත්තම් වලින් හා විඩාබර සිත්තම් වලින් තෙත්ව අහවරය...හිස කකියනා විට හිස අතගා බලන්නෙමි... හිසෙන් මිඳුනා වූ කෙස් ගස් එකින් එක බිමට අතහරින්නෙමි..


නුඹ සිටින ඉසව්වක් ගැන හෝ නුඹෙ හැඩතලයන් ගැන කිසිවක්ම හෝ නොදැන දුරදොඩනයෙන් ඇහෙන නුඹෙ ගොරහැඬි ගොර ගොර හඬට ප්‍රේමයෙන් බන්ධනය වීමේ උමතුව..සත්තකින්ම මම උමතුවෙන් පසුවෙමි....නුඹට මා රිසි කැමති රුවක් මට දිය හැකි නිසා වෙන් නුඹ නිතරම නැවුම්ව ප්‍රේමයේ හර පතක්ද රැගෙන මා අසල සිටිනවා වැන්න..නමුදු මා ,දෙකකුළ් දෑතින්ම පිරිමඳිමින් ගෙවෙමින් ක්ෂය වෙමින් ඉපැරණි පිත්තල පහනක් මෙන් හරිත් දිය සෙවළ වලට මා වටා පැතිරෙන්න ඉඩ දෙමින් පවතිමි...


කදෝකිමි පස්සාවක් පමණක්ම නිවෙමින් හා දැල්වෙමින් සිසිල් කළුවර ගිනි තියන විට, ඒ ක්ශුද්‍ර එළියෙන් මා නුඹව දකින්නෙමි... මගේ සයනේ කිරි කිරි කෙඳිරිය අතරින් නුඹෙ සුසුම් හඬ අසන්නෙමි...අන්ධකාරයට පමණක් හිතැති නාමයක් ලැබීම පවා ප්‍රතික්ශේප කළ මලක සුපුරුදු සුවඳක් සුලඟ ගෙනවිත් මා අසළින් රඳවන විට , " ඒ නුඹෙ සුවඳ" යැයි මම අදහමින් ඒ සුවඳින් ගර්ථ සනහා ගන්නෙමි...


"ආදරණිය එදුවා",මම නුඹට ඒ නමින් අමතමි..පිටුවෙන් පිටුව කියවූ පොතක අකුරින් අකුර නුඹවම දිස්වීමේ පුදුමයෙන් දැනුදු මා මත්ව සිටියි..මම ප්‍රේමයම දෑගිලි අගින් තෙරපමින් කාලය නම් පියානෝවේ යතුරු හඬවා නුඹ අමතන්නට කැමැත්තෙමි.. අළු පැහැ සඳ සෙවනැළි අතර සින්හවෙන නුඹ, එදුවා ඒ නුඹය...


ප්‍රේමය සියළු බන්ධන දියකරමින් ප්‍රේමයම දැඩිව අල්ලා ගනියි..නුඹ කියා දුන් ප්‍රේමයේ හෝඩියේ කඳුළු හා සුසුම් හැඩති අක්ෂර පමණක්ම ඇත්තේ ඇයිදැයි මම දැන් පහදාගෙන සිටින්නෙමි.. ඒ අක්ෂර ගෙන ඇහිපිල්ලමකින් මීදුම් වාෂ්පයෙන් පාරභාසක වීදුරුවක කවියක් ලියමි.. නුඹ ගැන වැල්වටාරම් ලියමි.. පසුව පුළුන් කොට්ටය හදවතක් මෙන් බරැති වෙන තීක් හඬමි..


මම මගේ මුහුණේ කුරුළෑවක් දෙස කැඩපතින් නරඹමි..අලුතින් මුහුණේ නැවතුණ රැල්ලක් පිරිමඳිමි..නුඹ ඒ දැයි නො ඒදැයි නොදන්නා නිසා කිසිවක් මත ප්‍රේමය ඉහිරේ යැයි බියෙන් සංසාරයම වුවත් නුඹ එතැයි සැක දිසාවක් දෙස බලා සිටිමි...

දැනුදු මා සිටිමි..නුඹ සිටියත් නොසිටියත් මට, නුඹ සැමදාම සිහිනයක් ලෙස හෝ සිටියි..



සියළු දෑ වෙනස්වෙනස් වුව
නුඹ
දළඹුවෙක් මෙන්
වෙනස් වේ යැයි සිතමින්
කාලය මඟ හැර
දින අතර හිදැසක තනි වෙමි



Saturday, January 7, 2017

නුඹ ඒ හිමගිර නැග අවසන්ද...

දියව යනුදෝ නොයනුදෝ
හිම පවා අසිහියෙන් සිටි සෘතුවක
සීත කබාය හා ගමන් මළු
අමතක කර දමා ගිය පසු
නුඹ
හිම ගිර නගින්නට , ඉර සේවය බලන්නට


නුඹෙ පසුම්බියේ පාරදෘශ්‍ය
කවුළුවෙන් දුටිමි මම මා
නොනවත්වාම සිනහවෙන්ම පසුවෙන


දැනෙයි නුඹෙ විලවුන් සුවඳ
සීත කබායේ කොළරයෙන්
ඉතිරි වී ඇත සාක්කුවක
මා තිළිණ කළ
කඩදාසි සමනල්ලු


නුඹට හීතලද
කෑම කන්නට සල්ලි නෑ නේද
කකුළ් රිදෙනවා ඇතිද
පසුව පිළිවෙලට
හිත කළඹලයෙන්මි

මම ජනෙල් හැරදමා
උතුරු දෙස බලා සිටිමි,


එපමණකි
කළ හැකි
හා
ඉතිරි