කළුවර උණුහුම

තොල කට වේළිලා ගිහින් තිබුනට දිව චුට්ටකට එළියට අරගෙන තොල් තෙමා ගන්න බෑ...ලිප්ස්ටික් ටික මැකිලා යන්න පුළුවන්...මම ඒ නිසා අධෝ ජිව්හ ග්‍රන්ථිය හෙමින් දිවෙන් තෙරපලා ගත්ත කෙළ  ටිකකින් ග්‍රසනිකාව තෙමා ගත්තා....රෑ දහය වුනාට හැම තැනම  පත්තුවෙන වීදි පහන් එළි වලින් කළුවර අතුරුදහන් වෙලයි තිබුණේ...පිටකොටුවේ බෝගහ ගාව මම හිටියේ ලයිට් කණුවට යාන්තම් පිට දීගෙන...කකුළ් දෙක රිදුනත් ඒක ඉවසගෙන ඉන්න එපැයි...මගේ ඉස්සරහ තිබිච්ච මඩ වතුර වළෙන් මාව යාන්තමට පේනවා...කොණ්ඩේ උස් කරලා බැඳලා ඇස් වල තොල් වල සායම් ගාලා  මඩ වතුර වළේ ඉඳන් බලාගෙන ඉන්නේ මමද කියලා මොහොතකට සැක හිතුනා... "කොහොමද චාජර්ස්?" උස කෙට්ටු හීන්දෑරි මිනිහෙක් එහෙම අහන ගමන් එක ඇහැක් හෙමීට පියෙව්වා...අද පළවෙනි කස්ටමර්...මම  බෝධිය පැත්තට හැරිලා අත් එකතු කරලා වැන්දා... "දෙදහක් දෙන්න සෑර් ...පළවෙනි බිස්නස් එක නෙහ්" මම හිනා වුනේ ඇත්තටම..පොඩි එකීට සඳුදට ඉස්කෝලෙ යන්න සපත්තු කුට්ටමක් අරගෙන දෙන බැරි වෙයි කියලා බයෙන් මම හිටියේ...මම හිතින් හැම දෙවි කෙනෙක්ටම පින් දුන්නා...ඒ මනුස්සයා අලුත් දෙදහේ කොළයක් මගේ අත උඩින් තියන ගමන් මගේ අතින් අල්ල ගත්තා...ඒ අත් කොච්චර රස්නේ උනත් ඒ රස්නේ  තියෙන්නේ සල්ලිට දිය වෙලා ඇඳ රෙදිවල ඉහිරෙනකන් විතරයි කියලා මම දන්නව...ඒත් ඒ හැම පිරිමියෙක්ගෙම පපුවලත් මිලට ගන්න බැරි හිස්තැනක් තිබ්බ බව මම පුරුද්දෙන් වගේ දැනන් වුන්නා.....මමත් ඒ හිස්තැනම තිබිච්ච ගෑනියෙක් වෙච්චි මමත් කළේ හිස්තැන් වැහිලා  යන්න දීර්ඝ  හුස්මකින් බිඳෙන සුළු පැළැස්තර  දාගත්ත එක..අපි ගියේ පුංචි කාමරේකට...මුළු කාමරේම ඉඩ ඇඳකින් ඇහිරිලා තිබුනා...ඒ වෙලාවේම තමා ආයිත් වැස්ස පටන් ගත්තේ...ඒ කාමරේ ජනේලයක් නොතිබිච්ච නිසා හිරිකඩ ආවේ නැහැ...මම වහිනවා  කියලා දැන ගත්තේ වහලෙට වැටෙන වැහි පොද වල සද්දෙන්...කාමරේටම තිබ්බේ කණාමැදිරි එළියක් වගේ එළියක් විහිදන ලයිට් එකක්...ලයිට් නිවන්න ඕනි කමක්   තිබ්බේ නැහැ...මම හිටියේ වැස්ස දෙන හීන් විලාපය අහගෙන..ඒ විලාපයේ ස්වර වලට හදවත ගැහෙනවා වගේ දැනුනා...ඒ මනුස්සයා උස්පහත් වෙවී වහින සද්දෙත් එක්ක නැටුවා....මාවත් ඇදගෙන නටපු නිසා මට තිබ්බේ ඇස් වහගෙන වැස්සේ අදෝනාව අහන්න...ටික වෙලාවකින් හැම දේම ඉවර වුනා...වැස්සත් පෑව්වා...මම හිතුව විදිහටම දැන් ඒ මිනිහගේ අත් උණුහුම් නැහැ....'පොඩි එකීව සඳුදට ඉස්කෝලේ අරින්න. පුළුවන්' මම එහෙම හිතලා පිටකොටුවේ බෝධිය සිහි කරලා අත් දෙක එකතු කරගත්තා....

Comments

Popular Posts