කෝපි


මීදුමක් වගේ සුදු පාටත් නැති වෙන කිසිම පාටක් නැති දුමක් කෝපි කෝප්ප දෙකෙන් එළියට එමින් තිබුණා...
"රස්නෙයි නේද?වහින වෙලාවට රස්නේ කොපි තමා ඉතින් පන්කාදු"
මම යාන්තන් හිනා වෙනවා දැක්ක පසස් කෝපි කෝප්ප දෙකෙන් එක කෝප්පයක් පරිස්සමට මගේ ලඟට තල්ලු කළා..අපි හිටියේ කෝපි අවන්හලක විසල් වීදුරු කවුළුවක් ලඟ යුගල මේසයක...එච්චර සෙනගක් නැති වුනත් අවන්හල පුරාම මින්ට් සුවඳින් පිරුණු බවක් තිබුණා...එක පොළිමට ආපු වැහි පොද වීදුරුව මත ගැටිලා බිඳිලා යනවා...ආයිමත් ගැටෙනවා... ආයිමත් බිඳෙනවා...මම බලාගෙන හිටියේ බිඳිලා විසුළ වුන වැහි බිංදු  ජනේල වීදුරුව දිගේ පල්ලම් බහින හැටි..
"අශ්වාසි....දන්නවද අද ස්ටේජ් ඩ්‍රාමා එකක් තියෙනවා..."
පසස් ඒ වචන ටික කිව්වේ මගේ මූණේ සිද්ද වෙන හැම වෙනස්කමක්ම අල්ලගන්න වගේ මං දිහා බලාගෙන...මම හිනා වුණා...
"පායන දවසක යමු....මට අද කෝපි බොන එක ඊට වඩා වටිනවා..."
කෝපි කෝප්ප දෙක තාමත් දුම් දමමින් තිබ්බා..පිපිරෙන්නට ටිකකට කලියෙන් තියෙන යමහල් දෙකක් වගේ...මමයි පසසුයි දෙන්නම බලාගෙන හිටියේ දැන් පුපුරලා ලාව ගලාවි කියලා බලාගෙන ඉන්න පුංචි උන් දෙන්නෙක් වගේ...වහින සද්දේ දිහාවට කන් දීගෙන ඉන්න බව පෙන්නුවත් පසස්ගේ හිත තිබ්බේ කෝපි  කොප්පේ අල්ලන්න බයෙන් හිටපු මගේ දකුණු අතේ වෙදගිල්ල දිහා කියලා මට දැනුණා...මම එයාට නොදැනෙන්න හෙමින් වම් අතින් දකුණු අත වහගත්තා...
"දැන් මුද්දක් දාන්න කාලේ හරි නේද?දැන් අවුරුදු තුනක් වෙලා තියෙද්දිත්..."
මුද්දක්! මුද්දක් කියන්නේ බන්ධනයක්....බැඳිමක් එක්ක හදවත් පෑස්සිමක්..වෙන කෙනෙක්ගේ වර්ණ ඉලීමක්...
"ඔයාට මුද්දක් දාන්න ඕනිමද?"
"මේකට ලස්සන අවසානයක් දෙන්නා කැමැත්තක් නැද්ද ඔයාට?"
පසස්ගේ මූණේ හරි මැද්දෙන් වැහි වළාකුළක් නැවතුණා..දැන් වහීවිද මේ වැහිවළාකුළ..
"අවසානයක් මට එපා...මම අවසානයකට බය විත්තිය ඔයා  දන්නවා...අනික අවුරුදු තුනකින් ඔයා මට බාරදෙන්න යන්නේ ආදරය අවසාන කරපු බවට කඩදාසියක් නම් ඒ කඩදාසිය පුච්චල ඒ අළු නළලේ ගාගන්න දෙපාරක් මම හිතන්නේ නැහැ..."
පසස් ප්‍රශ්වාසයක් පිට කළා...මම ඒක ආශ්වාස කළා..
"මේ අහන්න...මගේ ආදරේ මේ කෝපි කෝප්පේ නිවෙනවා වගේ නිවිලා යන්නේ නැහැ...කඩදාසියකට අත්සන් නොකළා හෝ කළා කියලා ඒකෙ වෙනසක් වෙන්නෙත් නැහැ..ඒත් අපිට පුළුවන් ලස්සන ගෙදරක්ක පදිංචි වෙන්න ...එකට ජීවත් වෙන්න..දරුවෝ හදන්න..ඉතින් ඒක කඩදාසියක් වගේම මුද්දක් ඕනි නේද?මට ඕනි ඔයා වගේම පුංචි දුවෙක්.."
ඒ වෙලාවේ අපි දෙන්නට ඉහළින් අපේ පුංචි දුව පාවෙලා ගියා...පසස් අර බලන්න අපේ පුංචි දුවගේ ගන්ධබ්බයා...එයා පාවෙනවා...කවදා  හරි එයා මගේ ඇඟේ කොටසක් වේවි..පෙකිණියෙන් මාව බන්ධනය කර ගනිවී..අපි ඒකාත්මික වේවි...දරුවෝ ඉපදුනාම එයාලට තටු ඇවිත් පියඹාවි..සමනල්ලු වගේ...
"මම කැමති...ඔව් මම කැමති.....මේ කෝපි කෝප්ප නිවෙන්න නැතිව තියා ගන්න...මේ කෝපි කෝප්ප තව තවත් දුම් දදා මෙහෙම තියෙනවට...රස්නෙන්  බොමු දැන් කෝපි දෙක.."
පසස් හිනා වෙනවා එක්කම විදුලියක් කෙටුවා...මම බලාගෙන හිටියේ වීදුරු දෙදරවන් ගොරවනවා අහන්න...ඒත් ගෙරෙව්වේ නැහැ..
"එහෙනම් අපි ලබන මාසේ බඳිමු"
පසස් කෝපි කෝප්පය බොන්න පටන් ගත්තා...මම කෝපි කෝප්පයට අත් තද කරලා උණුහුමක් කාණ්දු කරගන්න ගමන් මඩ පාට වෙච්ච පාර දිහා බලාගෙන හිටියා...
#අමා
 

Comments