තොල් සායම්
තොල් සායම් පැල්ලමක්!රාවනාගේ සුදුපාට කමිසයේ කොලරය ළඟ තද රතුපාට ආලේපන පැල්ලමක් ඉතිරි වෙලා තිබුණා..මන්දෝදරී ඒ දිහා බලාගෙන හිටියේ පුළුවන් තරම් ඇස් ලොකු කරගෙන යාන්තම් කටත් ඇරගෙන බව කවුරුත්ම දකින්නේ නැති බව නම් සහසුද්දෙන්ම සහතිකයි...ඇරත් රාවනා වැඩට ගියාම ගෙදර මන්දෝදරී හිටියේ තනියෙම...මන්දෝ රාවනාගේ සුදු පාට කමිසය දිහා බලාගෙන ඉන්න වෙලාවේ නාන කාමරේ හෝස් ගාලා ඇරලා දාපු කරාමයෙන් නිනව්වක් නැතිව වතුර බේරෙමින් තිබුණා...ඒ බේරිලා ආපු වතුර කළුපාට බේසමකට එකතු වෙලා පිටාර යන බවක් මන්දෝට නොදැනෙන්නත් තිබුණා;ඒ වතුර සුදු පාට ටයිල් පොළවෙ දිගේ ඇවිත් මන්දෝගේ කකුළ් තෙමුවේ නැත්නම්...ඒ පැල්ලම තොල් වල හැඩයට සිත්තම් වෙල තිබ්බා...මන්දෝ ඒ පැල්ලම නහයට ලංකරගත්තේ නිකමට වගේ...සීතලම සීතල පෙපරමින්ට් සුවඳකුයි කෙළ උනන තරම් ස්ට්‍රෝබරි සුවඳකුයි ඒ පැල්ලමෙන් කාණ්දු වෙලා එන බව දැනිච්ච මන්දෝගේ මුවින් සිනහවක් උත්පත්තිය ලැබුවත් ඒ වෙලාවෙම ඒ හිනාව ගබ්සා වුනා...කළුපාට බේසමේ තිබුණු වතුර කැඩපතක් තරමට නිසල වෙලා තිබුණේ මන්දෝ කරාමය පුළුවන් තරම් තද කරලා වහලා දාලා තිබුණ නිසයි...මේ ගෑනු තොල් සායම්..පිරිමි තොල් සායම් ගාන්නේ නැති නිසා ඉන්තේරුවෙන්ම ගෑනු තොල් සායම් බව හිතා ගන්න මන්දෝට වැඩි වෙලාවක් ගියේ නැහැ.....ඕනිනම් ඇහිපිය ගහන කාලෙන් තප්පර දශම එකක් යන්න ඇති...ගෑනු තොල් සායම් රාවනාගේ සුදු පාට කමිසයේ තියෙන්නේ කොහොමද? ඇරත් කොලරය ගාව ඒ පැල්ලම ගොඩක් තදින් තිබුණත් එක්ක..පොදු බස් වල යන එන රාවනගේ ඇඟේ අහම්බෙන් තැවරිච්ච පැල්ලමක් වෙන්න බැරිද?එහෙම වෙන්නත් පුළුවන්..ඒත් කොලරය ගාව තදට තිබුණ පැල්ලම කිව්වේ වෙනම කතාවක් බව මන්දෝ දැනගෙන හිටියා...ඒක අහම්බයක් බව හිතන්න කැමති වුනත් යටි හිත එකහෙළාම කිව්වේ 'ඒක අහම්බයක් නෙමෙයි' කියන එක...මන්දෝ සුදු පාට කමිසය කළු පාට වතුර බේසම උඩට සීරුවට අතඇරියා...ඒ සුදු පාට කමිසය ටිකෙන් ටික තෙත් වෙලා කළු පාට බේසම පතුළටම ගිහින් නැවතිලා තිබුණා..මන්දෝ මුළු කාමරේම ඔක්සිජන් උරාගන්නවා වගේ පුළුවන් තරම් හයියෙන් ඉහළට හුස්මක් අරගෙනා සබන් කෑළ්ලකින් පැල්ලම තිබුණ තැන හයියෙන් ඇතිල්ලුවා...ඒ අතුල්ලන අතරේ හරිම හෙමින් ආශ්වාසය ප්‍රශ්වාසයක් වෙලා එළියට නාස් පුඩු වලින් එන බව වත් මන්දෝට දැනුනේ වත් නැහැ...තව රෙදි බේසමක් ඉතිරි වෙලා තිබුනත් මන්දෝ සේදුවේ රාවනාගේ සුදු කමිසය විතරයි.... කමිසයටම සම්පූර්ණ වතුර බේසමක් වග කිව්වා..භාවනාවක් වගේ කමිසය සෝදලා ඉවර වෙච්ච මන්දෝ ඉතිරි කිළිටි රෙදි දිහා උදාසීන බැල්මකින් බලාගෙන හිටියේ 'අදට මේ හොදටම ඇති' කියනවා වගේ..දෝතින්ම ගත්ත සුදු කමිසය මන්දෝ අකුණු සැර වැදිලා මියගියපු පොල් ගස් දෙකක් මැද්දේ තිබුණු රෙදි වැලේ එල්ලුවා..ගෙදර වැඩපල ඉවර වුනු වහාම මන්දෝ නින්දට වැටුනේ තෙහෙට්ටුවට ද නැත්ත්නම් හිතේ රුදාවාටද කියලා මන්දෝ වුනත් දැනගෙන හිටියේ නැහැ....
*****************
මන්දෝ හිටියේ මඟුල් ඇඳුමක් ඇන්ඳගෙන සුදු පාට බාබන්ඩේසියා මල් පොකුරකුත් අතින් අරගෙන...සුදු පාට වේලය ඇතුලින් මන්දෝ හිනා වුනේ රාවනා එක්ක...රාවනා ඇඳලා හිටපු කෝට් එකේ බලහත්කාරෙන් වගේ මල් දෙකක් අමුණලා තිබුණා...දෙන්නම හිටියේ පෝරුව උඩ...සුලඟිලි එකිනෙක හුයකින් බන්ධනය වෙලා තිබුණා...පෝරුවෙන් බැස්සේ අපි දෙන්නම දකුණු කකුළ පෙරට තියලා....පෝරුවෙන් බැස්ස ගමන් රාවනා සිහිවිකල්ලෙන් වගේ දුවගෙන ගියා...
"කොහෙද රාවනා ගියේ?"
එතන කවුරුම හරි අහනවා ඇහුනත් ඒ කවුද කියන්න මන්දෝට නිච්චි නැතිව ගිහින් තිබුනා..
"එයා ඒවි...මම ලෑස්ති වෙන්න ඕනි ලිප්ස්ටික් සෝදන්න..."
පස්සේ හෑමෝම ආවේශයෙන් හිනා වුණා...
*******************
මන්දෝ නැකිට්ටේ හැන්දෑව හතරේ කණිසම ගේ දෙවනත් වෙන්න වදින කොට...හැන්දෑව හතරට රෑ කෑම පිළියෙල කළයුතු බව දන්න මන්දෝ විගහට නැකිටලා කුස්සියට ගියා...හොඳට සුද්ද කරපු කැරට් ගෙඩි දෙක රවුමට කපන්න හදපු මන්දෝ කැපුවේ එක එක හැඩයේ කැරට් කෑළි...සමහරක් මහතට තියෙනවා දැක්ක මන්දෝ හෙමින් ඒවා තුනී කරන්න උත්සහ කළා..සිපගැනීමක හොදම සළකුණ තොල් ආලේපන සටහන් නෙමෙයිද?අනික සළකුණක් ඉතිරි කළේ තමන්ට රිද්දන්න බව මන්දෝ තමාටම කියා නොගත්තමත් නෙමෙයි...තමන්ට අයිති දෙයක් බලෙන් වෙන කෙනෙක් උදුර ගන්නවා කියන හැඟිම එක්ක මන්දෝ හිටියේ අඟුටුමිටි වෙලා..'මම එයාගේ කසාද ගෑනි නේ? මෙහෙම කරන එක යුක්ති සහගත නැහැ නේද?කසාදේ කියන්නේ කඩදාසියක් නේද?එතකොට අපි කඩදාසියක වහල්ලුද?' ආදි එකී නොකී ප්‍රශ්න මාර යුද්ධයක් මන්දෝ ඇතුළේ කරමින් හිටියා...කල්පනාව අස්සෙම කැරට් ලිප තිබ්බ මන්දෝ බුදු කුටියට ගියේ බුදු පහන පත්තු කරන්න...කිරි සුදු පාට බුදු පිළිමේ ළා අළු පාටක් අරගෙන තිබ්බේ පහන් දැලි නිසා බව දැන වුන්නත් පහන් පත්තු නොකර ඉන්න මන්දෝට බැරි වුනා...හැමදාම පහන් පත්තු වුනා වගේම ටිකෙන් ටික බුදු පිළිමය අළු පාට සමාධියක තනි වෙමින් හිටියා...නමස්කාරයෙන් පටන් ගත්ත ගාථා කීම මන්දෝ එක පාරටම නැවැත්තුවේ තුන් වෙනි සිල් පදය ගාවින්...ඒ එක්කම රාවනා අපාය ගාමි වේවි කියලා ක්ෂ්ණික බයක් මන්දෝගේ හිතේ ඇති වෙලා නැති වෙලා ගියා...පත්තිනි අම්මා තමන්ගේ ස්වාමියාව කොච්චර වැරදි තිබ්බත් බාර ගත්ත කතාව මතක් වුනත් ඒ සා කැපකිරිමක් කරන්න තරම් මන්දෝ හිත හදා ගන්න උත්සහ කලේ නැහැ...ඉතිරි සිල් පද දෙකත් කියන්නම් වාලේ කියපු මන්දෝ බුදු කුටියෙන් එළියට එනකොට රාවනා ඇවිත් හිටියා..හැන්දෑවේ රාස්සිගේ අව්ව හීතල කළුවරක් වුනත් තාමත් රාවනාගේ කමිසය රෙදි වැලේ තනි පංගලමේ බලාගෙන හිටියා...
" තද ලිප්ස්ටික් පැල්ලම් මකන්න අමාරුයි..ආයිත් ගාගෙන එන්න එපා"
මන්දෝ ශාන්තව රාවනගේ දිහා බලාගෙන හිටියා...රාවනා බිම බලාගත්තේ යාන්තම් යටි තොල හපාගෙන...රාවනාගේ ඇස් විළියෙන් වගේම දුකකින් ගැබ්බර වෙලා බව දැනගත්ත මන්දෝ රාවනගේ උරහියට බර වෙලා ඇස් පියා ගත්තා...ආයිමත් ඒ සුදු කමිසය මන්දෝ ගෙට ගත්තේ නෑහැ...රාවනාගේ කමිස වල තොල් සායම් පැල්ලම් තිබුනෙත් නැහැ.....
Comments
Post a Comment