මල්

තව ටිකකින් වහිනවා කියලා කියන්න කාලගුණ දෙපාර්තුමේන්තුවක් ඕනි  වෙන්නෙ නැහැ...දත් එකිනෙක ඝට්ඨනය කරන තරම් හීතල හුලඟකුයි බ්ලැක් බෙරි ගෙඩියක් වගේ අහසකුයි තියෙද්දි වැස්සක් වහින්න එන්නේ කියලා කාටත් කියන්න පුළුවන්..
"වහින්න කලියෙන් මල් කඩන්න...වැස්සේ මල් කඩන්න බැහැනේ"
අම්මා මගේ අත්දෙක උඩින් බලෙන්ම මල් වට්ටියක් ගෙනත් තිබ්බා...මල් වට්ටියේ පතුලේ සෙවළ වගේ රැඳිලා...ඒ ගැන අම්මට ගානක් නැහැ...අම්මට ඕනි මල් විතරමයි...මම ඉද්ද ගහ ගාවට යන්නේ යාන්ත්‍රිකව...ඒ තරම් මේක පුරුද්දට ගිහින්...ඉස්සර මල් කඩන්න මම බෑ කිව්වම ආත්තම්මා කියනවා "ලස්සන කුමාරියෙක් වෙන්න නම් මල් කඩන්නම ඕනි" කියලා...ලස්සන කුමාරියෙක් වෙන්න කවුද අකමැති ඉතින්...මම එක පිම්මට ඉද්ද ගහ ගාවට දුවනවා..දැන් නම් කුමාරියෙක් වෙන්න නෙමෙයි මල් කඩන්නේ...හරියට නිකන් කරන්නන් වාලේ කරන තාලෙට...ඉද්ද ගහ ගාවට ගියාම ඉද්ද අතු එයාගේ මල් හංඟ ගන්නවා...ඒක ඉතින් ඇත්ත කතාවක් නෙහ්...කවුද කැමති තමන්ගේ ප්‍රජනන ව්‍යූහ කඩා ගන්නවට...මල් කියන්නේ ගස් වල ප්‍රජනන ව්‍යූහ කියලා කියලා දුන්න දවසේ මට මතක් වුනේ බුදුන්ගේ මල් ආසනේ...එතන තියෙන්නේ  හුස්ම ගන්න අයිතිය නැති කරපු ජීවිත නෙමෙයිද...මම සිනිදුවට මල් නට්ට තෙරපලා ඉද්ද මල් එකින් එක කඩලා වට්ටියට දා ගත්තා...ඉද්ද මල් මං දිහා බලාගෙන හිටියේ 'මේ ඇයි අපිව මරලා දාන්නේ'  කියන විදිහට...මම වට්ටියත් අරගෙන ගෙට එන කොටම මහ වැස්සක් පටන් ගන්න වුනා...මුලින්ම එක වැහි බිංදුවක්..පස්සේ දෙකක් වෙන්න ඇති..තුන හතරක්..බිමට කඩාගෙන වැටෙනවා..
අම්මා පහන අතේ තියාගෙන හිටියේ මම මල් අරගෙන එනකන්...ඒ මල් වල මූණවල් අම්මා බලෙන්ම උඩට හැරෙව්වා...
"දුව මල්  පූජ කරන්න "
මම පූජාසනෙන් මල් වට්ටිය තියලා අම්මා එක්ක නමස්කාරය කියලා ගාථා කියන්න පටන් ගත්තා...අන්තිමට "කායේන වාචා චිත්තේන" ගාථාව කියන කොට මට මතක් වුනේ මල් කඩපු තැන් වලින් කිරි වෑස්සෙන ඉද්ද ගහ...

Comments