"මැක්බත්"


"All the horses and the women
In this Kingdom are my subjects
And I can ride them as I wish"
වසත් මැක්බත් නාට්‍ය පිටපත පෙරළගෙන ඒකෙ රජතුමාගේ ගීතයක කෑළ්ලක් කිව්වේ කට කොණකින් හිනා වෙන ගමන්...ඒ වචන කොච්චර අප්පිරියද...අනික ගෑණියෙක්ට ගරුකරන්න දන්නේ නැති රජෙක්ගෙන් යහපතක් බලාපොරොත්තු වෙන එකම මෝඩකමක්  නෙමෙයිද...මම හිටියේ වසත්ට ඔරවගෙන...මේ අප්‍රේල් මාසේ..පේරාදෙනිය වලේ නාට්‍ය පෙන්නන්න මේ වෙනකොට ගොඩක් අය ලෑස්ති වෙනවා....රොබෝරොසියා මල් පිරිච්ච ගස් දෙකක් ඈතට පෙනුනට අපි දෙන්නා හිටපු හරියේ තිබ්බේ එකම එක මැයි මල් ගහක් විතරමයි...එක මලක්වත් නැති මැයි මල් ගහක්...වසත් මගේ මූණ දිහා බලාගෙන හිනා වුනා..
"ඔයාට වෙන චරිතයක් ඉල්ල ගන්න බැරි වෙයිද කියන්න..."
මම එහෙම කියන කොටම වසත් ඇස් ලොකු කරලා මගේ ඇස් දෙකට එබුනා...ඒ එයාගේ හැටි..
"පිස්සුද..? ශේක්ෂ්පියර්ගේ නාට්‍යයක රඟ පාන්න හම්බවෙන එකම කොච්චර දෙයක්ද?ඇරත් පේරා කැම්පස් එකේ"
ඒකත් ඇත්ත තමා...ඒත් අහේතුවකට මට රජතුමාගේ දෙබස් වසත් කියනකොට හිතට ආවේ බයක් එක්ක මුහු වෙච්ච අප්පිරියාවක්..ඒක ගෑනු ගතියක් වෙන්න ඇති...
ලේඩි මැක්බත්ට රඟපෑවේ උස සුදු කෙට්ටු කෙල්ලෙක්..එයාගේ රඟපෑම හැමෝම අගේ කලා..ඒත් මට එයාගේ මොකක්දෝ අඩුවක් පෙනුනා...ඒක හරියට එයාගේ ඇස් වල තිබ්බ  හිස්කමක් වගේ දෙයක්..දෙබස් වුනත් ඊට වඩා හොදට මම වුනත් කියාවි...
මැක්බත් ආර්යාව ඩන්කන් රජතුමා අතින් දූශනය වෙනවා...ගොඩක් තරුණ කාලෙදි...මම මැක්බත් කියෙව්වේ සාමන්‍ය පෙළ. පංතියේදි ඉංග්‍රිසි  සාහිත්‍ය කරන දවස් වල...ඒ දවස් වල මට මැක්බත් ආර්‍යාව පෙනුනේ වීරවරියක් වගේ ...ඒත් මේ අලුත් නිළිය මැක්බත් ආර්‍යාව මරණවා...මට කේන්ති නොයා තියේවිද...අනික වසත් චරිතේ කරනවා තාත්වික වැඩියි...මට එයාගෙන් ඩන්කන් රජතුමාව දකින්න ඕනි නැහැ..ඩන්කන් රජතුමා මැක්බත් ආර්යාව මැක්බත්ට විවාහ කරලා දෙන්නේ දූශනය කරාට පස්සේ...මම මැක්බත් ආර්යාව වුනා නම් රජතුමාට සිහිවිකල් වෙනකන් කෑ ගහනවා.
එතකොට අර වියරු මායාකරියන්ගේ දර්ශනේ අයින් කරන්නත් තිබ්බා...
වසත් තාමත් පිටපත කියවනවා...මම හෙමින් එයාගේ උරහියට බර වුනා...
"ඔයත් අර වේස ඩන්කන් රජතුම වගේ ද මන්දා?"
"නොකීවට හැම පිරිමියෙක් ඇතුළෙම ඩන්කන් රජතුමෙක් හුස්ම ගන්නවා"
එයාට ඒ තිත්ත ඇත්ත නොකියා ඉන්න තිබුනා නේද...මම හිතුවේ එයා මොනවා හරිම කියාවි කියලා හිත හැදෙන තාලෙට..
"ඔයාට මේක  රඟපෑමක් කියලා තේරෙන්නේ නැති හැටි."
වසත් ආයිත් කිව්වා.."මුළු ලොවම රඟ මඩලක්" කියලා කිව්වෙත් ශේක්ෂ්පියර්...එහෙම බැලුවම මමත් නිළියෙක් තමා..අන්තිම දර්ශනේදි මැක්බත් ආර්යාව මළමිනී ගොඩක් උඩින් ඇවිදගෙන එනවා...මැක්ඩෆ් ඒ වෙලාවේ මැක්බත් ආර්යාවගේ අත පතන්නේ දෙකට තුනට නැවිලා...ඒ වෙනකොටත් මැක්ඩෆ් කසාද මිනිහෙක් වෙච්චි  මම මැක්බත් ආර්යාව වුනත් එක පයින් මැක්ඩෆ්ගේ ඉල්ලීම නොසළකා හරිනව...මැක්බත් ආර්යාව වුනත් කලේ හරි දේ...ඒත් පිරිමි කොච්චර කපටිද...
"ඉතිහාසේ අයුක්තිය යුක්තිය බවට පත් කරන්න ඉඩ හරින්න" කියලා  මැක්ඩෆ් කිව්වේ  ඒ කපටිකම නිසා..යුක්තිය ඉටු කරන්න හදන්නෙත් අයුක්තියෙන් ...තව ගෑනියෙක්ට ගින්දරක් දීලා...ඒ අතින් මැක්බත් ආර්යාව වීරවරියක් නෙයිද..."ඉතිහාසයේ අයුක්තිය මකාලන්නට අයුක්තිය භාවිතා කර මගේ ආදරයට අවමන් නොකරන්න" කිව්වේ ඒ නිසා...
වසත් මගේ මූණ දිහා බලනවා වත් නොතේරුනේ හිතෙන් මම මැක්බත් ආර්යාව වෙලා හිටපු නිසා වෙන්න ඇති...මැකබ්ත් ආර්යාව ඩන්කන් රජතුමාගේ උරහියට තවත් බර වෙලා  පිටපත අතට ගත්තා...
"උඹ නොදන්නවා වුනාට හැම ගෑනියෙක් ඇතුලෙම මැක්බත් ආර්යාවක් ඉන්නවා"
මම එහෙම කියනවා ඇහුනේ පිටපත ඇතුලේ මිනී ගොඩක් උඩ හිටගෙන හිටපු මැක්බත් ආර්යාවට විතරයි...

Comments

  1. මේක කියෙව්වාම අනිත් සේරමත් කියවන්නම හිතෙනවා. පස්සෙ එන්නං.

    ReplyDelete
  2. අපූරු ලිවීමක් අමෝ (y) නියමයි.

    ReplyDelete
  3. දැන් ඉතින් පත්තරේම බලන්නං....!

    ReplyDelete

Post a Comment

Popular Posts