යුධ සිනහව


මම හිටියේ තල් ගස් දෙකක් මැද්දේ ගහලා තිබ්බ බංකුවක් උඩ වාඩිවෙලා...දැන් වෙලාව පාන්දර පහට විතර ඇති...මේ වෙලාවට වැඩිය වෙඩි සද්ද ඇහෙන්නේ නෑ....අප්පා මැරෙන්න කලින් ඉංග්‍රීසි ඉස්කෝලෙ මහත්තියා කෙනෙක්...ඉගැන්නුවේ යාපනේ සෙන්ට්‍රල් එකේ...මට හොදට මතකයි අප්පා කණ්ණාඩි දෙක උඩින් ඇස් කරකවලා මං දිහා බලලා "ලෙට් මී සී යුවර් ලිට් බුක්" කියලා කියන හැටි...එතකොට මම දුවලා ගිහින් අප්පාගේ අත් දෙක උඩින් පොත ගිහින් තියනවා..අප්පා මැරෙන්න කලින් දවසේ කියලා දුන්නේ "වෙයර් හැව් ඕල්ද ෆ්ලවස් ගෝන්" කවිය...ඒක දිග වුනාට පාඩම් කරගන්න ලේසි...අප්පා කිව්වේ ඒ කවියේ තියෙන්නේ යුද්දේ කියන්නේ තරුණ ජීවිත බිල්ලට ගන්න එක කියලාලු...ලෝකෙන් බල තණ්හාව කියන පිළිකාව අයින් කරනකන් යුද්දය කියන එක කරත්ත රෝදේ වගේ කැරකෙනවලු...එහෙම කියන කොට මට හොදට මතකයි අප්පාගේ ඇස් දෙක දිලිසිච්ච හැටි...එහෙව් අප්පා කොටියෙක් වෙන්නේ කොහොමද මුරුගන්...දෙයියෝ උනත් බැල්ම හෙලන්නේ පිච්ච වතුරෙන් හෝදලා අභිෂේක කරපු මණ්ඩප  වලට විතරමයි....ලේ ගඳ ගහන වැළි පොළව දිහා දෙයියෝ වුනත් බලන්නේ නැහැ...අප්පා නැති වෙලා දවසක් යන්නත් කලින් තංගච්චිව සංවිධානෙට උස්සන් ගිහින් තිබ්බා...හොද වෙලාවට මම හිටියේ වැසිකිළියේ...තංගච්චි මොර තියෙන සද්දේ අහගෙන හිටියේ මම ගල් ගැහිච්ච ගානට...අම්මා කිව්වේ අප්පාව මැරුවේ  ආර්මී එකෙන් කියලා...කවුරු මැරුවත් අප්පෙක් නැති අනාතයෙක් වුනේ මම... කණවැන්දුම් වුනේ අපේ අම්මා...ඔය දේවල් තල් ගස් දෙක මැද්දේ ඉඳගෙන ඔළුවෙන් හිටගෙන කල්පනා කලත් දැන් ඇති වැඩක් නැති බව ඇත්ත...ඒත් මිනිහෙක්ට පුළුවන්ද අතීතෙ අමතක කරන්න..මම හීතල වෙලා තිබ්බ වැලි අස්සේ මගේ කකුළ් දෙක ඔබාගෙන හිටියා...එතකොටම තමයි  දේවතා එළි වගේ ආටි ගහන්න පටන් ගත්තේ...එක ආටි එකක් වැටුනේ හරියටම කිරිකේශ්වරම් කෝවිල ගාවට...මට එක පාරටම මතක් වුනේ සෙල්වි...සෙල්විව හොයාගෙන යන්න කියලා හිත කිව්වට එක පෝළිමට එන ආටි වැස්සත් එක්ක අඩියක් උස්සලා යන්න පුළුවන්ද...මම එහෙම්මම වැළි පෝළවේ හාන්සි වුනා...කකුළ් දෙකට විතරක් දැනිච්ච වැළිව හීතල පපුවටත් දැනෙනවා..ඒ හීතල මදි පපුවේ ගිනි නිවලා දාන්න...සෙල්වි මගේ අතින් අල්ලා විතරමයි තිබ්බේ..සෙල්වි මැරුණවත්ද...කොහොමත් ජීවිත ගැන ආසවල් ගොඩක් බලෙන්ම අපි දියකරලා තිබ්බේ....එතකොට අම්මා...එයා කොහෙද ...මම හිටියේ ප්‍රශ්න දාහක් මැද්දේ ආටි වැස්සක කුඩේකුත් නැතිව...ටික වෙලාවකට පස්සේ ආටි වැස්ස වැහි පොදයක් වත් ඉතිරි නොකර පායලා තිබ්බා..මම කකුළ් දෙකින් වැළි පොළවේ හිට ගන්නකොට පපුවේ පුරාම වැළි පැල්ලම්...ආටි ගහන එක නැවතිලා තිබුනත් වැටිච්ච ආටි වලින් ගමෙන් බාගයක් ගිනි බත් වෙලා තිබ්බා...ඉතිරි බාගයම තිබ්බේ එක එක ප්‍රමානයේ පිච්චිච්ච මිනී වලින්..මේ ලඟදි ලොකු ළමයෙක් වෙච්චි සරෝජාගේ හීතල වෙච්ච අතක් තව ටිකෙන් මට පෑ ගෙන්නත් තිබ්බා...මම හැම  තැනම හෙව්වේ අම්මාව...ඒත් ඒ වෙනකොටත් වහලේ පිචෙමින් තිබ්බ ගේ ඇතුලේ අම්ම හිටියේ නැහැ...මට ඕනි වුනේ   හයියෙන් කෑ ගහන්න..ඒත් මට වචන පිට වුනේ නැහැ...මම ඇවිදගෙන ගියේ අපේ ගමේ මැදින් වැටිච්ච පාර දිගේ...රමා අයියාගෙයි සෙල්වන් මාමගෙයි ගෙවල් දෙකම ගිනි ගන්නවා..මට මතකයි රාමා අයියයි සෙල්වන් මාමයි වැට මායිමට ගහ මරා ගත්ත හැටි...දැන් ඒ වැට මායිම තිබ්බ තැනක්වත් නැහැ..වැට මායිම කොහෙද කියලා හොයන වෙලාවක්ද මේක...එතකොට තමා ඇහුනේ කවුද ගෑනු කෙනෙක් කෑ ගහන සද්දේ...ඒක ඇහුනේ සෝමපාලගේ ගෙවල් පැත්තෙන්...අප්පා මැරිච්ච දවසේ ඉඳන් අම්මයි මමයි සිංහල මිනිස්සු එක්ක කතා කලේම නැහැ...ඒ අපේ හිතේ තිබ්බෙම අප්පාව මැරුවේ ආර්මී එකෙන් කියලා ...අනික සෝමපාල ආර්මී එකෙ..ඒත් මේ ඔව්වා හිත හිතා ඉන්න  වෙලවක් නෙමෙයි  නෙහ්..මම සෝමපාලගේ ගෙදර යනකොට ගෙයින් පැත්තක් කඩාගෙන වැටිලා තිබ්බා...අනිත් පැත්තේ බඩ දරු අම්මා කෙනෙක් දාඩිය පෙරාගෙන ලතෝනි තියනවා...එයා මාව දැකලා ඇස් පුංචි කරලා බලාගෙන හිටියේ යටි තොල හපාගෙන අමාරුවෙන්...මම හිටියේ ගල් වෙලා  වගේ...
"අනේ නංගියේ මට ළමයා ලැබෙන්න වගේ"
මම දෙපාරක් නොහිතා ඒ ගෑනු කෙනා ලඟට දුවලා ගියා..අමාරුවෙන් අමරුවෙන් හුස්ම ගන්නේ අම්මෙක් නේද කියලා හිතනකොට බඩ පපුව වුනත් පිච්චිලා නොයනවනම් තමා පුදුම..ඒ ගෑනු කෙනා මට එයාගෙ අල්මරියේ රෙදි ඔක්කෝම අරගෙන එන්න කිව්වා...අල්මාරිය...අල්මාරියක් කොහෙන් හොයන්නද...මම එතන දොර පියනක් අමාරුවෙන් තල්ලු කරන් කාමරේකට ඇතුල් වුනා..වහළයක් ඒ කාමරේට ඉතිරි වෙලා තිබ්බේ නැහැ...එතන තිබ්බ අල්මාරියෙන් ඔක්කෝම රෙදි අරගෙන ඇවිත් ඒ ගෑනු කෙනා ගාවින් එලුවා...මට පුළුවන් වුනේ එයාගේ අත තදකරලා අල්ලගෙන ඉන්න විතරමයි...මම දන්න විදිහට ගයත්‍රී මන්ත්‍රය කියන්න වුනා..ඒක ගැලපෙන්නේ නැහැ තමයි..අනික මෙතන සාත්තු සේවය කරන්න තරම් දැනුමක් මට තිබ්බෙම නැහැ..මම හිටියෙත් මේ ගෑනු කෙනා තරම්ම බය වෙලා...පැයකට විතර පස්සේ ඒ ගෑනු කෙනා තනියෙම පිරිමි ළමයෙක් ප්‍රසූත කලා...පෙකිණිය දෙතැනකින් ගෙට ගහලා මැදින් කපන්න කිව්වේ ඒ ගෑනු කෙනාමයි..මම  විදිහට කපලා දැම්මේ ඒ ගෑනුකෙනාගෙ කතුරකින්..දරුවව ඒ ගෑනු කෙනාගේ  පොප්ලින් යට සායක පරිස්සමට එතුවෙත් මමමයි...මම හෙව්වේ ඒ දරුවගේ සිංහල කියලා ගහලා තියෙන තැන කොතනද කියලා...එතකොට ඒ දරු පැටියා හිතාගන්න බැරි විදිහට හිනා වුනා...ඒ නිහඬ හිනාව ලෝකයකයකට  සමච්චල් කරන්න  පුළුවන් වුනා...

Comments

Popular Posts