පිස්සු


අප්‍රිකාවෙ කෙල්ලෙක්ගේ වගේ මගේ තොල් මහතයි...හම දුඹුරු කහ පාට...ඔයා කැමතිම පාට ඒක කිව්වට ඔයාගේ ආසම පාට "දම්" පාට බව මම පස්සේ දැන ගත්තා...එකම තේරුම වගේ පෙනුනට කැමතියි ආසයි කියන්නේ අහසයි පොළවයි වගේ වෙනසක් තියෙන වචන දෙකක් වග තේරුම් ගත්තේ ඔයාගෙන්...ඒ වෙනුවෙන් ජපන් කෙල්ලෙක් විදිහට අංශක අනූවට නැමිලා " ස්තූතියි" කියන්න කැමතියි...ඔයාගේ කට කොණක ඉදිආප්ප රැල්ලක් ඇලවිලා...ඉන්න මම ඒක අහක් කරන්නම්...
ඔයාට ඉදිආප්ප කිව්වොත් වෙන මුකුත්ම ඔනි නෑ...ඒත් මට හොඳටම විස්වාසයි ඔයාට තුන් වේලටම ඉදිආප්ප දුන්නොත් ඔයාට ඉදිආප්ප එපා වෙන වග...ඒ ඔයාගේ හැටි!!මම ඒකත් හොඳටම දන්නවා...බැඳීම් හැමදෙයක්ම හිටගෙන ඉන්නේ කෑම උඩ...ඔයා වුනත් දවසට විසිතිස් වතාවක් මගෙන් අහන ප්‍රශ්නේ "සුදූ ඔයා කාලද?"...මමත් එහෙම අහන කන්  ඉන්න පුරුදු වෙලා...සමහර වෙලාවට කාලා හිටියත් "මට කන්න බෑ වගේ අද" කියන්න මම ආසයි...පස්සේ ඔයාගේ බැනුම් කෙළකෝටියට අහු වෙලා තෙමෙන ගමන් ආදරෙන් තෙත් වෙන්න කැමතියි...හොඳට කියවන්න කලින් වාක්‍යය...මම එතන කැමතියි ආසයි කියන වචන පාවිච්චි කරපු විදිහ ගැන..

ඔයා දන්නවා මට පිස්සු වග ...
මම මොකක් හරි විකාරයක් කිව්වම "මගේ පිස්සි" කියලා කියන්නේ එකයි ඔයා..ඒ ආදරේට..ඒත් ගෙවල් පැත්තේ ගෑනු පිස්සි කියන්නේ ආදරේට නෙමෙයි..එක වචනෙට හැඟීම දෙකක්..ඔයා දන්නවා මාසයකට සැරයක් මම කවුන්සිලින් යන විත්තිය..එයාලා කියන්නේ මට පිස්සු නෑ මානසික රෝගයක්ලු තියෙන්නේ..හැමෝටම හැදෙනවලු..ඒත් ඒ හැමෝම ඒ වාට්ටුවට කියන්නේ පිස්සු වාට්ටුව කියලා..."සබ්බේ සත්තා උන්මත්තකා"ලු නේද?
මට වෙලාවකට හිතෙනවා ඔයාගේ බෙල්ල මිරි කන්න..තුවායක් වගේ මිරිකලා ඔයාගේ ඇඟෙන් ඔයාව නිස්සාරණය කරගන්න..පස්සේ පව් කියලා හිතෙනවා...ඔයා මැරෙන්න බයයිද..මම නම් බයයි..ඔයාට පිස්සු නැති නිසා ඔයා බය නැතිව ඇති නේද? මේ බෙහෙත් වලට හරියට නින්ද යනවා...ඒකයි ඔයාගේ කෝල් වලට ආන්ස්වර් කරන්න බැරි වෙන්නේ..නැගිට්ටාට පස්සේ නාන්න ඔනි...හරියට වැඩ...වැඩ අස්සේ ඔයාට කතා කරන්න බෑ...මට හිත් ගොඩක් නෑ නෙහ්..පිස්සු කෙල්ලෙක්ටත් තියෙන්නේ එක හිතයි...කෝ මේ වඩේ එක කන්න...ඔයා කන්නේ නැත්නම් කියන්න..මම හැන්ඩ්බෑග් එකේ දාගෙන යන්නම් ගෙදර..."සුරතලි" ආසයි වඩේ කන්න..අපි දැන් මෙතනින් යමුද...පයින් යන්න නම් බෑ..කකුළ් රිදෙනවා...ඔයා මාව උස්සගෙන ඉගිලිලා යන්න..තටු  නම් වස කරදරයි...තටු ගහලා ඉගිලෙන එන මහන්සියි...ඔයාට තියෙන්නේ වළාකුළු වගේ පාවෙන්න...වළාකුළු යන දිහාවකටත් මාව එක්කගෙන යන්න..ඔයාට වාහනයක් නැති එක හොඳයි...මට නැත්නම් බය වෙන්න වෙයි ඔයා හැප්පිලා මැරෙයි කියලා...එහෙම වුනා නම් මිනිය කැත    වෙනවා...හැප්පිලා මැරුනත් මූණ පරිස්සම් කරගන්න...
ඔයා බයයි නේද මගේ අතින් වත් අල්ලන්න...මෝඩයෝ!කෙල්ලෙක්ට කන්න අරන් දුන්නාට මදි...අතපත ගාන්නත් ඔනි...ඉබින්නත් ඔනි..උම්මා දුන්නා කියලා බඩ දරු වෙන්නේ නෑ..වුනත් මොකෝ..ඔයා බඩ වෙන්නේ නෑ නෙහ්...ඒකත් මට නෙහ් ඉතින්..අපි විහාරමහදේවි එකට යමු..එතන කපුටෝ කක්කා නොකරපු බංකුවක් හොයාගෙන වාඩි වෙමු..මම ඔයාට ඇහෙන්න සින්දුවක් කියන්නම්..ඔයාට තියෙන්නේ අහගෙන ඉන්න..අහගෙන ඉන්න විතරමයි හරිද?

***********************************
.
කන වෙලාවට කතා කරන්න එපා කිව්වට ඔයා කැමතිම කොයි වෙලාවෙත් චූටි කිරිල්ලියක් වගේ කියවන්න. ඔයාට හැමදේම පේනව. මගෙ උඩු තොලේ දකුණු කෙලවරට වෙන්න ඇලිලා තියන ඉඳිආප්ප රැල්ල පවා ඔයාට පේනව. දන්නවද? අපේ අම්මත් ඔය වගේ. ඉස්සරහට නැමිලා පරිස්සමට මගෙ කට වටේ තැවරිච්ච පාන් කුඩු චීත්ත පොටෙන් පිහදානව. ඊට පස්සෙ තෙල් හලලා ඉස්මුදුන පිටි අල්ලෙන් තලලා තමයි කොණ්ඩෙ පැත්තෙන් බෙදන්නෙ. තෙල් ගෑවිච්ච අත්දෙක චීත්තෙ පිහදාගෙන පවුඩර් කුඩු ටිකක් අල්ලෙ පොඩි කරලා කම්මුල් දෙකේම අතුල්ලනවා. ඒ මුළු වෙලාවෙම අම්මා මොනමොනවදෝ කියවනව. කියවිල්ල නවතින්නෙ ඇස් දෙක හීනි කරල මගෙ මූණ දිහා ආදරේ උතුරන්න බලන් ඉන්න වෙලාවට විතරයි. ඔය ඔය, ඔයා බලන් ඉන්නෙ, අන්න ඒ වගේ!

ලෝකෙ ආපස්සට කැරකිලා ආපහු පුංචි කාලෙට යන්න තියෙනවනම් මං කැමතියි. අම්මගෙ හීන් ඇස් දෙකට තව එකපාරක් එබිලා බලන්න තිබුණනම් මං ආසයි. ඔයාට තියෙන්නෙ අම්මගෙ ඇස් දෙක.

බෙහෙත් කෝස් එක ඉවරවෙනකම් ඔයා හොඳට කන්න ඕන. මේ බේත්වලට ඇඟ වේලනවා. කෙට්ටු ගැහෙනවා. බලන්න බටර් පාට සුරංගනාවියක් වගේ හිටපු ඔයාගෙ ඇඟේ හැටි! මට දුකයි. ඔය වඩේ එක ගත්තෙ ඔයාට. ඉඳිආප්ප දහයක් කාලා එක උස්මට වතුර වීදුරු තුනක් බීගත්තාම බඩ ගල් ගැහෙනවා. නෑ! එහෙම වෙනවා කියල මම හිතනවා. හිත තමයි ලු හැමදේටම මුල් වෙන්නෙ. ඉඳිආප්ප දහයක් කෑවම උස්මුරුත්තයි කියල හිතන්න පුරුදුවෙන එක අමාරුයි තමා. 'සුරතලී'ට අමාරු ඇති, පැටව් පස්දෙනෙක්ට කිරිදෙන්නත් එපායැ. ඒ උනාට ඔය වඩේ එක ඔයාට. මං සුරතලීට දෙන්න චූං පාං කරත්තෙන් අඩුවට පරණ පාන් බාගයක් අරං දෙන්නම්කො. හොඳ ළමය වගේ කන්න.

වාහනයක් තිබුන නම් අම්මා කහ ඉර උඩ හැප්පිලා මැරෙන්නෙ නෑ. වාහනේකින් ඔයාව ඉස්කෝලෙ ගාවට උදේ හවා එක්කන් යන්න, එක්කන් එන්න පුළුවන් උනානම් ඔයා සුදුගවුම පිටින් නොදන්නා පාරවල්වල අතරමං වෙන්නෙත් නෑ.


ඔය වඩේ එක කන්න හොඳ ළමය වගේ. මං කවන්නද? ඉක්මනට කාලා දුවමු වාට්ටුවට. උම්මා දුන්නා කියල බඩදරු වෙන්නෙ නෑ. අඩු මාසෙන් ඉපදිච්ච ඔයාගෙ සේපාලිකා මල මට 'මාමේ' කියන්නත් කලින් ඇස් පියාගත්තු වග ඔයා දන්නෙත් නෑ. දැනගන්න ඕනෙත් නෑ.


පරිස්සමට නැගිටින්නකෝ. මං ඉන්නවනෙ. ඔයා ආයෙම ඉස්සර වගේ හුරුබුට්ටං තාලෙට ඇස් නටවලා 'සුදු අයියා' කියනකම් මං ඔයා ගාවම ඉන්නවනේ. ඇයි ඊට පස්සෙත්, හැමදාටමත් මං ඔයාව මලක් වගේ, ඇහැක් වගේ බලාගන්නවනෙ.


තවමත් කියෝනව. පිස්සු වාට්ටුවට හැරෙන්නෙ මෙතනින් පිස්සියේ. ඔයා හරි. ඒ පිස්සුවයි, මේ පිස්සුවයි දෙකක්. මං කියන්නෙ හැඟීම!

කියන්න. මං අහගෙන ඉන්නෙ. පිස්සි!

පසුව ලියා තබමි..
මේ කතාවේ උඩ කොටස ලිව්වේ මම..යට කොටස ලිව්වේ යශෝධා සම්මානි නැත්නම් අපේ සදාදරණිය බස්සි... <3

Comments

  1. පත්තරකාරී එකට කමෙන්ටුවක් දමලා බස්සි අක්කගේ බ්ලොගයට ගියාම තමා මේ ලිපිය ගැන දැක්කෙ.පාසල් යන වයසෙ මල්ලි කෙනෙක් කියා දැනගත්තම බොහොම සතුටු හිතුණා.සුබ පැතුම් මලේ.. දිගටම ලියන්න.

    ReplyDelete
    Replies
    1. ගොඩක් ස්තූතියි වැස් දැරිය... ^_^

      Delete
  2. Replies
    1. උපේක්ෂා අක්කාගේ බ්ලොග් එකට නම් අපි නිතරම යනවා... ^_^ ස්තූතියි අක්කේ :) බස්සි අක්කාගෙන් පාර අහගෙන ආවට මේ පැත්තට

      Delete
  3. බස්සීගෙන් පාර අහගෙන මේ පැත්තට ගොඩ වුනේ... හරිම අපූරුයි... හදවතින්ම සුබ පතනවා...

    ReplyDelete
    Replies
    1. ගොඩක් ස්තූතියි තුශානි...හීන සාප්පුවට සාදරෙන් පිළිගන්නවා ^_^ බස්සි අක්කාගෙන් පාර අහගෙන ආවට :)

      Delete
  4. මං මීට කලින් වතාවක්ද කොහෙද මේකට ගොඩ වෙලා තිබුනා වගෙ මතකයි.
    කතාවනම් මරු දිගට ලියන්න. පොත පතේ වැඩ අතපසු කරගන්න එපා..
    ජය වේවා!!!

    ReplyDelete
  5. oyage hakiyawa niyamai...suba pathum...!!!

    ReplyDelete

Post a Comment

Popular Posts