කොටහළු ගෙදර

මේ බිනර මාසේ..බිනර මල් කොච්චරවත් පිපිලා වැලි මිඳුලේ වැතිරිලා ඉන්නේ මේ කාලෙට තමා...කොහොමත් බිනර වැස්සට ගහක මලක් කොළයක් බිමට නොවැටි තියෙන්නේ කලාතුරකින්...ඒ තරම් බිනර වැස්ස හරිම තදයි...මම ඉන්නේ අපේ ගෙදරටම තියෙන කාමර දෙකෙන් සේපාලිකා ගහ ගාව තියෙන පුංචි කාමරේ එක මුල්ලක...කලින් දවසේ යටි බඩ රිදෙන්න ගත්තම අම්මා සූදුරුයි සුදුළුණුයි බැදපු වතුර දුන්නා මට යාන්තම් මතකයි...උදේ නැකිටින කොට අම්මා මම කොටහළු වෙලා නිසා මේ කාමරේ මුල්ලක ඉන්න ඕනි කියලා කම්මුළ් දෙපැත්ත තද කරලා ඉම්ඹා..සේපාලිකා මල් මේ වෙලාව වෙනකොට බිම වැටිලා සුදු රෙද්දක් වගේ..ජනේලේ වහලා තිබ්බට සුවඳ මල් ගහ යට ඉන්නවා වගේ දැනෙනවා...ආච්චි අම්මා දැන් වරු ගානක් තිස්සේ මං ලඟ...ආච්චි අම්මා එක්කම මුට්ටියක බැහැලා මම දිහා බලාගෙන ඉන්න පොල් මලත් මට තනි රකිනවා....
කාමරේම ගිලිලා තිබ්බේ අළු පාට කළුවරක...භූමිතෙල් ගඳ මුහු වෙච්ච චිමිණි ලාම්පු එළියෙන් මට ආච්චි අම්මාගේ මූණ පේනවා....ආච්චී අම්මා නින්දත් නොනින්දත් අතර යාන්තම් ඇස් පියාගෙන වුන්නා...කාමරේ දොර වහලා නිසාත් ජනේලෙ වහලා නිසාත් පිට සිද්ද වෙන දේවල් ඇහෙනවා මිසක් පේන්නේ නැහැ...මට ඒක හරියට රේඩියෝ අහනවා වගේ හැඟිමක්...
 "දුවගේ කොටහළු නැකත අප්පච්චිට හොද නැහැලු"
එහෙම කිව්වේ අම්මා කියලා කටහඬින් අදුන ගන්න පුළුවන්...
අප්පච්චි කලේ උගුර පාදපු එක විතරයි...අම්මා දොර ඇරගෙන ආවේ ඒ වෙලාවේ...
 "දුවේ බත් කටක් කමු නේද?" කියාගෙන අම්මා සුදට හදපු මොනවාද මන්දා කැව්වා...අප්පච්චි ගෙනාපු මුද්දරස්පලම් හම්ම වුනේ බත් ඔක්කෝම කැවට පස්සෙ...පොල් මල මැද්දෙන් පත්තු වෙලා තියෙන පොල් තෙල් පහන නිසා පොල් මලේ කළු පාට දුම් බැඳිලා...අම්මා ආයිත් එළියට ගියාම ආච්චි එක්ක කාමරේ තනි වුනා....
 "දුවගේ නැකැත තියෙන්නේ අනිද්දට...මගුලක් ගන්නෙත් නැති එකේ චාරිත්‍ර ටිකවත් හරියට කරන්න ඕනි.."
මට අම්මා කතා කරනවා ඇහෙනවා....ඇස් පියා ගත්තාම අම්මාගේ ලොකු ඇස් දෙක බුලත් කාලම රතු පාට වෙච්ච තොල් දෙක වල ගැහෙන කම්මුළ් දෙක මැවිලා පේනවා....
ආයිමත් අම්මා කාමරේට ආවේ දොඩම් ගෙඩි මල්ලකුයි පැණි බූන්දි මල්ලකුයි අරගෙන...අම්මා ඇවිත් මගේ ලඟින් වාඩි වුනා...
 "දුවේ දැන් උඹ පොඩි එකියෙක් නෙමෙයි...තව ටික දවසකින් උඹ ඇහැට කනට පේන ලමිස්සියෙක් වේවි...එදාට උඹට ගොඩක් කල්පනාවෙන් වැඩ කරන්න වෙනවා...හැම දේම සිහියේ තියාගනින් වස්තුවේ.."
අම්මා ඔළුව හෙමින් පරිස්සමට ඉම්ඹා...
 *******************************************
මාව නාවන නැකත තිබ්බේ පාන්දර...ඇත්තම කිව්වොත් මට ඕනි වෙලා තිබ්බෙත් නාන්න...ඇඟේ මූණෙ ඉතිරි වෙලා තියෙන කුණු සෝදන්න...මට නාන්න ගෙයි පිටි පස්සේ ලස්සන පොල් අතු පැළක් අටවලා තිබ්බා...ලොකු මුට්ටියක් ඇතුලේ මද රස්නේ වතුර වලින් ආවේ සඳුන් සුවඳ...අම්මා ඒ මුට්ටිය ඉහේ ඉදන් දෙපතුල වෙනකන් නෑ වෙන්න වත්කෙරුවා...ඊට පස්සේ තිබුනේ මුට්ටිය බිඳින්න...මම මුට්ටිය අතට අරගත්තේ මුට්ටිය බිඳින හිතාගෙන..
 "අක්කේ අක්කේ ...ආන්න අයියට නයක් ගහලා....දුවගේ කොටහළුවට බුලත් ගේන්න මදි පාඩු වෙච්ච නිසා බුලත් කඩන්න ගිහින් නස්පැත්තිය කරගෙන තියෙන්නේ..."
ඇසිලින් නැන්දා පැළ ඇතුලටම ඇවිත් ඇස් ලොකු කරගෙන කියවගෙන ගියා...
 'අප්පච්චී ' කියාගෙන මම එහෙම්මම ඇස් වහගත්තේ ඇස් නිලන්කාර වීගෙන ගියපු නිසා...කළෙත් එහෙම්මම බිදෙන්න ඇති...

Comments

  1. අමා ඇරියස් කවර් කරනවද? උදේම එකක් කියවලා අනිත් පැත්තට බලනකොට තවත් එකක් දාලා. දෙකම නියමයි.

    තව තියෙයිනම් හෙට දාන්න හොඳේ.. හැක හැක.

    ReplyDelete
    Replies
    1. හී හී...මේ දාපු කතා දෙක තමා මුලිම කෙටි කතා කියලා ලිව්වේ...ඒ දෙක ඉතින් දාන්න අමතක වෙලා තිබ්බේ...ඉතින් දැම්මා...ස්තූතියි කසුන්..හීන සාප්පුවට නිතර ගොඩ වෙනවට 😊

      Delete
  2. මේ පැත්තට ආවමයි....

    හොද ලියවිල්ලක්..පුංචි යෝජනාවක් ගේන්නද ?
    බැක් ග්‍රවුන්ඩ් පික්චර් එකත් එක්ක අකුරු ටිකක් ඩාර්ක් වෙලා වගෙයි පෙන්නේ.කියවන්න අපහසුයි වගේ කියලා හිතෙනවා..අනිත් අයට කොහොමද දන්නැ.නමුත් මට හිතෙනවා අනිත් අයටත් එහෙම ඇති කියලා..මොකද ටිකක් වෙනස් කලොත්..

    එහෙනම් ආයෙත් එන්නම් මචං..ජය

    ReplyDelete
    Replies
    1. බොහෝම ස්තූතියි....මම වෙනස් කරන්නම්...හීන සාප්පුවට සාදරයෙන් පිළිගන්නවා 😊

      Delete
  3. අමා ඒලස්................

    ReplyDelete
  4. සුපිරි ඈ......... ලස්සනයි............ ඒ උනාට ගෑල්ලමයා පව්..........

    ReplyDelete
    Replies
    1. ස්තූතියි ආර්යන්..ගෑනු ලමයා නම් පව් තමා 😊

      Delete

Post a Comment

Popular Posts