කළල දරුවා

ඈ හත්මාස වයසැති කළලයක්...පළමු හුස්ම ගන්න කලින්ම අවසන් හුස්ම හෙලපු...මනුස්ස පෙනුමයි...ඔළුව පොඩ්ඩක් ලොකුයි...
"ලස්සන කෙළි පොඩ්ඩ"
සිරිපාල තෙත් කළලයේ හිස්කෙස් අතරින් ඇඟිලි තුඩු අරගෙන ගියා..මේ තරම් මෙළකක්...තෙත් පුළුන් වගේ...හීතලයි..
"ළමයෙක් කියන්න බෑ බන්...මේ බඩේදිම නැති වෙච්ච කේස් එකක් නෙහ්"
සරත් මෝචරි ජනේලෙන් රතු පාට බුලත් කෙළ වඩි දෙකක් විද්දා..."චිරිස්"
ඒක කළලයක් වුනාට සිරිපාලට පෙනුනේ ළමයෙක්ව...අත් දෙක ගුලි කරගෙන ඇස් වහගෙන ඉන්න පුංචි කෙළි පැටියෙක්ව...සිරිපාලගේ යසෝමාත් ගැබ්බරයි...යසෝමගේ බඩේ ඉන්නේ ළමයෙක් නෙමෙයි කළලයක් කියන්න පුළුවන්ද...
'මේ බලන්න මහත්තයෝ..පුතා හෙමින් පයින් ගහන හැටි'
ඒ වෙලාවට සිරිපාල යසෝමගේ බඩ උඩින් කණ තියලා අහගෙන ඉන්නවා...ඒක සිරිපාලට භාවනාවක්..පුංචි කකුළක් ඇවිත් කම්මුළේ වදින එක කණිසයක්..
"කොහොමද බන් එහෙම කියන්නේ..ලස්සන  බලහන්කෝ...කැරළි කොණ්ඩේ...මේ බලහන් මේ බලහන්...කෙල්ල හිනා වෙලා ඉන්නේ"
සිරිපාල පරිස්සමට කෙළිපොඩිත්තගේ තොල් උඩින් සුලඟිල්ල තිබ්බා...තෙත හීතල තොල්..
"සරත් බුලත් කහට බැඳිච්ච දත් දෙක තුනක් විළිස්සුවා..
"අනිච්චා වත සංකාරා බන්..බුදු බණ බොරු නෙමෙයි.."
සිරිපාල පුංචි මළ කඳ සීරුවට පිහ දැම්මා...ඒ වෙලාවේ තමා ගුණසේන නර්ස් මහත්තයා ආවේ..
"අයිසේ සිරි..උබට  පිස්සුද..ඔය මොකක් හරි පෙට්ටියක් ගනින්..ඕක වළදාන්න"
සිරිපාල මළ කඳ අත් උඩින් තියාගෙන  ගුණසේන දිහා බලාගෙන හිටියා...ගුණසේන බලාගෙන හිටියේ මිනී තැම්පත් කරලා තිබ්බ ට්‍රොලි දිහා...
"මේ බලහන් මේකේ තමයි අපෙ අම්මාගේ මිණිය තිබ්බේ"
ගුණසේන ඇස් පොඩි කරලා නහය හූරලා ට්‍රොලිය දිහා බලාගෙන හිටියේ අම්මා ට්‍රොලිය උඩ ඉන්න ගානට...පස්සේ  ගුණසේන මෝචරියෙන් අඩිය ඉක්මන් කරල ගියා...හීතල පුංචි කෙළ්ළව සිරිපාල  කාඩ්බෝඩ් පෙට්ටියක පරිස්සමට තැම්පත් කළා..සුදු මේස්..ලස්සන්න ගවුම්..එව්වා ඕනි නැහැ..මේ ළමයෙක් නෙමෙයි..කළලයක් ...ළමයෙක් කියන්නේ කළලයක් නෙමෙයිද...ළමයි කළලයක් වෙලා ඉඳලාම නැද්ද?
ගුණසේන හැරෙන තැපෑලෙන් සිරිපාල ලඟ හිටගෙන ඉන්න විත්තිය දැනුනේ ගුණසේන හති දාන සද්දේ නිසා...
"අන්න යසෝමාට අමාරු වෙලා"
ගුණසේන ඇස් ලොකු කරලා සිරිපාල දිහා බලාගෙන හිනා වුණා...විළිරුදාව නේද අහන්න ඕනි නැහැ...ගුණසේනගේ හිනාවෙ තිබ්බේ ඒක..
සිරිපාල සීතල වෙච්ච කෙළ්ළගේ
පෙට්ටිය මේසයක් උඩට විසි කරලා ඉස්පිරිතාලේ කොරිඩෝව දිගේ  ටික දුරක් දුවගෙන ගිහින් ආපහු හැරිලා බැලුවා..එතකොට මෝචරිය පෙනුනේ ගොඩක් පුංචියට..

Comments

  1. මල්ලි ඔයාගෙ කතා මම හරි ආසවෙන් බලන්නෙ. ඔයා හරි ලස්සනට ලියනවා. සමහර කතා ඇස් වලට කඳුලු එන තරම් සාංවේදියි.හැමදාම මේ වගේ ලස්සනට ලියන්න.
    ඔව් කල්ලලයක් කියන්නෙත් ලමයෙක් තමයි. මාස නමයක් තිස්සේ අම්මා කෙනෙක් හරි ආදරයෙන් පරිස්සම් කරන චූටි දරු පැටියෙක්.

    ReplyDelete
    Replies
    1. බොහෝම ස්තුතියි වරාමලී අක්කේ...හීන සාප්පුවට සාදරයෙන් පිළිගන්නවා 😊

      Delete
  2. ලස්සනයි අැත්තටම ගොඩක්

    ReplyDelete

Post a Comment