ඉඳහිට ලියන බහුබූත
ලියන එක සම්පූර්ණයෙන්ම අතහැරලා දාන්න සිද්ද වෙන තරමට කළබලකාරී ජීවිතයක් ගෙවන්න වෙච්ච එක ගැන මම කල්පනා කරන්න පටන් ගත්තේ Yonggungsa පන්සලට යන්න බස් එකට නගිනකොට.. ඉවර කරන්න දවස් තුනක් වගේ යන වැඩ කන්දක් දවසින් ඉවර කරලා බඩගින්නේ ලැබ් එකේ ඉඳගෙන ඉන්නකොට, අද දවස පන්සල් යන්න ඔනි කියලා හිතුව නිසාත්,සීත නිවාඩුව වෙනුවෙන් මට ගන්න පුළුවන් දවස් පහේ නිවාඩුව නොගත්ත නිසාත් අද ලැබ් එකට නොයා ඉන්න ඔනි කියලා හිතුවා..
මේ ගෙවිලා යන දවස් සමහර වෙලාවට ගෙවා ගන්නේ හරිම අමාරුවෙන්.. පුංචි පුංචි වැඩ මිලියනයක් විතර බොහෝම සීරුවට මනසෙන් පිළිවෙලට කරන හැටි සැලසුම් ගහන ගමන්, තමන් වෙනුවෙන්,සතුටින් සිටීම වෙනුවෙන් මනස සැහැල්ලු කරගන්න එක,ඔව්, හරිම හරිම අමාරු වැඩක්.. ඒ නිසා මේ ගෙවිලා යන දවස් වලට මම "වැහි වලාකුළු" දවස් කියලා කියනවා,මොකෝ මේ දවස් වල මුළු හිතම කළුවරයි අඳුරුයි..
මම මේ පන්සලට යන තුන් වෙනි වතාව.. මේ පන්සලට මම ගොඩක්ම ආස මුහුද ගාව තියෙන නිසා වෙන්න ඔනි.. ලංකාවේ පන්සල් වගේ නොවුනාට කොහේ හිටියත් බුදුන් බුදුන්මයි කියලා මම හිතට කියාගෙන මගේ හිත සැහැල්ලු වෙනකන් බුදුන් වැන්දා.. ඉටිපන්දම් පත්තු කලා.. ඒ හැමදෙයක්ම ඉවර වෙනකොට වැහි වලාකුළු ටිකෙන් ටික හිතෙන් ඈත් වෙලා යනවා මට දැනුනා.. මුහුදු හුලඟ, මුහුදු සද්දෙ, නොතේරෙන කොරියන් වලින් කියන ගාථා.. හැමදෙයක්ම හිත සුවදායී තනිතලාවකට එක්ක යනවා වගේ..
ඒ පන්සලේම මුහුද ඇවිත් ගල්පර වල හැප්පිලා සුදු පාට පෙණ විසිරෙන හැටි දිහා බලාගෙන කෝපි බොන්න පුළුවන් කෝෆී ශොප් එකක් තියෙනවා.. මම එතන තියෙන කොෆීශොප් එකේ ජනේලයක් ලඟ ඉඳගත්තේ වැනිලා ලතේ එකක් සීතලට ගල් වෙච්ච අත් දෙක මැද්දේ තියාගෙන..
"මම මේ පුටුව ගත්තාට කමක් නෑද?"
හිතින් මුහුදේ උඩුබෙලි අතට පාවෙන්න තිබ්බා නම් කොච්චර හොඳද වගේ විකාර හිතහිතා ඉන්න වෙලේ ඒම ඇහුවේ මැදිවිය ඉක්මවා ගියත් බොහෝම ප්‍රියමනාප කොරියන් මහත්මයෙක්..
"ඒකට කමක් නෑ.. මම තනියම ආවේ.."
මම එහෙම කියලා හිනා වෙලා ආයිත් මුහුද දිහා බලාගෙන කෝපි බොන්න පටන්ගත්තා..
"ඔයා මොන රටේ කෙනෙක් ද?"
"මම ලංකාවේ"
"කොරියාවේ මොනවාද කරන්නේ"
"මම phD එක කරන්නේ මෙහෙ"
"Major?"
"Microbiology"
කොරියන් මහත්මයාගේ එක පාරටම මාත් එක්ක හයියෙන් හිනා වුනා..
"මගේ research field එකත් microbiology"
ඒම පටන් ගත්ත කතාබහ හරිම රසවත් වුනේ අපිට පොදුවේ කතා කරන්න පුළුවන් දේවල් ගොඩක් තිබුණ නිසා..මීට අවුරුදු විස්සකට කලින් තමන් phD එක ගත්තහැටි, එයාගේ රිසච් ෆීල්ඩ් එක වෙච්ච plant microbiome මගේ undergrad research එකත් එක්ක සමාන වෙන්න පුළුවන් තැන් ගැන අපි කතා කලා.. මීට අවුරුදු කිහිපයකට කලින් එයා strawberry මල් වලින් හොයා ගත්ත අලුත් බැක්ටීරියාවක genetic makeup එකට ගොඩක් සමාන බැක්ටීරියාවක් එයාගේ යාලුවෙක් ගැඹුරු මුහුදේ ජීවත් වෙන මාළුවෙක්ගේත් හොයාගන්න පුළුවන් වෙලා තිබ්බාලු..
"සමහරවිට ඒ බැක්ටීරියාවම ඉස්සෙක්ගෙන් හොයාගන්නත් බැරි නැහැ.. ලෝකය කොයිතරම් නම් පොඩී ද නේද"කියලා මාත් එක්ක හිනා වුනා..
මම පන්සලෙන් එන්න කලින් එයා මට කිව්වේ එයාගේ university එක තියෙන පලාතට ආවොත් එයාට කතා කරන්න කියලා.. එයත් එයාගේ නෝනාත් දෙන්නාම ඒම කරපු ආරාධනාව පිළිඅරගෙන මම ආයිත් ගෙදර එන්න පිටත් වුනා..
ගෙදර ආවාට පස්සේ හිතට උඩින් තිබ්බ වැහිවලාකුළු නැති වෙලා ගිහින්, නිල්ම නිල් පාට අහසක් මතු වෙලා.. තාමත් ඈතින් මට මුහුදු හුලඟේ සද්දෙයි, මුහුදු සුවඳයි දැනෙනවා..
Comments
Post a Comment