වචන (4 කොටස)
දෙවැනි දවස ඉවර වෙනකොට නමක් ගමක් වයසක් දන්නේ නැති ඒ මනුස්ස ප්‍රාණියා එක්ක බැඳීමක් ඇති වෙලා තිබුනා...ඒ කොයි වෙලාවෙද කියලා කියන්න බැරි වුනාට එයා ගැන හිතේ උණුහුමක් නම් තදින්ම දැනුනා..සමහර විට ඒ එයාගේ කතා කරන ඇස් වලට වෙන්නත් පුළුවන්...එහෙමත් නැත්නම් නිතරම හිනා වෙන එකට...සමහරවිට චිත්‍ර අඳින නිසා වෙන්න ඇති..ඒ ගැන හිතන්න ගියොත් මට පිස්සු හැදේවි..තුන් වෙනි දවස මම රෝස පාට ගවුමක් ඇඳන් ගියා...සුදු පාට පොඩි අඩි උස සපත්තු දෙකක් එක්ක...කණ්ණාඩිය ලඟට ගිහින් තුන් හතර පාරක්ම හැඩ බැලුවත් 'කැතට පෙනේවිද' කියන ගෑනු කුකුසෙන් නම් මටත් ගැලවීමක් තිබ්බේ නැහැ...එයා වෙනදා විදිහටම බංකුව ගාව ඉඳගෙන චිත්‍රේ ඇස් වලින් තෙත් කරමින් හිටියේ..මම සුපුරුදු විදිහට එයාගෙ දකුණු පැත්තෙන් ඉඳ ගත්තේ අවුරුදු සීයක ඉඳන් පුරුදුකාරියෙක් වගේ...මම ඇවිත් ඉන්නවා කියාලා දැනිච්ච එයා හිනා වුනා..එයාගෙ ඇස් දිළිසෙනවා...සමහරවිට ඒ මගේ ගවුමට අල්ලලා තියෙන පුංචි වීදුරු කෑළි නිසා වෙන්න ඇති..මමත් පුළුවන් තරම් කම්මුළ් තද කරලා හිනා වුනා..එයා ආයිමත් චිත්‍රේ අඳින්න පටන් ගත්තා...දැන් මේ ඉපල් වෙච්ච ගහක් කියලා කවුරුත්ම නොකියාවි..ඒ තරම් කොළ පාට වෙච්ච අතු මට පෙනුනේ අහංකාරෙන් හෙලවෙනවා වගේ...අතු අතරේ සුදු පාට පොහොට්ටු දෙක තුනක් තිබ්බා...එයා මගේ අතින් අල්ලනකන් මට දැනුනේ නැහැ...මම හිටියේ චිත්‍රේ තිබ්බ ගහ මුල ඉඳගෙන..
Comments
Post a Comment