විසල් හීන

තැලසීමියා වාට්ටුවේ දොර ගාව පොඩි උන් පෝළිමක් බලාගෙන හිටියේ ඊළඟට මම නේද කියන ගැස්සිච්ච හිතින්...මම හිටියේ ඒ දරුවන්ට හරියටම ඉස්සරහින් හිටගෙන...මෙඩිකල් කොලෙජ් ඉන්න කාලේ තැලසීමියාව හැදෙන්නේ ප්‍රවේණියෙන් කියලා දැන ගත්තම හිතට තරහා ආවේ තැලසීමියාව නිසා මැරිලා යන දරුවන්ගේ දෙමාපියෝ එක්ක..ඒත් මේ දරුවෝ එක්ක ඇවිත් දරුවන්ගේ ජීවිතේ අපෙන් ඉල්ලන අම්මලා අප්පච්චිලා දිහා බැලුවම ඒ හැඟීම වාෂ්ප වෙලා යනවා...අම්මා අප්පච්චි දුන්න ජීවිතේ, එයාලා දුන්න ලේ ධාතුව ස්වභාවධරමය උදුරගන්නෙ හිත්පිත් නැති විදිහට...ඒකත් හරියට අකාලේ මැරිලා යන මේ දරුවන්ගේ රතු රුධිරානු වගේ...
 "වාඩි වෙලා ඉන්න...අයන් අයින් කරන්නද මේ ඔක්කෝම කට්ටිය...?
 "ගොඩක් අය ඒකට තමයි ඩොක්ටර්.."
එහෙම කිව්වේ එතන හිටපු අම්මා කෙනෙක්....තැනින් තැන සුදු වෙච්ච කෙස් ගස් මූණට වැටිලා තිබ්බ ඒ මූණෙන් යාන්තමට හිනාවක් කාණ්දු කරගත්තා..පරපෝෂීන් වගේ ජීවිතේ තියෙනකන් අනුන්ගේ ලේ වලින් ජීවත් වෙනවා කියන එක ලේසි දෙයක් නෙමෙයි...අනික රතු රුධිරාණු බිඳිලා ගිහින් යකඩ කොටස් හමයට තැම්පත් වෙන එක වුනත් හරියට ජීවිතේ එක්ක කරන විහිළුවක් වගේ..මාරාන්තික විහිළුවක්...ගොඩක් තැලසීමියා ලමයින්ගේ අක්මාව වුනත් ඉදිමිලා තියෙන බව දැක්ක ගමන් පේනවා...මළකඩ පාට අහිංසක මූණවල් ඉල්ලන්නේ අපෙන් ජීවිතේ...ඒත් ජීවිතේ කියන්නේ පාර්සල් කරලා දෙන්න පුළුවන් දෙයක් නෙමෙයි..එහෙම දෙන්න පුළුවන් නම් මෙලහටත් මම ඒක දීලා..
වෝඩ් එක ඇතුළට ගියාට පස්සේ මුලින්ම ආවේ අවුරුදු දොළහක විතර පුංචි කෙළ්ළෙක්...අම්මාගේ අතේ එල්ලිලා හිටපු ඒ පොඩි එකීගේ මූණෙන් බේරිලා ආවේ මොන වගේ හැඟිමක්ද කියලා හරියටම තක්කෙටම කියන්න අමාරුයි...ඇහි බැම හකුළවලා යාන්තම් විරිත්තපු පොඩි එකී මගේ ගාවින් වාඩි වුනා...මළකඩ පාට වෙච්ච හම කිව්වේ හම යට ඕනිවටත් වඩා යකඩ තැම්පත් වෙලා කියලා කියන එක ..
 "දූ ඉස්කෝලේ යනවද?"
 "ඔව් ඩොක්ටර්..."
පොඩි එකීගේ ඇස් වලට එළියක් වැටුනේ ඒ වෙලාවේ...මම මගේ වම් අතින් කෙළ්ළගේ ඔළුව අත ගෑවා...කොණ්ඩ ගස් දහයක් දොළහක් ගැලවිලා ඇවිත් මගේ අතේ නැවතුනා...
 "ශෝක් දුවෙක් නෙහ් අම්මේ...කොහොමද ඉතින් ලකුණු එහෙම "
මම හිනා වෙන ගමන් ඇහුවම කෙල්ල හිනා වුනේ පුංචි ආඩම්බරකමක් එක්කද මන්දා..
 "පළවෙනියා මමයි ඩොක්ටර්"
 "හොද දරුවෙක් නෙහ් පුතේ ඔයා.."
මට ආයිත් ඔළුව අත ගාන්න ඕනිකම තිබ්බත් එහෙම නොකලේ ආයිත් කොණ්ඩගස් ඇවිත් අතේ පැටලෙයි කියන බයට..මම අයන් සක් කරන උපකරණය අතට ගන්න කොට පොඩි එකී අම්මගේ අත තද කරලා අල්ල ගත්තා...අම්මා බලාගෙන හිටියේ ගල් වෙච්ච ගානට...අයන් සක් කරන උපකරණය පොඩි එකීගේ බඩට සවි කරන්න තිබ්බේ උල් කටු වලින්...පරිස්සමට රිද්දන්නේ නැතිව සවිකරනවා කියලා හිතුවත් උල් කටු ඇනෙන කොට රිදෙන්නේ නැත්තේ කාටද..
 "අනේ අම්මේ"
කෙළ්ළ ඇස් පුංචි කරගෙන යටි තොල තද කරලා හපාගෙන හිටියේ....
 "දූට රිදෙනවද?"
මෝඩ ප්‍රශ්නයක් වුනත් ඒ වෙලාවේ ඒ මූණ බලාගෙන සද්ද නැතිව ඉන්න මට බැරි වුනා..
 "ඒකට කමක් නෑ ඩොක්ටර්...මට ඕනි ජීවත් වෙන්න...කවද හරි ඩොක්ටර් වගේ වෙලා හැමෝටම පිහිටවෙලා අම්මව බලාගන්න...මේ කටු රිදුනට ඉතින් කමක් නැහැ... මම ජීවත් වෙන්න ආසයි"
මම කෙළින්ම බැලුවේ අම්මගේ දිහා...ඇස් වලින් පොළිමට කඳුළු එන්න පටන් අරගෙන තිබුනා...හීන කොච්චර ලස්සන වුනත් ඒ හීන හීනයක්ම විතරයි කියලා හිත රිද්දනේ කොහොමද මං...ඒත් මගේ ඇස් දෙකත් යාන්තමට තෙමෙන එක නවත්තගන්න බැරි වුනා...

Comments

  1. මං කියවන්න ආස නෑ මේවා..ඇත්තටම මටත් තියෙන කේන්තිය තමයි "මොන හු***ටද ලමයි හදන්නේ කියලා" ජීවිත කාලකණ්නි වෙනවා කියලා දැන දැනත්! :(

    ReplyDelete
    Replies
    1. ගොඩක් වෙලාවට අඩු අධ්‍යාපන තත්ත්වය හේතුවක්...තව සමාජීය වගේම මානුෂීය ප්‍රශ්න ගොඩක් තියෙනවා...

      Delete
  2. මෙතනදි තැලිසීමියා රෝගය ගැනවත් ඒක හැදුනු ලමයි ගැනවත් නෙමේ කල්පනා වෙන්නෙ... ඔයාගෙ නිර්මාණ හැකියාව ගැන.....

    මටනම්

    ReplyDelete
  3. අගයකරනවා මල්ලි ඔයාගේ හැකියාව අනර්ඝයි

    ReplyDelete

Post a Comment