අමාගේ පිස්සු සටහන්
ගිම්හාන කාලය ඉවර වීගෙන යනවා.. තද රස්නේ දිගම දිග දවස්, ආයෙමත් කොට සීතල දවස් වලට හරිම හෙමින් හැරෙමින් තියෙනවා දැනෙනවා.. ගිම්හාන කාලය, හිස හැරුණ අතේ තනියම ඇවිදමින්, අලුත් යාලුවෝ ඇති කරගනිමින් ගෙවිලා ගිය එක ගැන සතුටුයි.. ඒම ඇවිදින්න ගියාම, පාන්දර නැගිටලා බලන්න යන්න හිතන් හිටිය දේවල් ලයිස්තුවක් හදාගෙන එකින් එක ,එකින් එක ඒ තැන් වලට තනියම ඇවිදන් ගිහින්, පුළුවන් විදිහට තනියම පොටෝ ටිකකුත් අරන් තනියමම රිදෙන කකුළ් ඇදඇදා හෝටලේට ඇවිත් නිදාගත්ත දවස් තමා තිබුණේ.. හොදටෝම කකුළ් රිදුනත් ආයිමත් පහුවෙනිදාට ඇවිදින්න යන්නම වෙනවා..බජට් ගමන් ගියාම ඒම තමා, කකුළ් දෙක දණහිස ගාවට ගෙවෙනකන්ම ඇවිදින්න වෙනවා..
මිනිස්සු දසදහස් ගාණක් හිටියත්, යාලුවෝ රොත්තක් වට කරන් හිටියත් විසාල බෑග් එකක් එල්ලගෙන, තනියම ඇවිදින්න යන කෙසඟ කොල්ලෙක්ට පාළු දැනෙන්න පුළුවන්.. "ඔයාගේ නම් හිත හයියයි නෙහ්" කියලා පිටට තට්ටු දාලා යාලුවෝ කියනකොට,මේ වෙනකොටත් ඉරි තැලිච්ච පෝසිලේන් භාජනයක් වගේ තියෙන හිත යාන්තමට හෙලවි හෙලවී තියෙන වග මට කියන්න ඔනි නෑ.. ඒම අහන හැම කෙනෙක්ටම වෙන වෙනම විස්තර සහිතව දුක කියලා බෙදාගන්න තරම් සරීර ශක්තියක් වත් , හිතේ හයියක්වත් ඉතිරි වෙලා නෑ මට දැනෙන විදිහට..
ග්‍රීස්ම කාලේ රස්නෙට හැමතැනම වසංගතයක් වගේ හැදිලා ඉන්න කැරපොත්තෝ එලවන්න කරන්න පුළුවන් හැමදේම කලත්, උන් මරණයෙන් නැගිටලා එනවා වගේ ආයිමත් හැමතැම පැතිරෙනවා..දැන් මම ඉන්නේ කැරපොත්තෝ මාව උස්සගෙන උන්ගේ ගුලකට අරන් ගියත් කමක් නෑ කියන මතේ.. මට සටන් කරන්න මහන්සී.. සටන අතෑරලා දාලා වෙන්නේ මොකක්ද කියලා බලන් ඉන්න එක සැනසීමක් කියලා මට දැන් තේරෙන්න පටන් අරන් තියෙනවා..
ගැලවිලා යන කොණ්ඩ ගස් නිසා එන්න එන්නම පෑදෙන තට්ටේත්, තිහේ සීමාව දිහාවට වේගෙන් ගහගෙන යන නිසා රැවුලේ තැනින් තැන මතුවෙන සුදු රැවුල් ගසුත්, කළුවරම කළුවර ආගාදයක් වගේ තැනකට මාව තල්ලු කරනවාදෝ හිතෙනවා.. Self confidence පිදුරු ගහේ එල්ලිලා තව කොච්චර කාලයක් ඉන්න පුළුවන් ද කියලත් බාග වෙලාවට සැක හිතෙනවා.. "තනියම ඉන්න ඉගෙන ගන්න" කියලා හිත නිතර නිතර කියන එකට මම නිකන්ම පුරුදු වෙනවාදෝ මන්දා..
ජීවිතේට හම්බුන blessing එකින් එක ගැනලා එක ගොඩක් ගහන වෙලාවක, ලස්සන දියමන්තියක් වගේ දිලිහෙන blessing එහෙකට අතේ පදාසයක් කැපිලා ගිහින්, අඬ අඬා ඉන්නකොට කදුළු පිහින්නවත්, තුවාලේට බෙහෙත් දාන්නවත් කිසිම blessing එහෙකට පුළුවන් කමක් නෑ කියලා මට තේරෙමින් තියෙනවා.. කොච්චර දුක වුනත්,බාග වෙලාවට කොච්චර සතුටු හිතුනත් ඒ හැම එකක්ම තට්ට තනියම දරාගන්න සිද්ද වෙන එක ගැන කොයිවගේ හැඟීමක් ද කියන එක මට ලියන්න තේරෙන්නේ නෑ.. මට ඒම ලියන්න වචන හොයාගන්න පුළුවන් දවසක මම ඒ ගැන ලියන්න පොරොන්දු වෙනවා..එතකන් විසාල හිනාවක් තියෙන වෙස්මූණකින් හිතේ ඒ පදාසේ වහලා දාලා ඉන්න මම කැමතියි..
Comments
Post a Comment