කොට ගවුම

"ඔය ළමයට කී දවසක් නම් කියලා තියෙනවද සුදු ගවුම තියෙන්නේ ෆැශන් කරන්න නෙමෙයි කියලා"
රමණි මිස් එහෙම කිව්වේ එයාගේ කණ්ණාඩි දෙක අස්සෙන් පේන ලොකු ඇස් දෙක කරකවන ගමන්...උදේට වැරදි පෝළිම ගහන වයසක ඇසල ගහ යට මාත් එක්ක ගෑනු ලමයි පස් දෙනෙක් එක පෝළිමට හිටියා...විනයභාර රමණි මිස් කොහොමත් සැරයි...එයාගෙ සාරියේ එක පැත්තකින් රත්තරන් පාට ලස්සන ලොකු සාරි කට්ටක් තිබුනා...
 "කොච්චර කිව්වත් හැමදාම දාගෙන එන්නේ බාටා සෙරෙප්පු දෙක...දණ ගහගෙන ඉන්නවා පීරියඩ් දෙකක්...හදන්න බැරිනම් මකවනවා තොපිව...ගෑනු ගෑනු කියලා බලන්න නරකයි.."
අනිත් ලමයි හතර දෙනා එක්ක මම පෝළිමේ හිටියට එයාලා හිටියේ මට වඩා ගවුගානක් දුරින්...රමණි මිස් එයාලට කිව්වා පාඩම පටන් ගන්න කලින් පංතියට යන්න...මම දණගහගෙන හිටියේ හරිම අමාරුවෙන්...ඒ පුංචි වැලි කැට බොරළු කැට දණහිස හිල් කරන වේදනාව නිසාම නෙමෙයි...ගවුම කොට නිසා...දණ ගහගෙන ඉන්නකොට කළව එළියට පේනවා...යට ගවුමත් කොට නිසා මට ඇත්තටම ලැජ්ජයි...පංතියේ පාඩම කරන සද්දේ මම දණගහගෙන ඉන්න ඇසල ගහ යටට කණ ලඟ වගේ ඇහෙනවා...අද පාඩම කිරි කෑ හැටි...කුමාර ගුප්ත කිරි වලට බළලෙක් වගේ පෙරේතයි කිව්වම මමත් හිතින් මතක් කලේ මගේ පුංචි මල්ලිව...එයාත් කොච්චර කිරි වලට පෙරේතයෙක්ද..දැන් නම් ඇසල ගහටත් දරාගන්න බැරි වෙච්ච ඉර අව්ව ඇවිත් මූණට වැටෙනවා...අපේ ගෙවල් තියෙන්නේ 'පුංචි සෝමාලියාවේ'..මම මෙහෙම කිව්වම දවසක් පංතියේ ලමයෙක් මගෙන් රට චොක්ලට් ඉල්ලුවා මට හොදට මතකයි..ඇත්තටම කුණු වතුර යන ඇළක් දෙපැත්තේ තියෙන ලෑලි ගෙවල් පෝළිමක එක පුංචි මඩුවක ඉන්න මම රට කෙසේ වෙතත් නිකන් චොක්ලට් එකක් වත් දැකලා තිබ්බේ නැහැ...
 *******************************************
එදා හවස ගෙදර යනකොට වෙනදා වගේම අම්මා උදේ උයපු බත් මුට්ටිය මම එනකන් බලාගෙන හිටියා...ඒත් අම්මා හිටියේ නැහැ...මල්ලි කිව්වේ අම්මට වැඩක් සෙට් වෙලා කොහෙද ගියා කියලා විතරයි...ඇත්තටම මම අම්මාගේ රස්සාව මොකක්ද ඇහුවට කියන්න දන්නේ නැහැ...ඉස්කෝලෙ සමහර ලමයින්ගේ අම්මලා මාත් එක්ක ලමයින්ට කතා කරන්න එපා කියල තියෙන්නේ අපේ අම්මා නරක ගෑනියෙක් නිසාලු..ඒත් අපේ අම්මා හැමදාම අපිත් එක්ක පන්සිල් ගන්නවා.....අම්මා අපිට හයියෙන් ගාථා කියන්න කියලා එයා හෙමින් කියනවා...ඒ ලොකු අයගේ හැටි..මම දැකලා තියෙනවා ප්‍රින්සිපල් මැඩමුත් එහෙම තමා බුදුන් වදින්නේ...කාටවත් ඇහෙන්නේ නැති විදිහට හොරෙන්..මම බත් එක කාලා ඉවර වෙලා අත සෝදන්න යනකොට අම්මා ඇවිත් මගේ ඔළුව අත ගෑවා..
 "අම්මාට මහන්සිද?"
මම අත සෝදලා අම්මා ලඟට ගිහින් අම්මාගේ ඔඩොක්කුවේ ඔළුව තියා ගත්තා...
 "අම්මේ අදත් ටීචර් මට දණගහන්න කිව්ව..ගවුම කොටයි කියලා"
මම හෙමින් ඔළුව උස්සල බලනකොට අම්මා බලාන හිටියේ ටකරන් අස්සෙන් පේන අහස දිහා....මට ඕනි අම්මව හපලා මේ අහන්න මම කියන දේත් කියන්න... ඒත් අම්මගේ ඇස් වල උණලා තිබ්බ කඳුළු දැක්කම එහම කරන්න හිත් දුන්නෙ නැහැ...
 "අම්මේ මාත් එක්ක හෙට ඉස්කෝලෙට යමු...නැත්නම් මම ආයිත් ඉස්කෝලෙ යන්නේ නැහැ..."
අම්මා "හා" කියාගෙන ඇඳුම් මාරු කරන්නද කොහෙද ගියා...එහෙනම් හෙට වත් දණහිස් හිල් කරගන්න ඕනි වෙන එකක් නැහැ
*******************************************
ඒදා උදේ නම් වෙනදට කලින් ඉර පායලා තිබ්බා...අම්මා මම එක්කම ලෑස්ති වුනේ ඉස්කෝලෙට යන්න...අම්මා ලා රෝස පාට මල් සාරියට අම්ම ලඟ තිබ්බ ලස්සනම කරාඹු කුට්ටම දාගත්තා...ඉස්කෝලේ ගේට්ටුව ලඟදි වෙනදා වගේ කවුරුත් මාව වැරදි පෝළිමට ඇදලා ගන්න හිටියේ නැහැ...අම්මාගේ දකුණු අතේ ඇඟිලි අස්සෙන් මම මගේ ඇඟිලි පටලව ගත්තා...අම්මා හරිම රස්නෙයි...ප්‍රින්සිපල් මැඩම්ගේ කාමරේ ලඟට ගිහින් මමයි අම්මයි හිට ගත්තා....අම්මා හිටියේ මම වගේම බය වෙලා..මගේ බය නැති කරන්න අම්මා හිටියට අම්මගේ බය නැති කරන්න කවුරුත්ම නැහැ..අම්මා ගොඩක් පවු..
දොර ගාව හිටගෙන ඉන්න අපි දෙන්නව දැක්ක මැඩම් අපිට කතා කලේ එයාගේ දබර ඇඟිල්ල මගේ දිහාවට දික් කරලා..
 "ඔය අම්මාගේ ඇස් පොට්ට වෙලාද?දරුවව මෙහෙමද ඉස්කෝලෙ එවන්නේ...අම්මා පැශන් කරකර හිටියම හරි යනවද?"
අම්මා මගේ අත රිදෙනකන් තද කර ගත්තා...මට රිදුනත් ඊට වඩා අම්මගේ හිත රිදෙනවා කියලා දැනුන නිසා ඉවසගෙන හිටියා...
 "නෝනා...දරුවට සමාව දෙන්න...මගේ අතේ ගවුමක් ගන්න තරම් අතේ මිටේ සල්ලි නැහැ මේ දවස් වල...අනේ පින් අයිති වෙයි...පුලුවන් ඉක්මනට මහලා දෙන්නම් නෝනා"
අම්මා එහෙම කිව්වේ ඇස් වල කඳුළු පුරවගෙන..
 "මෙතන දුක අහන දේවාලයක් නෙමෙයි..අනික පාසලක නීති පද්ධතියක් තියනවා..මට බැහැ එක ලමයෙක්ට විශේෂයක් .. කරන්න.."
රමණි මිස් ආවේ මේ වෙලාවේ ...
 "ආ අම්මත් ඇවිත් තියෙන්නේ ...අම්මගේ කැරැට්ටුව මම මැඩම්ට පස්සේ කියලා දෙන්නම්...මැඩම් අද මට සෙමිනා එකක් 'සමාජ ආචාර්ය ධර්ම සහ ලමා මනෝ විද්‍යාව' ගැන...මැඩම් මගේ උසස්වීමට මේ සෙමිනා එකේ දේවල් ගොඩක් වැදගත්...මට ලීව් එකක් ඕනි"
මැඩම් රමනි මැඩම් එක්ක අනිත් දේවල් කතා කලේ ඉන්ගිරීසියෙන්...මමවත් අම්මවත් ඒ මොනාවද කියලා දැනගෙන හිටියේ නැහැ...රමණි මැඩම් යනකොට අපි දෙන්නටම ඔරවගෙන ගියා...මැඩම් අපිට එලියට යන්න කිව්වේ අලුත් ගවුමක් නැතුව ආයිත් ඉස්කෝලේ එන්න එපා කියන ගමන්...
 "අම්මේ මට ආයිත් ඉස්කෝලෙ යන්න බැහැ"
මම එහෙම ඉස්කෝලෙන් එලියට යනකොට කිව්වත් අම්මා මුකුත්ම කිව්වේ නැහැ..ඒත් ඇසල ගහ නම් පුරුදු විදිහට කහ පාට මලක් පොළවට අත ඇරියා

Comments

  1. යකෝ “සමාජ ආචාර්ය ධර්ම සහ ලමා මනෝ විද්‍යාව“ ගැන සෙමිනා එකක්....... සෙමිනා නැතුව උසස්වීම් දෙන්න වටින කාන්තාවක්නේ................
    නියමයි...................

    ReplyDelete
    Replies
    1. හී හී...ඔව් ඔව් දැන් ගොඩක් ගුරුවරු සෙමිනා යන්නේ පැශන් එකට...හීන සාප්පුවට සාදරෙන් පිළිගන්නවා 😊

      Delete
  2. හොල්මන්ද පොල්කොල කීවලු...
    ගැහැණුන්ට වල කපන්නේ ගැහැණුමය
    අනක තමා ළමයෙක්ගෙ ඇත්ත තේරුං ගන්න බැරි උං ගුරුවරු කරන්නම නරකයි

    ReplyDelete
    Replies
    1. ඇත්ත...ගොඩක් ගුරුවරු එයාලගේ ගුරු භූමිකාව ගැන අවබෝධයකින් නෙමෙයි ඉන්නේ...එහෙම අය නිසා දරුවන්ගේ ජීවිත විනාස වෙනවා

      Delete
  3. ඔහොම ගුරුවරු ඉන්නවා ගොඩක්. බොහොම අගේ ඇති පොස්ට් එකක්. ජයවේවා....

    ReplyDelete
  4. ඔහොම ගුරුවරු ඉන්නවා ගොඩක්. බොහොම අගේ ඇති පොස්ට් එකක්. ජයවේවා....

    ReplyDelete

Post a Comment