සංසාර


ගොඩක් අය ඇඬුවා....ගොඩක් අය අතර හැබැයි මම හිටියේ නැහැ...නිදහස් හිටියෙත් නැහැ...චූටි දුව හිටියෙත් නෑ...
"ඇයි ඔයාට දුකක් නැද්ද?"
මම ඒ ප්‍රශ්නෙට උත්තර දුන්නේ නැහැ...දුකයි කියලා මම අඬන්න ඔනිද?නිදහස් හිටියේ නිදහසේ නිදාගෙන...ඇස් පියාගෙන ඉන්න හැමෝම ඉන්නේ නිදාගෙන නෙමෙයි...නිදහස් ඔයා ඉන්නේ ඔය බොරුවට නේද?දැන් නැකිටින්න....
"දුවේ...දැන් මොනවා හරි කාලා ඉමු"
ඒ මගේ අම්මගේ කට හඬ...කන්නේ කොහොමද මම නිදහස් බඩගින්නේ ඉන්න කොට....ඒත් මම ඒ බවක් අම්මට කියන්න ඕනි නැහැ...අද නිදහස් ලස්සනයි..මඟුල් දවසේ වගේ...මලක් කලු පාට කෝට් එකේ අමුණලා තිබ්බා...පොල් තෙල් පහනක් පැත්තකට වෙලා පාඩුවේ පත්තු වෙනවා...ඊට ටිකක් එහායින් මගේ චූටි දූ නිදි....පුංචි ලස්සන ගවුමක් ඇඳගෙන...ලස්සන මල් ඔටුන්නක් දාගෙන...කෝ දැන් නැකිටින්න දෙන්නම...හොදටම හවස් වෙලා...
"මේකි තමා හෙනහුරා..මේකිගේ අපල මේ අහිංසක ජීවිත දෙක උඩින් පතා බෑවුනා"
නිදහස් ඇයි මේ අම්මා මට බනින්නේ...ඇයි මෙයාලා අඬන්නේ...ඉස්සර වගේ මේ රණ්ඩුවලින් මාව බේරගන්න..නිදහස් ඔහොම ඉන්න එපා...
එදා අපි අන්තිමටම ගියපු ගමන....අලුත් කාර් එකෙන් ගියපු පළවෙනි ගමන..මමයි චූටි දූයි දෙන්නම ඉස්සරහ ශීට් එකේ හිටියේ...මාතර පහු කරද්දි මොකද වුනේ නිදහස්...මට මතක බස් එකක් අපි ඉස්සරහ්හට එනවා විතරයි...
ඇයි ඔයාලා මේ පෙට්ටිවල නිදාගෙන...එන්න දෙන්නත් එක්ක ඇඳට යමු..මාත් එක්ක තරහ වෙලාද මැදසාලේ නිදි....
"දුවේ  ජීවිතේ හැටි ඔහොම තමයි...යනවා එනවා... සංසාර චක්කරේ"
නිදහස් කවුද  ගියේ...ඔයා, මම, පුංචි දූ කතරගම ගියපු බව ඇත්ත...ඒත් අපි දැන් ගෙදර ඇවිත් ඉන්නේ...
"පාංසකූලේ දෙන්න වෙලාව හරි..පෙට්ටි දෙක එළියට ගත්තනම්..."
නිදහස් ඔයාට දැන් නම් නැකිටින්න වෙනවා...අපි මෙතනින් පැනලා දුවමු...මම චූටි දූව වඩාගන්නම්...ඔයා අපේ අලුත් කාර් එක මිදුලට ගන්න...අපි හැමෝගෙන්ම ඈතට දුවමු...
"අනිච්චා වත සංඛාරා..."
හාමුදුරුවනේ...හැමදේම අනිත්‍ය බව ඇත්ත...නිදහස් අනිත්‍යයි..චූටි දුව අනිත්‍යයි ..මම අනිත්‍යයි...ඔබවහන්සේත් අනිත්‍යයි...ඒත් නිදහස් දැන් නිදා ගත්තා ඇති...
"එහෙනම් දැන් ආදාහනය කරමු"
මේ ඇයි...උඹලට පිස්සුද?..මේ මගේ මහත්තයා....පෝරුව  උඩදි සුලඟිලිවලින් බන්ධනය වෙච්ච...මේ මගෙයි නිදහස්ගෙයි ආදරය ,මාංශය වෙච්ච දුව...කොහොමද වළදාන්න දෙන්නේ...අර බලන්න..ඔයාලට පේන්නේ නැද්ද...එයලා හුස්ම ගන්න හැටි..පස් ගොඩකට යට වුනාම කොහොමද හුස්ම ගන්නේ...ඇයි මෙහෙම කරන්නේ...හාමුදුරුවනේ මේක  නවත්තන්න....නිදහස් දැන්වත් නැකිටින්න...
"දුවේ දැන් ගෙදර යමු"
බෑ අම්මේ ..නිදහස්ට උදේට කිරි එක හදලා
 දෙන්නේ කවුද..චූටි දූට මම නැතිව නින්ද යනවත් හොරයි...

Comments



  1. මම අලුත් ලියන රටාවක් හොයාගන්න ගත්ත අහිංසක උත්සහයක්...කැමතී අඩුපාඩු දැනගන්න..

    ReplyDelete
  2. අම්මෝ දැනුන දුකක්!

    ලිවිම ඉස්තරම්!

    ReplyDelete

Post a Comment

Popular Posts