රැවුළ

නානකාමරේ කණ්ණාඩිය ඇතුළින් පෙනුනේ මාව...සමහර විට ඒ මම නොවෙන්නත් පුළුවන්..ඒත් බඹර චක්කර වගේ කොණ්ඩෙ, එකට එකතු වෙච්ච ඇහිබැම කිව්වේ ඒ මම කියලා...ඒ මමම තමා!මම හිනා වුණා...කණ්ණාඩිය ඇතුළින් මගේ ඡායවත් හිනා වුණා..ඇත්තටම හිතේ කිළිට්ටක් නැතිව හිනා වෙන්න පුළුවන් මේ වගේ කණ්ණාඩියක් ඉස්සරහදි විතරයි...කණ ලඟින් පටන් ගත්ත ගැන කළු රැවුළ බෙල්ල දිගේ විහිදිලා තිබ්බේ හරියට කළුවර ගස් විතරක් තියෙන වනාන්තරයක් වගේ...
"මගේ මහත්තයෝ රැවුල කපන්න අදහසක් නැද්ද?"
එහෙම අහන ගමන් එයා ඇවිත් මගේ පිටිපස්සෙන් හිට ගත්තා..දැන් කණ්ණාඩියෙන් අපි දෙන්නාවම පේනවා...එයගේ වම් අත මගේ උරහිස උඩින් පාත් වෙලා තිබ්බා...හීතලයි...හීතලට දැනුනේ එයාගේ මගුල් මුද්ද...
"රැවුල කපලා දාන්න...ඔයා ඉඹිනකොට නැත්නම් රිදෙනවා මට හරියට"
එයා මගේ උරහිස උඩින් එබිලා අපි දෙන්නගේ කණ්ණාඩියේ ඇඳිලා තියෙන ඡායාව දිහා බැලුවා..එයාගේ අතෙත් තිබ්බා රෝස පාට රේසරයක්...මගේ අතෙත් තිබ්බා නිල් පාට රේසරයක්...එයාගේ රේසරේ තල වල රෝස පෙති කිහිපයක සළකුණු තිබුණා..ඒත්..ඔව්..මගේ රේසරයේ මල් සළකුණු තිබුණේ නැහැ...සම්පූර්ණයෙන්ම පිරිමි..සහසුද්දෙන්ම පිරිමි රේසරයක් මගේ එක...මම එයාගේ මූණ දිහා හොඳට බැලුවා...එයා ඕනකමින්ම මගේ ඇස් මඟ ඇරියාද මන්දා...එයා ගිහින් නතර වුනේ වතුර මල යට...ඇඳුම් එක එක ලිහිලා එයාගේ කකුළ් දෙක ලඟ වැටුනා..එයා පිළිමයක් වගේ....අත් දෙකක් තිබ්බ වීනස් පිළිමයක්...පණ තියෙන!..මහ වැස්සට තෙමෙන..වතුර මලෙන් අතොරක් නැතිව වැටෙන වතුර බිංදු 'චිටි චිටි' සද්දෙට දිය වෙලා එයාගේ කකුළ් දෙකෙන් බේරෙනවා...මම සින්ක් එකට බර දීලා එයා නාන හැටි බලාගෙන හිටියා...
"මොකෝ නිකන් අමුතු විදිහට බලන්නේ?"
"මොකටද රේසරයක්?"
මම මගේ රැවුළ පිරිමදින ගමන් ඇහුවා...එයා ගැස්සිලා ගිහින් වතුර මල වහලා දැම්මා...
මම ආයිත් කණ්ණාඩිය දිහා බැලුවා...රැවුළ් ගස් බලන් හිටියේ 'කපන්න එපා' කියන බැල්මකින්..
"ඔයා අකමැති නම් කපන්න එපා"
"විශේෂ කැමැත්තක් නැහැ"
"එහෙනම් කපන්න"
විශේෂ කැමැත්තක් නැහැ කියන එක ඇතුලේ අකමැති කියලා නැත්තෙමත් නැහැ තමා..ඒත් කැමැත්තකුත් නැත්තෙමත් නැහැ..
මම රැවුළ තෙමා ගත්තා...රැවුළ් ගස් අස්සෙන් වතුර බිංදු බේරිලා ඇවිත් පපුව මැද්දෙන් ගලාගෙන ගියා..හීතලයි...ගමේ ගලන දොළ පාර වගේ...දෙපැත්තේ වැවිච්ච තණ ගස් වුනත් නැත්තෙමත් නැහැ..උදේ පාන්දර පින්නකට අහු වෙච්ච තණ බිස්සක් වගේ රැවුළ් ගස් අතොරක් නැතිව තෙත් වෙලා තිබ්බා..සබන් පෙණ අහුරක් ඉළඟට...හිම වැටිච්ච තණ බිමක් වගේ...කණ්ණාඩිය ඇතුළින් පෙනුනේ නත්තල් සීයාව..'පුළුන් වගේ සුදු රැවුළ දිගයි'  සින්දුව මතක් වුනේ ඒ පෙණ ගොඩක් අස්සෙන් යාන්තන් විරිත්තන මාවම දැකලා..රේසර්ය මූණ පුරා ඉහළට ගියා...පහළට ගියා...හරහට ගියා...අන්තිමට එක රැවුළ් ගහක්වත් ඉතිරි වෙලා තිබ්බේ නැහැ...මුළු
 මූණම මුඩු බිමක් වෙලා...කණ්ණාඩිය ඇතුලේ ඉඳන් හිනා වුනේ වෙන කෙනෙක්..
එයාගෙ කකුළ් දෙක පුරාම සුදු පාට හිම වැටිලා තිබ්බා..රෝස පාට රේසර්ය ඉහළ පහළ යන අන්තිම වටය වෙන්න ඕනි...එයා ආයිත් වතුර මල විවෘත කළා...'චිරිස් චිරිස් ' වතුර බිංදු ඇවිත් හැමතැනම තෙමලා කකුළ් වල හිම දිය කරමින් තිබ්බා..ආයිමත් වතුර මල නිහඬ වුණා..
"දැන් අවුරුදු විස්සකින් විතර බාල වෙලා වගේ"
එයාගේ තොල් ඇවිත් මුඩු බිම උඩින් ඇවිත් නතර වුණා...දැන් එතන මල් පිපෙන්න පටන් අරගෙන..

Comments

  1. අමා ලස්සනයි මම මේ බ්ලොග් ඒක දැක්කේ අහම්බෙන් දිගටම ලියන්න හොද පෝස්ට් දාන්න ඔබට ජය

    ReplyDelete
    Replies
    1. හීන සාප්පුවට සාදරයෙන් පිළිගන්නවා...ස්තූතියි 😊

      Delete
  2. මටත් හිතෙනවා කතාවක් ලියන්න,ලස්සනයි හැමදේම මැවෙනවා කියවන් යනකොට

    ReplyDelete
    Replies
    1. අනේ ශානු අක්කේ ලියන්න :) මට 100% විශ්වාසයි මට වඩා අක්කා ලස්සනට ලියාවි කියලා...ශානු අක්කේ තැන්ක්යූ 😊😊😊

      Delete
  3. ලොවෙත් නෑ අඩේ.. හිහි.. දිගට රැවුල වැවුණම රේසරෙන් කපනෙක අම්බ වහක්..
    මගෙත් රැවුල වවලතියෙන්නෙ අගලක් විතර දිගයි දැං... කොනක් ඉඳන් ඒක කපල දානනලු.. තාම මං මේ කම්පනා කරනව කපන්නද නොකපන්නද කියල..හැක හැක

    ReplyDelete
    Replies
    1. හම්මේ ඒක නම් ඇත්ත...අන්තිමට රැවුළයි මූණේ කෑළ්ළකුයි කැපිලා තමා වැඩේ අහවර වෙන්නේ

      Delete
  4. ලස්සනයි......... පට්ටයි............ නියමයි..........

    හැබැයි ඔය තරම් වැවුන රැවුලක් ඔය තරං ලේසියෙන් ආතල් එකටනං කැපෙන්නෙ නෑ නෙහ්......... රැවුල ටිකයි මූණ ගොඩයි කැපෙනවා..........

    ReplyDelete
    Replies
    1. හී හී ඒකනම් ඇත්ත ආර්යන්...තැන්ක් යූ ^_^

      Delete

Post a Comment