සුදු සකුරා

මුලින්ම කම්පණ වුනේ මැද තත...ඊට පස්සේ වම් පැත්තේ තත...ශමිසෙන් එකත් එක්ක මම ඉඳගෙන හිටියේ ලස්සන තතමි පොළවක...  මට හරියටම සම්මුඛව හිටියෙ සකේ පුරවපු පුංචි ජපන් කෝප්පයක්..මට වැරදුනාද මන්දා...සකේ කෝප්පය එක්ක උස ජපන් කොල්ලෙක්...මට තියෙන්නේ ශමිසෙන් වයන්න...මුලින්ම ශමිසෙන් එකක් දැක්කෙත් මෙහෙට ආවට පස්සේ...ඔකා-සන් ලස්සන රිදී ගෙත්තමක් තිබ්බ සේද රෙද්දකින් ඔතලා තිබ්බ ශමිසෙන් එක එදා මගේ අත උඩින් තියලා කිව්ව වචන ශමිසෙන් එකේ තත් තුන වෙන වෙනම කම්පණය වෙනකොට ඇහෙනවා...එකට කම්පණය වෙනකොටත් ඇහෙනවා..
"ශමිසෙන් කියන්නේ ගේශාවෙක්ගේ හදවත"
ඔකා-සන් කිව්වේ එහෙම තමයි...මම මේ දැන් අතොරක් නැතිව වයන්නේ මගේ හදවත...බේබද්දෙක් ඉස්සරහ වුනත් වයන්නේ මගේ හදවත නිසා මම හිටියේ භාවනාවක...ශමිසෙන් සද්දේ අඩු වැඩි වුනේ හරියට හදවත 'ලබ් ඩබ්' ගානවා වගේ...ඔකා-සන් හරි තමා...ගේශාවෙක්ගේ හදවත කියන්නේ ශමිසෙන්...මම වාදනය ඉවර කරලා සකේ උගුරක් උගුරට  හලා ගත්ත පිරිමියා දිහා කෙලින් බැලුවා...මම එතනින් නැගිටලා ආවෙ මගේ සේවාව තවදුරටත් ඒ පිරිමියට ඕනි නැති නිසා... ඔකා සන් හිටියේ ප්‍රධාන කුටියේ හිනා මූණක් ඇඳගෙන...ජපන් ගෑනුන්ගේ මූණවලුයි  ජපන් වෙස්මූණුයි වෙනසක් නෑ... ඔකා-සන් මම එයා ගාවින් ඉඳගෙන ආචාර කරන කොට හිනාව අතුරුදහන් කරගත්තා...
"තකයෝ මහත්තයාලගේ ගෙදර උත්සවයක්...පුළුවන් නේද යන්න"
'පුළුවන් නේද යන්න' කිව්වට ඒකෙ ඇතුලේ තිබ්බේ නියෝගයක් බව පැහැදිලියි...ජපන් ගෑනු නියෝග දෙනකොට ඒවා පිළිපදින්න ඕනි...මම ශමිසෙන් එකයි බට නලාවයි පරිස්සමට සේද රෙද්දක ඔතා ගත්තා...ගේශාවෝ මූණ සුදු පාටින් පාට කරනවා...හැම හැඟීමක්ම කලාවක් කරගන්න ඕනි ගේශාවෝ...ගේශාවෝ කියන්නේ හැමෝගෙම හිත සුව පිණිස ඉන්න ගෑනු ආත්ම...ඒකත් හරියට ආගමක් වගේ..
***********************************
තකයෝ මහත්තයාගේ ගෙදරට යන්න තිබ්බේ පුංචි අඩි පාරකින්...අඩි පාර දෙපැත්තෙම සාරෙට වැවුන පීච් ගස් පෝළිමක් තිබ්බා..ඒ හැම ගහකම වගේ සාරෙට පීච් මල් පිපිලා...මගේ යුකුතාවෙත් ලස්සන පීච් මල් මෝස්තරයක් තියෙනවා...ඒක හරි පුදුමයි නේද කියනවා වගේ පීච් මල් නටුවෙන් ගිලිහිලා යුකුතාවේ පීච් මල් බලන්න පාවෙලා ආවා...හැම පීච් මලක්ම වාසනාවන්ත නැහැ..සමහර පීච් මල් විතරක් යුකුතාවේ තිබ්බ පීච් මල් එක්ක හිනා වුනා...අනිත් මල් පාවෙලා ගිහින් බිම වැටිලා මටම පෑගුනා...තකයෝ මහත්තයාගේ ගෙදර තිබ්බේ අඩි පාර කෙළවර...මම එහෙ යනකොටත් තකෝ මහත්තයා හිටියේ හරිම කළබලෙන්..
"මොකද මෙච්චර පරක්කු"
තකයෝ මහත්තයට උත්තර දෙන්න මම බැඳිලා හිටියේ නැහැ වගේම මම උත්තර දෙන්න ගියෙත් නෑ...මම නිෂ්ශබ්දව ඇතුළට ගියා..ඇතුලේ හිටියේ රෝස පාට යුකුතාවක් ඇඳගෙන හිටපු විදේශික කාන්තාවක් එක්ක තව විදේශික පිරිමි දෙනෙක්...තකයෝ මහත්තයා පසෙකින් හිටියා...මම අංශක අනූවටම නැවිලා සුභ පැතුවම ඒ විදේශිකයෝ තුන් දෙනා බලාගෙන හිටියේ තක්බීරි වෙලා...මුලින්ම තිබ්බේ තේ චාරිත්‍රය...තේ චාරිත්‍රය හැම ගෑනියෙක්ටම බෑ...ජපන් ගෑනුන්ගෙන් ගේශාවෝ නොවන අයගෙන් මේ චාරිත්‍රය දන්නේ කිහිප දෙනයි...හැම දේම කරන්න ඕනි තාලෙකට...තේ පෝච්චිය උණුසුම් ගල් අගුරු උඩ තියන්න ඕනිත් එහෙමයි...වචනයක්වත් පිට නොකර විදේශික කාන්තාව මේ හැමදේම බලාගෙන හිටියා...පිරිමිත් එහෙමයි...සකුරා කොලයක් වැටෙන සද්දෙත් ඇහුනේ අහස කඩන් වැටෙන ගානට..ඒ තරම් නිෂ්ශබ්දයි... අන්තිමට විදේශික ගෑනු කෙනා නිෂ්ශබ්ද බව බිඳලා දැම්මා...
"බියුටිෆුල්"
මට තේරුනේ ඒ වචනේ විතරයි...මට වැඩිය ඉන්ගිරීසි බැහැ...ශමිසෙන් ගහන්න,  තේ චාරිත්‍රය  කරන්න..සුදු පාට වත්සුනු තනියම ගාගන්න,රඟ පාන්න වගේ දේවල් අස්සේ කොහොමද ඉන්ගිරීසි ඉගෙන ගන්නේ ඉතින්...මම ජාපනේ ක්‍රමයට හිනා වුනා...තකයෝ මහත්තයා කැඩිච්ච ඉන්ගිරිසියෙන් පස්සේ කතා කලේ කවබතා ගැන කියලා දැනගන්න ගොඩක් දැනුම ඕනි වුනේ නැහැ...කවබතා කියන්නේ ජපනේ හිටපු කවියෙක්...ඒ කවි කියවන කොට උණ පඳුරු හෙළවෙනවා දැනෙනවා...පූජියාමා ගිනි කඳ සුසුම් පිට කරනාවා ඇහෙනවා...අන්තිමට කවබතා සියදිවිනසා ගන්නවා...සමහරවිට හේතුවක් තියෙන්නත් ඇති...නොතියෙන්නත්  ඇති..සියදිවි නසාගැනීම ජපානේ  සකුරා මල් තරම් සංස්කෘතික අංගයක්...විදේශික කාන්තාව දෙපාරක් විතර ඔළුව වැනුවා...පස්සේ තකයෝ මහත්තයා නිෂ්ශබ්ද වුනා...පූජි කන්ඳට යන පාරේ ලස්සන යමා සකුරා මල් පිපිලා තියෙනවා...ඒ යමා සකුරා මලක් තමා ඒ ගෑනු කෙනාගේ යුකුතාවෙත් තිබ්බේ..මම දැක්කෙත් පස්සෙ..
මම හෙමින් ශමිසෙන් එක සේද රෙද්දෙන් එළියට ගත්තා...දැන් මට හදවත වයන්න ඕනි..උඹලා අහගනිලා...
"මේ ගෑනිව මට ඕනි"
එතන හිටපු හීන් දෑරි පිරිමියා  කිව්වේ යටි තොල පෙරලගෙන...ඒක ජපන් බාසාවට හරවලා කියන ගමන් තකයෝ මහත්තයා මෙහෙමත් කිව්වා..
"කවුරුත් දැනගන්න එකක් නෑ...හොද ගානක් කඩා ගන්නත් බැරි වෙන එකක් නෑ..."
ශමිසෙන් එකේ තත් තුනම කම්පණය වුනා...
"ගේශාවෙක් කියන්නේ ගනිකාවක් නෙමෙයි"
ඔව් ගේශාවෙක් කියන්නේ කලා භාණ්ඩයක්...ජපානේ සකුර මල් වගේම ගේශාවෙක් කියන්නේ මුළු ජපානෙම තියෙන හැම කලාවකම සංෂිප්ත සටහකට....ගේශාවෙක් කලාව වෙනුවෙන් හැමදේම අත අරිනවා...පිරිමි එක්ක තියෙන කායික සම්බන්ධයන් පවා අත අරිනවා...මම හිටියේ තරහින්..තකයෝ මහත්තයා හිටියෙත් තරහින් වෙන්න ඇති...ජපන් මූණු වල හැඟීම් නැහැ...විදේශිකයෝ බලාගෙන හිටියේ ඉළඟ අංගය මොකක්ද කියනවා වගේ...සමහර විට කාම රංගනයක් බලාපොරොත්තු වෙන්නත් ඇටති...මම ශමිසෙන් එක වාදනය පටන් ගත්තා...හැම ස්වරයක්ම  පණපිටින් ඇවිත් මගේ ලඟින් වාඩි වෙලා වගේ දැනෙන කොට මම පරිස්සමින් වාදනය කලා...වාදනය අවසන්  වෙච්ච ගමන් මම නැකිට්ටේ පිට වෙන්න...ගේශාවෝ එහෙම නොකරන බව ඇත්ත...ගේශාවෝ ඉන්නේ මිනිස්සු සතුටින් තියන්න..ජපන් මූණුවල අමාරුවෙන් හැඟිමක් මතු කරන්න..ඒත් මේ විදේශික මූණු කතා පොත් වගේ...හැඟීම් වලින් තෙත් වෙලා...ලිස්සන සුළු මූණවල්...ආයිමත් යන්න තිබ්බේ පුංචි අඩි පාර දිගේ...පීච් මල් රොතු රොතු පොඩී කරගෙන...ඒත් මොනා කරන්නද..මල් පෑගෙනවා කියලා ගමන නතර කරන්න බෑ...එතකොටයි මම අහම්බෙන් දැක්කේ සුදු සකුරා ගහක් පීච් ගස් අතරේ තනි වෙලා ඉන්නවා..ඒ සුදු පාටයි මගේ මූණේ ගල්වලා තියෙන පාටයි එක වගේ...මම සුදු සකුරා ගහත් එක්ක හිනා වුනා...ගහ ලඟට ගිහින් තරවටු කරන තාලෙට මෙහෙමත් කියන ගමන් ආයිත් ඔකා-සන් ගාවට ගියා..ඔකා-සන් මඟ බලාගෙන ඇති...මළවුන්ගේ ආවුරුද්දට මම අම්මා එනකන් බලන් ඉන්නවා වගේ...කවබතාගෙන් කවි අහන්න බලන් ඉන්නවා වගේ...එයා බලාගෙන ඇති තව කෙනෙක් ගාවට මාව යවන්න..
"ගේශාවෝ කියන්නේ ගණිකාවෝ නෙමෙයි"
සුදු සකුරා ගහ හිස නමලා පිළිගත්තා...මම හිස නවලා පිළිගත්තට ස්තූති කලා

Comments

  1. ලස්සනයි....... දැනෙන්න, ලස්සනට ගළපලා තියෙනවා...........

    ReplyDelete

Post a Comment