හීන

 මම හිටියේ ගෝල්ෆේස් එකේ මුහුදු හුලං කාර් එකේ ජනේලෙන්  රිංගලා ඇවිත් මනරුගේ තොල් වේලන දිහා බලාන,"මේ මාවතෙන් එහා,හමුවේවි දැයි කියා" සිංදුව අහගෙන, මෙහෙම ඇවිදින්න යන එක කොයිතරම් සැහැල්ලු ද කියලා හිතන ගමන්.. වාහනේ ස්ලෝ වෙන හැම වාරෙකම මනරු මගේ දිහා බලලා ඇස් හීනි කරල හිනා වෙනවා.. ඉර බැහැගෙන යන නිසා ජනේලෙන් එන ඉර එළිය උණුසුම් හාදුවක් වගේ දැනෙනවා..


"බඩගිනි ද?"


හිත සතුටෙන් සැහැල්ලුවෙන් පිරිලා ඉතිරිලා ගිහින් ටිකකට කලින් තිබ්බ විසාල බඩගින්න නැති වෙලා ගිහින් තිබුණ නිසා මම ඔළුව වනලා නැහැ කිව්වා.. 


මනරු ගාවින් ආවේ දේවදාර සැවැන්දරා මුල් එකට පුළුස්සන කොට එන සුවඳ..මම ලොකු හුස්මක් අරන් ඒ සුවඳ මොළේ තැනක "මේ මනරුගේ සුවඳ"කියලා ලියලා තිබ්බා.. 


මම දන්නේ නැහැ මම සතුටෙන් ඉන්නේ ඇයි කියලා.. බාගදා මගේ ගාවින් මනරු ඉන්න නිසා වෙන්න ඇති.. බාගදා මේ උණුසුම් ඉර එළිය නිසා වෙන්නත් පුළුවන්.. නැත්නම්, මම දන්නේ නැහැ හරියටම හේතුවක් කියන්න..ඒත් මාව සතුටෙන් පිරිලා යමින් තිබුණා..


මනරු වාහනේ නතර කලේ ගල්කිස්සේ මුහුද ගාවින්.. මුහුදට පිස්සුවෙන් වගේ ආස මම මනරුගේ අතින් ඇදගෙන ඈතින් එන මුහුදු රැල්ලක් දිහාවට එක්කගෙන ගියා..මනරුගේ අත් සීතලයි.. 


"ඔයාගේ අත් සීතලයි"


මම ඒම කියලා මනරුගේ අත් දෙක මැද්දේ මගේ කම්මුල් දෙක තියාගත්තා..එතකොට සුදුම සුදුපාට පෙණ ගොඩක් එක්ක මුහුදු රැල්ලක් ඇවිත් අපි දෙන්නාවම බාගෙට තෙමුනා..මනරු හිටියේ මගේ දිහා බලාගෙන හිනා වෙන ගමන්.. මේ වගේ සැහැල්ලු වෙලාවටත් හිතේ කුකුසක්,විචිකිච්ඡ්චාවක් ඇති වෙන්නේ ඇයි කියලා මම දන්නේ නෑ.. 


"ඔයාට මාව ලස්සනයි ද"


දහයේ පංතියේ ළමයෙක් වගේ, බොලඳම බොලඳ නාට්ටියක වගේ මම ඒම ඇහුවේ ඒ හිතේ කුකුසට ද මන්දා.. මනරු ඇස් වලින් හිනා වෙලා ඔළුව වනල "ඔව්"කියලා සන් කලා.. 


අපි මුහුද අතෑරලා ගෙදර එන්න හදනකොට ඉර සම්පූර්ණයෙන්ම බටහිර අහසෙන් අතුරුදහන් වෙලා ගිහින් තිබුණේ..ඉරබටු තරුව දිහාවට ඇඟිල්ල දිග් කරකර මම "ඒ සිකුරු"කියලා කියද්දි බොරුවට  දන්නේ නැ වගේ "ආ ඇත්තද" කියලා මනරු කියන විදිහට හිනා නොවී ඉන්න අමාරුයි..


මට එතනින් එහාට අමතකයි..


********************


ලැබ් එකට උදේම යන්න නැගිටිනකොට ටිකක් පරක්කු වෙලා තිබුණේ.. දවසේ කාලගුණේ බලනකොට උෂ්ණත්වය පෙන්නුවේ -10 ක් කියලා.. මට ඔනි වුනේ මගේ විසාල ඝනකම් පොරෝනාව අස්සට වෙලා ගුලිවෙලා ඉන්න වුනත් ලැබ් එකේ වැඩ කන්ද මතක් වෙද්දී ඉබේම නැගිට්ටවෙනවා..


සාංකාවයි, කම්මැලිකමයි නිසා කාමරේ අස්පස් කරන එකට බාලගිරි දෝසය හැදිලා තිබුනේ.. ඇඳ උඩ "පස්සේ නවලා අල්මාරියට දාන්න ඔනි" කියලා තිබ්බ ඇඳුම් ගොඩ අල්මාරිය අස්සට වීසී කලා..


මගේ කොණ්ඩේ ගැලවි ගැලවී යනවා.. තව ටික දවසකින් කොණ්ඩේ එක ගහක්වත් ඉතුරු වුනොත් නම් පුදුමයි.. වයසට යන්න පටන් අරන් කියලා යටිහිත සැරෙන් සැරේ මතක් කරන්න පටන් අරන්.. ඒම හිතෙනකොට දුකයි සතුටයි මැද තියෙන අමුතු හැඟීමක් දැනෙනවා.. ඒක උපේක්ෂාවත් නෙමෙයි, මන්දා මම දන්නේ නෑ ඒ මොකක්ද කියලා..


කොරියන් වලින් තියෙන සමහර පණිවිඩ සම්පූර්ණයෙන්ම නොතේරුනත් දැන් යාන්තම් ඒ තියෙන්නේ මොකක්ද කියලා තේරුම් ගන්න පුළුවන්..ඒත් මෙහෙ මිනිස්සු මට ඒම තේරුම් ගන්න තාමත් බැහැ.. එයාලට පුළුවන් ඔයාලව දුශ්ට නපුරු ආගාදයකට ඇදලා දාලා මුකුත් නොවුන ගාණට ඉන්න.. ඒක ගැන කතා කරන්න ඔනි නැහැ කියලා හිතෙනවා..කතා කරන්න කරන්න අන්ධකාරේ විතරයි..


කැම්පස් එකට මුහුදේ ඉදන් හමාගෙන එන සුලඟ සීතලයි වගේම හරිම සැරයි.. ඒ හුලඟට ලංකාවේ මුහුදු හුලඟට වගේ මට හිතෙන දේවල් දැනෙන දේවල් දැනෙන්නේ නැහැ කියන එක තේරුම් අරන් ඉන්නේ.. ඒක හරිම පාළු මූසල හැඟීමක්.. අඩුම ගානේ මුහුදටවත් ඔයාව නොතේරෙන එක කොයිතරම් දුකද..


මේ දේවල් හිතහිතා සීතලෙ ලැබ් එකට යනකොට තමා මම දැක්කේ ඈත ඉදන් එන මගේ මැලේශියන් යාලුවා..


"මොකෝ අද සතුටෙන් වගේ?"


එයා ඒම අහන ගමන් පිටට තට්ටුවක් දැම්මා..


"මම ඊයේ ලස්සන හීනයක් දැක්කා නෙහ්..මම  හීනේ විස්තර කරන්න ලේසිවෙන්න හීනේ හිටිය අනිත් චරිතෙට මනරු කියලා නම දාන්නම්"


Comments

Post a Comment