ප්‍රංශ තේ සාදය


ප්‍රංශ තේ සාදයකට ලිනර් ගවුමක් අඳිනවා කියන්නෙම විහිළුවක් වගේ තමා...සාරන්‍යාට කිව්වොත් කියාවි,
 "උඹ නම් අමන කෙළ්ළෙක්....අච්චර චීන සේද ගවුමක් තියෙද්දි වැඩකට නැති ලිනර් ගවුමක් අඳිනවා"
ඉතින් ඒ අදහස ක්‍රියාත්මක කරන්න ලොකු සටනක් ඕනි...රෙද්ද මොකක් වුනත් මොකද ඉතින්..චීන සේද ගවුම ඇන්ඳම මම පෙට්ටියක් වගේ..ඒත් ලිනර් ගවුම එහෙම නැහැ...
ලිනර් ගවුම ළා නිල්පාටයි තද නිල්පාටයි චාම් ගවුමක්...අනික තේ සාදයක් කියන්නේ මඟුල් ගෙයක් නෙමෙයි නෙහ්....මම චීන සේද ගවුමයි ලිනර් ගවුමයි දෙකම ඇඳ උඩින් තියලා හැඩ බලනකොට සාරාන්‍යා තට්ටු නොකරම දොර ඇරගෙන කාමරේට ආවා...සාරන්‍යාගෙ කැත පුරුදු...දොරට තට්ටු කරන්නේ නම් නැහැ කවදාවත්..
 "වසීලිට මොනවද ගෙනියන්නේ?" සාරන්‍යා එහෙම අහන ගමන් ගවුම් දෙක දිහා වෙනවෙනම බැලුවා..පස්සේ ඇඳුම් දෙකම දිහා එකට බැලුවද කොහෙද...මට වෙලාවකට එයා කරන කියන දේවල් තේරුමක් නැතිව යනවා....ඒ රුසියන්කාරයන්ගේ ස්වභාවය කියලා මම හිතන්නේ..
 "මම තේ පෝච්චියක් ගෙනියන්න හිතුවෙ"
තේ සාදෙකට තේ පෝච්චියක් නැතිවම බැහැ නෙහ්...
 "ඔයා නම් ඇත්තටම ලංකාවෙන් ආපු විකාරම කෙළ්ළක්..එක්කෝ ඔයා හිතලම විකාර දේවල් කියනවා""
මට එයා බැන්නද කියලා හිතන්නත් තප්පරයක් දෙකක් යනවා..සාරන්‍යාගේ ඉන්ග්‍රීසි එච්චර හොද නැහැ...
 "දැන් එහෙනම් මම මොනවද අරගෙන යන්න ඕනි...ඔයා හොදටම දන්නවා මම තේ සාදයකට යන පළවෙනි වතාව මේක"
සාරාන්‍යා මගේ හොදම යාලුවා බව ඇත්ත....ඒ නිසාම බය නැතිව මටත් එයත් එක්ක වචන වලින් පොර අල්ලන්න පුළුවන්...
 "වසීලිට චිත්‍ර අඳින පාට ගිහින් දෙන්න...මම දැනටත් ගෙනත් පැක් කරලා තියෙන්නේ..."
සාරාන්‍යා ලස්සනට හිනා වෙන ගමන් එයාගේ රෝස පාට කම්මුළ් මගේ කම්මුළ් වලට තෙරප ගත්තා...මම දෑතින්ම බදා ගත්තා..මෙච්චරක් උදව් කරනවට සාරාන්‍යාට ඕනි වුනේ වැළදගැනීමක් විතරයි...අද තේ සාදේ ප්‍රංශ විදිහට කරන්න තීරණය කරලා තියෙන්නේ මම නිසා කියල ආරංචිය...වසීලී කිව්වට එයා පිරිමි ළමයෙක්....රුසියන් කොල්ලෙක්....රත්තරන් පාට කොණ්ඩයක් තියෙන..තද නිල් පාට ඇස් තියෙන...මට මතක් වෙන්නේම බාබි ගර්ල් කතාවල කුමාරයෙක්ව... ඒත් එයාගේ නම...ආයිත් මම ලංකාවට යන දවසට නෑයන්ට කොහොමද මේ නම කටක් ඇරලා කියන්නේ...ලොකු නැන්දා කියාවි,,
 "වසීලී මූසල නමක්....වෙන නමක් තියෙන කොළ්ළෙක් හම්බ වුනේම නැද්ද ?අනික ඔය පරදේසක්කාරයෝ ලංකාව වහල් කමටත් ගත්තා...ලැජ්ජ නැතිකම"
රුසියානුවෝ ලංකාව යටත් කරගත්තේ නැහැ කියන එක එයාට තේරුම් කරලා වැඩක් නැහැ.....එයාට හම සුදු නම් ඔක්කෝම අය "පෘතුගීසියෝ"
වසීලිට ඇත්තටම කැමති වෙන්න තිබ්බා...ඒත් අහේතුකව බයක් දැනෙනවා...එයා හැමෝවම ඉඹිනවා...මට එතකොට තරහයි...අනික එයා එක්ක මට රුසියාවේ යන්න වුනොත්..මම ආස ප්‍රංශෙට වෙලාම ඉන්න.
 "ලිනර් ගවුම අඳින්න නම් එපා...."
සාරාන්‍යා උගුර යටින් අනතුරු අඟවලා යන්න ගියා...මේ වසන්තේ මුල් දින නිසා තාමත් තැන තැන හිම ඉතිරි වෙලා තියෙනවා...සේද ගවුම ඇඳන් යන්න නම් උඩින් ලොම් කබායක් අඳින්නම වේවි...
මම චීන සේද ගවුම ඇන්ඳම හිතුව තරම් කැත පෙනුමක් ආවේ නැහැ....ඕනාවට වඩා පවුඩර් ගෑවේ නැහැ...මම කොහොමත් එහෙමයි....මෙහෙ සීතලට පවුඩර් පිටි වගේ කැතට පේනවා...
කියන්න අමතක වුනා...මේ සාදේ තියන්නේ වසීලි මට විවාහ යෝජනාවක් කරන්න කියලා මම කලින් ඉඳන් දැනගෙන හිටියේ...ඇත්තටම ඒ වෙනකොට මට ඕනි වෙලා තිබ්බේ නාට්‍යානුසාරි විදිහට විවාහ යෝජනාවක්...මම ඒ නිසාම පුංචි තේ මේසය ලඟට ගියේ බිළාල ගමනින්..මම වසීලිට ආචාර කරලා තෑග්ග එයාගේ අත් උඩින් තිබ්බා...මේසේ පුරාම තිබ්බේ කුරුඳුයි ස්ට්‍රෝබරියි සුවඳක්...තව එතන පුළුවන් තරම් කට පළල් කරලා හිනා වෙලා ඉන්න අප්‍රිකානු කොල්ලෙකුයි පිලිපීන කෙළ්ළෙකුයි හිටියා...පිලිපීන කෙළ්ළ ලස්සනයි..මට ඉරිසියාවක් දැනිච්ච නිසා කෙළින් එයා දිහා බැලුවේ නැහැ...
වසීලි මට තේ හදලා දුන්නා ..මම මෆින් එකකුයි පෑන් කේක් එහෙකුයි කෑවා...ඊට පස්සේ තිබ්බේ නටන්න...මම නැගිටලා ගිහින් නටන ශාලාවේ මැද හිටගත්තා....ඒ වෙලාවේ වසීලි මගේ ලඟ වැලගෙඩියක් කඩාගෙන වැටුනා වගේ කඩාගෙන වැටුනා...ඇත්තටම දණින් වැටුනේ..., මේ ඇත්තටම මමද....මම හිටියේ ලොකු කරගත්ත ඇස් වලින් වසීලිගේ නිල් පාට ඇස් දිහා බාලාගෙන..
 "ඔයා මාව කසාද බඳින්න කැමතිද?"
වසීලි මගේ අතිනුත් අල්ලගෙන....පිලිපීන කෙල්ල "ඔව් කියන්න " කියලා කෑ ගහනවා...මේක හරි කතාවාක් නෙහ් ...කසාද බඳින්න ඕනි. එයාද මමද...
 "මම දන්නේ නැහැ...මට වෙලාවකට කැමති හිතුනත් ආයිත් අකමැති කියලා හිතෙනවා... ඉතින් කසාද බඳින්න මගේ අර පුංචි කැමැත්ත ඇති නම් මම ඔයාව බඳිනවා..."
වසීලි කට ඇරගෙන නැකිට්ටා..මම ආයිත් ඉඳගෙන පෑන් කේක් එකක් කන්න පටන් ගත්තා.....

Comments

  1. මල්ලී උ‍ෙඔ කතා හරි අලූත් විදිහට ගලන් යනවා දිගටම ලියන්න ජය!

    ReplyDelete

Post a Comment

Popular Posts