බිඳුණු රතු සිහින

මැදියම් රෑ පහුවෙලාත් දැන් හරියටම හෝරාවක් ගෙවිලා ගිහින් තිබුනා....කලින් දා පසළොස්වක නිසාද මන්දා අදත් හඳ එළිය හැම තැනම අළු පාට හීනෙක ගිල්ලවමින් හිටියා....අළු පාට කියන්නෙම කොච්චර මූසල පාටක්ද...මම අළු පාට යට ඇඳුමක් වත් අඳින්නේ නැත්තේ ඒ නිසාමයි...ඒත් හෝටල් කාමරේ ජනේලෙන් අනවසරින් ඇතුළට කඩා පනින හඳේ එළිය නම් ලස්සන කහ පාටක් තිබුනා...ඒ කහ පාටට මම කොහොමත් ආසයි...ඒ එළිය ඇවිත් අපි දෙන්නාගේ ඇඳ උඩටත් වැටෙනවා...සරත් හොඳටෝම නිදියි...එයා ගොරවනවත් එක්ක...ඉස්සර මම දහයේ පංතියේ ඉන්න කොට ගොරවන මිනිහෙක්ව නම් කසාද බඳින්නේ නැහැ කියලා යාලුවන්ට කිව්වා යාන්තම් මතකයි...මිනිහෙක් ගොරවනවද නැද්ද කියලා දැන ගන්න ඉතින් ඒ මිනිහා එක්ක නිදා ගන්න එපැයි...උදේ පල්ලියෙදි සරත් හැමෝම ඉස්සරහ පොරොන්දු වුනේ හැමදාම මාව බලාගන්න...ස්වර්ගයට යනකන්ම...ඒ කියන්නේ ස්වර්ගයට යනකන් සරත්ගේ ගොරවන සද්දේ අහගෙන ඉන්න ඕනිද මම...පල්ලියේදි මාව ඉඹින්න කිව්වම මූණ ඇඹුල් කරග්ත්තේ ඇයිද මන්දා...සමහර විට දෙවියෝ ඉස්සරහ තමන්ගේ ගෑනිව වුනත් ඉඹින්න සමහර පිරිමි බය ඇති...පිරිමි කියන්නෙම අමුතු ජාතියක්...කසාදෙට කලින් මංගල රැය ගැන යාලුවන්ගේ විහිළු නිසා පුදුම විදිහට හෙම්බත් වෙලා හිටියේ...සමහරු ඒක ගැන කතා කලේ හරියට හුස්ම හිර වෙලා මැරෙන ගානට...ඒත් ඒක මෙච්චර නිහඬයි කියලා හීනෙකින්වත් මම හිතුවේ නැහැ...හෝටලේට එහා පැත්තේ තියෙන මුහුදේ සද්දේ හිටන් ඇහෙනවා...මට ඕනි වුනා සරත්ව බදා ගන්න...ඒ වගේ  පිරිමියෙක්ව බදාගන්න හිතෙන එක ඉතින් වරදක් නෙමෙයි නෙහ්...අනික මගේ ස්වාමිපුරුශයා වෙච්චි කොට බදා ගත්තට මොකද...ඒත් කලින් අල්ලලාවත් නැති මිනිහෙක්ව බදාගන්න එක ගෑනියෙක්ට කොච්චර අමාරු දෙයක්ද...ඒත් පිරිමින්ට එහෙම නැහැ නේ....මට දැනුනේ හරියට බීලා ඉවර වෙච්ච කොකාකෝලා බෝතලයක් වගේ හිස්කමක්....අද වගේ දවසකවත් ඇයි බැරි මට මේ මිනිහව ඉඹින්න...ඒක මගේ අයිතිය වගේම සරත්ගේ යුතුකම නේද කියල හිතුනා....සරත්ගේ කටින් ආපු කුණු කෙළ වලින් කොට්ටේ මුල්ලක් හොදටම තෙමිලා තිබුනා...මට සරත්ව නැකිට්ටවන්න ඕනි වුනා...උරහියෙන් අල්ලලා හොලවන්න විතරක්
 නෙමෙයි බලෙන් ලඟට ඇදලා අරගන්න බලෙන්ම සරත්ට යට වෙලා  මංගල රැය ගෙවලා දාන්න...මේ හිතිච්ච ටික අම්මට කිව්වා නම් කියාවි කතෝලික ශුද්ධ වූ බැඳීමටම මම නිගාවක් කියලා..ඒක හරි කතාවක් නෙහ්...අද වගේ දවසක ආගම් මතක් කරන්න ඕනි කියල දන්නවා නම් කොන්තේ ගනින්න තිබ්බා...නමෝ මරියනී කියන්න තිබ්බා...කලින් ඉඳන්ම දන්නවා සරත් කැමති නැහැ කියලා..ඒත් එහෙම නම් ඇයි කසාදේ නැවැත්තුවේ නැත්තේ...එයා ගැන ඇත්තටම තිබ්බේ තරහක්...මට මරිය තුමී වගේ දෙවියන් වහන්සේ නිසා ගැබ් ගන්න ඕනි වුනේ නැහෑ...සරත් දැන් නැකිටින්න...ඔහොම ඉන්නකොට මම අම්මෙක් වෙන්නේ දෙවියන්වහන්සේ ගෙන්ද...
එළි වෙන්න ඔන්න මෙන්න තියලා මට නින්ද යන්න ඇති..සරත් හිටියේ දත් බුරුසුව කටේ ගහගෙන දත් මදින ගමන්..එතකොටම කවුද ඇවිත් දොරට තට්ටු කලා...ඒ ඇවිත් හිටියේ සරත්ගේ අම්මයි අපේ අම්මයි...සරත්ගේ අම්මා ඇඳන් හිටියේ රතු පාට ඔසරියක්..අපේ අම්මා සුදු පාට ඔසරියක්...ඒ දෙන්නා ඇතුළට ආවේ  මම දොර ඇරලා දුන්නාට පස්සෙ...සරත්ගේ අම්මා සෝදිසි කලේ හරියට රහස් පරික්ෂිකාවක් වගෙ...ඇඳේ රෙදි පවා හොදට ගැසුවා...මට ආවේ අප්පිරියාවක්... එයා හැමදේම සෝදිසි කලාට පස්සේ අපේ අම්මාට එරෙව්වා...මම හිටියේ දර්ශනෙන් පිට  ඉඳන් බලගෙන ඉන්නවා වගේ...සරත්ගේ අම්මා එතන තිබිච්ච පෝසිලේන් වීදුරු භාජනය එක පාරම බිඳලා දැම්මා...ඒක කොච්චර දරුණු කමක්ද...අපේ අම්ම දිහාවට රවාගෙනා එළියට ගියා...මම බැලුවේ සරත් දිහා...සරත් නාන කාමරේට ගිහින් දොර වහගත්තා...මම හෙමින් බිත්තියට වාරු වුනා...

Comments

Popular Posts