කැන්වසය, පාට සහ සිත්තරා

ඒ ඇස් ලොකුයි...පිරිමි ඇස්...තද කළු පාට කණිනිකාව...තව කැරළිකාර නොසණ්ඩාල කොණ්ඩෙකුත් තිබුනා...කියන්න අමතක වුනා....ගැඹුරු නිහඬකමක් එක්ක සැහැල්ලු හුස්මකුත් තිබුනා...
එයාගේ විසල් ඇස් වලින් එයා බලාගෙන හිටියේ කැන්වසය දිහාව...හෙමින් ඇහිපිය ගහන ගමන් රතු පාට තැවරිච්ච පින්සලකින් සුදු පාට කැන්වසය තෙත් කළා...රතු පාට...ගිනියම් වැඩි බව ඇත්ත..මේ වගේ නිහැඬියාවකට රතු පාට තද වැඩි...අනික සුදු පාට පසුබිමක රතු පාට නොසන්සුන්...
 "ඇයි රතු පාට?"
මම එහෙම අහලා නිහඬබව වීදුරුවක් වගේ බිඳලා දැම්මා...
ඒ ලොකු පිරිමි ඇස් මට රවන ගමන් රැවුල අස්සෙන් එබිලා බලපු තොල් දෙක හිනා වුනා...ඇස් වලින් රවන්නයි තොල් වලින් හිනා වෙන්නයි පුළුවන් කාටද?එයාට පුළුවන්...
ආයිමත් කැන්වසය දිහා ටිකක් වෙලා බලන් හිටපු එයා සුදු පාට තීන්ත පැල්ලමකින් රතු පාට බොඳ කලා...ටිකෙන් ටික සුදු පාටට රතු පාට යටත් වෙනවා...දැන් ලා රෝස පාට..හිතට නිදහස් පාටක්...මගේ තොල් ආලේපන වල පාට...
තව තිතක් තියන්න ඕනි කොතනද කියන එකද මන්දා එයා ආයිත් ටිකක් වෙලා කල්පනා කලා...ඉළඟ පාට මොකක්ද...මම අහන්න කලින් කළු පාටින් ගෑනු ඇස් දෙකක් කැන්වසය තෙත් කලා...කඳුළු නැතුවත් කැන්වසයක් වුනත් තෙත් කරන්න පුළුවන් ගෑනු ඇස් වලට විතරයි...ඒ ගෑනු ඇස් නේද කියලා අහන්න හිතුනත් මම අහන්න ගියේ නම් නැහැ...
ඒ චිත්‍රෙටම තිබ්බේ එච්චරයි...එයා බලාගෙන ඉඳලා කැන්වසය කෙළවරකින් කහ පාට තිතක් තිබ්බා...කහ පාට ලෙඩ පාටයි..ඒත් වෙලාවකට හිත නිවනවා...හිත නිවනවා විතරක් නෙමෙයි හිත පන්සලක අතරමන් කරනවා...
එයා එතනින් නැකිටලා ගියත් මම චිත්‍රේ ඇතුළේ අතරමන් වුනා...ඇත්තටම ඒ ඇන්ඳේ මාවද?

Comments