එක සුරංගනා කතාවක්




එකමත් එක කාලෙක අමා ගොඩක් තනිවෙලා හිටපු කළුවර අමාවක දවස් වලත් හීතලම දවස් වල , අමා හිටියේ මකුළු දැල් වලින් හදවත ගැට ගහගෙන...පපුවේ වම් පැත්තට වෙන්න....අමාගේ කම්මුළ් වල කඳුළු ගලපු පැල්ලම් පවා ඉතිරි වෙලා තිබ්බා...කණාමැදිරි එළියක උදව්වෙන් අකුරු ඇමිණුවේ අමා පාර්ථනාවක් හදාගන්න...ඒත් එක දවසක් අමාගේ දුක දැකපු විසල් තරුවක් අමාගේ ළඟට කඩාගෙන වැටුනා...ඒක කොච්චර ලස්සන දෙයක් වුනත් අමා හිටියේ බය වෙලා...අමා අඳුරු මුල්ලකට තව තවත් ගුලි වුනා..ඒත් ඒ තරුව අමාගේ ළඟටම වෙලා හිටියා...හෙමින් හෙමින් ළං වෙලා කම්මුළේ කඳුළු පාරවල් මකලා දැම්මා...ඒ තරුවේ එළියෙන් නිය පිඩක් විතර අරගෙන අමාට ලස්සනට හිනා වෙන්න කියලා දුන්නා...අමා දිගටම ලිව්වා...අදටත් ලියනවා...හෙටත් ලියනවා...ඉතින් මේ සුරංගනා කතාවේ අවසානයක් නැහැලු...ඒක දුර දුරම ගමනක් වගේ...එහෙම නැත්නම් ඔළුව හැරිච්ච අතේ යන කොල්ලෙක් වගේ...එහෙම ඇවිදින කොල්ලෙක් කවදාවත් එයාගේ ගමන නවත්තන්නේ නැහැනේ...මොකද හැමතිස්සෙම ඔළුව කොහෙට හරි හැරිලා නෙහ් තියෙන්නේ... ඒ තරුව අමාගේ පිස්සු කෝළම් ඉවසගෙන හිටියේ භාවනාවක් වගේ පරිස්සමට...දැන් හරියටම අවුරුද්දක් ඇති...දවස් තුන්සිය හැටපහක් ඇති...අමාව හොයාගෙන ඇවිත් තරුව...ඉතින් අමා හීන සාප්පුවේ උළුවස්සේ මේ තරුව එල්ලන්න හිතුවා...තරු පහක් මොකටද ඉතින්...හඳටත් වඩා එළිය තියෙන එක තාරුකාවක් තියෙද්දි...

Comments

Post a Comment

Popular Posts