පත්තරකාරී ( 1 කොටස )


වේලාව පස්වරු තුන පසුවී විනාඩි පනස්පහයි..ඉර නැවත බටහිර සිතිජ ගතවනු පිණිස ගමනාරම්භය කර තිබුණා...මුළු නැගෙනහිර අහසම කුණාටුවක් හේතුවෙන් ගැබ්බර වුන වළාවකින් තද දම්කළු පාටක් වෙලා...මම හිටියේ කොටුව ස්ටේශම දිහා බලාගෙන ගුවන් පාලම උඩ..තනියම හිටියා කිව්වොත් බොරු බව අහු වෙනවා...පාලම පුරාම කඩියෝ දිමියෝ වගේ සෙනඟ...මමත් ඒ සෙනගින් එකම එක අහඹු චලිතය මදකට නවතාපු අංශුවක්...

හැමෝම කළබල වෙලා හිටියේ දැන් වහින්න හදන්නේ කල්ප විනාශයට කලින් කඩාගෙන වැටෙන මුරුගසන් වරුසාව කඩාහැලෙන්න හදන සාම්පලයට...ගෑනු ,පිරිමි,ගෑනුද නැත්නම් පිරිමිද අඳුන ගන්න බැරි මිනිස්සු නවතින්නේ නැතිව දුවනවා...සමහරු ස්ටේශමට..අනිත් පිරිස සීසීකඩ..

වැස්ස පටන් අරගන්න කොට ඇහුන හූ හඬ විලිරුදාවෙන් කෑ ගහන වැහි වළාවෙන් ආපු සද්දයක්ද එහෙමත් නැත්නම් ස්ටේශමේ ඉඳන් පිටත් වෙන්න නියමිත කෝච්චියක ගොරහැඬි ස්වරාලයකින් ආපු සද්දයක්ද කියලා මට නිච්චි නැහැ..ඒත් ඒ සද්දෙන් පස්සේ වැස්ස පටන් ගත්තා...වැස්සට අසීමිතව ප්‍රේම කරන කවියෙක් වුනත් , මේ තරම් තද සුලං වලට, මේ තරම් විශාල වැහි බිංදු වලට  බය වෙනවාය කියන එක, සාමාන්‍ය ප්‍රමාණයටත් වඩා සාමාන්‍ය දෙයක්....ප්‍රේමය අවස්ථානුකූලයි...කාමරේක ජනේලෙන් එන වැහි පොද වලට ප්‍රේමයෙන් ආතුර වෙන කවියෙක්ට වුනත්,  ඔෆිස් සූට් ඇඳගෙන මහ වැස්සක් අතරමැද කුඩයක් නැතිව තනි වෙන්න සිද්ද වුනොත්  වැස්සට ප්‍රේම කරනවාද නැද්ද කියන එක ගැන දෙපාරක් හිතන්න  වෙන්න පුළුවන්.....මගේ හිසට ඉහළින් ගුවන් පාලමේ දිරාගෙන යන වහළය තියෙනවා...හිරිකඩට තෙතබරිත වුනත් මම තාමත් වැස්සත් එක්ක ප්‍රේමයෙන්...

හැම කෙනෙක්ටම අරගලයක් තිබුනා...ඒ වැස්ස එක්කද එහෙමත් නැත්නම් වෙන දෙයක් එක්කද කියලා හිතා ගන්න අමාරුයි..සමහරු කුඩයත් එක්ක අරගලයක..කුඩය හුලඟත් එක්ක අරගලයක...තවත් සමහරු තෙමෙන්නේ නැතිව ඉන්න අරගලයක...මේ හැම අරගලයක්ටම භෞතිකව දෙපාර්ශවයක් ඉන්නවා...ඒත් එහෙම නැති අරගලත් තියෙනවා..ඒවා අමාරුයි..ඒ අරගල තියෙන්නේ තමන්ගේ හිතත් එක්ක...ඒ අරගල දිනාගන්න එච්චරම අමාරු නිසයි(ලු) කල්පයකට එක බුදු කෙනෙක් විතරක් පහළ වෙන්නේ..භද්‍ර කල්පයකට හතරයි..මේ අපි ඉන්නේ අන්න ඒ වගේ භද්‍ර කල්පයක...තව බුදු කෙනෙක් පහළ වෙනකන් නිවන් දකින්න...


කොටුවේ ස්ටේශම ලඟම බෝධියක් වැඩ ඉන්නවා...දෙතිස් ඵල බෝ ගහකට දුරින් හරි නෑකමක් නැති වෙන්න බැහැ..ඒ බෝධිය කේන්ද්‍රය කරගෙන අඩ සඳක හැඩයට වගේ හැඩයකට කෑම කඩ පෝළිමක් තියෙනවා...කළුතර, මතුගම , අලුත්ගම බස් අල්ල ගන්න මම නිතර එතනට යනවා..බෝධිය යට බුදු පිළිමය හැමදාම සමාධි ඉරියව්වෙන් භාවනා මනසිකාරයෙන් වැඩ ඉන්නවා...මේ වගේ සද්ද මැද එහෙම ඉන්න පුළුවන් කොන්ක්‍රීට් බුදු හාමුදුරුවෝ කෙනෙක්ටම විතරයි...ඇත්තටම බුදු හාමුදුරුවෝ හිටියා නම් මෙලහටත් පාරිලෙයිය වනයට වැඩම කරලාත් ඉවරයි..අපි හැමෝම එතන හිට ගන්නේ පිළිමෙට පිටු පාලා...එතනට එන කාටවත් එතන තියෙන බුදු පිළිමෙන් වැඩක් නැහැ...එතන වැඩ ඉන්න තරම් පිළිමෙටත් වැඩක් නැහැ...ඒත් බෝධිය නම් ගොඩක් වැදගත්...පායන වෙලාවට හරි හෙවනයි එතන...සමවත් සුවෙන් වැඩ ඉන්න පිළිමයට හෙවනක් වෙන්න වගේම සිගරට් බොන මනුස්සයෙක්ට , පිපාසෙන් ඉන්න මනුස්සයෙක්ට , හිඟන්නෙක්ට වුනත් හෙවනක් වෙන්න බෝධිය දෙපාරක් හිතන්නේ නැහැ...මේ හැමදෙයක්ම ඉෂ්ට කරන්න බෝධියත් අරගලයක් කරන්න ඔනි වෙනවා...තාර වලට යටින් සාන්ද්‍රනය වෙලා තියෙන චල මූලද්‍රව්‍ය අවශෝෂනය කර ගන්න, වාෂ්ප වෙන්න කලියෙන් වතුර ටිකකින් මුල් තෙමා ගන්න අරගලයක් කරන්න වෙනවා...හැමතැනම අරගල...ගස් ගල් පවා ජීවිත සටන ගෙනියන්න අරගල කරනවා... 


මම හැමෝම අරගල කරන හැටි බලාගෙන ඉන්නවා...එතකොට මට මගේම කියලා තියෙන අරගල දුරස් වෙලා පොදු අරගලයක හවුල්කාරයෙක් වෙනවා...පොදු කියන වචනය හැදෙන්නේ පෞද්ගලික දේවල් ගොඩක් එකතු වෙලා...හොඳම උදාහරනය පොදු වැසිකිළිය..එතන පොදු වුනාට කර වැඩේ අතිශය පෞද්ගලිකයි නෙහ්..
මට සමාවෙන්න..දිගටම කතා කලාට මම කවුද කියන එක ගැන නොකිව්වාට...මම පත්තරකාරියක්...ඉරිදා පත්තරේ සම්පූර්ණ පිටුවක් පිරෙන්නම ඕපාදූප ගැන රස කරලා ලියන...ඒකටයි මට ගෙවන්නේ...මම ලියන්නේ මට ගෙවන නිසා...ඒ අය මට ලියන්න කියන්නේ ඔයාලා ඉල්ලන නිසා.."ඉල්ලුමට සරිලන සැපයුම" ගැන වැඩි විස්තර ඕලෙවල් වලට කොමස් කරපු කෙනෙක්ගෙන් අහලා දැන ගන්න වුනත් පුළුවන්...සැකයි වගේ නම් කියන්න..මගේ ලඟ අයි.ඩී එක තියෙනවා ජර්නලිස්ට්ලාගේ...ඔනිම නම් පෙන්නන වුනත් පුළුවන්...


මට ඔනි වුනේ කතාවක් කියන්න...මෙතන ඉඳන් බැලුවම හැම කෙනෙක්ගේම හිසට පහළින් හදවතට වහාම ඉහළින් ඒ ඒ අයටම ආවේනික කතාවක් ලියවිලා තියෙන බව පේනවා...නැහැ කියලා කියන්න බෑ ඔයාලට...ඔයාලා දැකලා නැත්නම් ඒ බව, ඒක ඔයාලගේ නිරීක්ෂණ ශක්තියේ පතරංග දුර්වලකමක්...හැමෝටම කතාවක් තියෙනවා...සමහර වෙලාවලට ඒ අය ඒ අයගේ කතාව කැමැත්තෙන් හරි අකමැත්තෙන් හරි එකිනෙක අතිච්ඡාදනය කර ගන්නවා...ඊට පස්සේ ආයිමත් ඒ මංසල නිසා තවත් කතාවක් හැදෙනවා...බලාගෙන ගියාම ජීවිතේම කතා පොතක් වගේ...හැබැයි කවදාවත් ඉවරයක් දකින්න බැරි තරම් දිග..මේක ගැන හොඳටම දන්නේ ඉන්දියාවේ මෙගා ටෙලිනාට්‍ය කරන අය..එයාලට අපූරුවට මිනිස්සුන්ව අතිච්ඡාදනය කරවන්න පුළුවන්..


මම ආයිත් සමාව ඉල්ලනවා...මම කියන්න උවමනා දෙයින් සැරෙන් සැරේ අපගමනය වෙන එක ගැන..සමාව ඉල්ලුවා කියන්නේ වැරැද්ද තේරුම් ගත්තා කියන එකට...ආයිමත් වැරදි කර කර සමාව ඉල්ලනවාය කියන්නේ ඒ තේරුම් ගැනීම තව තවත් තේරුම් ගන්න එකට..මේ කතාවෙත් පසුතලය කොළඹ කොටුවම තමා...රුපියල් දාහක් අරගෙන ගියාම ෆෝන් දෙකක් ගන්න පුළුවන් කොටුවෙන්..හැබැයි දවසයි දෙකයි ආයුෂ...මම හිටියේ කලින් විස්තර කරපු බෝ ගහ යට...ඒ මීට මාසයකට විතර ඉස්සර දවසක...එදා අහසේ වළාකුළක සේයාවක් වත් නෑ...ගිනි ගහන අව්ව..අද වගේ නෙමෙයි..එදා තෙත් හුලං තිබ්බේ නෑ...මම දාඩිය පිහදදා බලන් හිටියේ මගේ ඊලඟ ලිපිය ලියන්න උවමනා චරිතේ එනකන්...අපි එයාට "සාලා" කියලා නම තියමු...පැය බාගයක් විතර ගෙවිලා ගියාට පස්සේ සාලා ඇවිත් මගේ අතින් අල්ල ගත්තා...

Comments