ලීසා
ජනෙල් ඕසෙට ඇරලා දාලා තිබුණා..ඒ මදුරුවන්ට එන්න නෙමෙයි...හඳ එළියට ඇවිත් දෙතුන් පොළකින් වාඩි වෙන්න...ඒත් හඳ එළියට මුවා වෙලා ඇවිත් හිටියේ කැළෑ මදුරුවෝ...
"කෑළෑ මදුරුවෝ කෑවම අලියෙක් විතර රතු ගෙඩි දානවා..ඇල්පෙනෙත්ත තුඩකට වඩා සැරයි"
ඒ ගොරහැඬි ගෑනු කටහඬ ලීසා...රතු කොණ්ඩයක්?සත්තකින්ම ලීසා කළු කොණ්ඩ කාරියෙක්..තලෙළු හම...බළල් ඇස්..ඇස් අගිසි වල හිනා වෙනකොට මැවෙන හීන් රැළි හතරක් තමා මුළු මූණටම ලීසාට තියෙන ලස්සනම සළකුණ..හරියට තරු ලකුණක් වගේ...අතරමං වෙච්ච නාවිකයෙක්ට පාර කියලා දෙන තරු දෙක තුනක් එකතු වෙලා හැදිච්ච තරු මඟ ලකුණක් වගේ......වැඩිම වුනොත් අවුරුදු විසිපහයි..ඊට වඩා වයසක් කියන්න අමාරුයි...
මුළු කාමරේ හැමතැනම බාගෙට පිච්චිලා ඉවර වෙච්ච ඉටිපන්දම් ඉතිරි වෙලා තිබ්බා...ඇඳ විට්ටමේ සවිකරලා තියෙන ළා රෝස පාට රෝස මල් සුවඳ ඉටි පන්දමේ දැල්ල වියරුවෙන් වගේ ජනේලෙන් ආපු හුලඟට වැනෙනවා...ලීසා ඒ වෙලාවේදි එක පාරටම ලොකු සද්දයක් එක්ක ජනේලය වහලා දැම්මා..
'දඩාස්'
ඉටි පන්දම් දැල්ල දැන් ජාතික ගීයට සීරුවෙන් ඉන්න දෙකේ පන්තියේ පොඩි එකෙක් වගේ කෙලින් ඉන්නවා වෙලාවකට..ආයිමත් පොඩ්ඩක් විතර ගැස්සෙනවා...
ලීසා ඇවිත් වියන් ඇඳේ කෙළවරක වාඩි වෙලා රෑ ගවුම බුරුල් කළා..
"මේ ග්‍රීස්මයට ගවුම් පටලවන් ඉන්නෙ කොහොමද...මට හරි පුදුමයි ගෙස්ටර්..ඔයා තාමත් සරම ඇඳගෙන...දාඩිය නැද්ද? "
ඒ වෙලාවෙයි ඉටිපන්දම් එළිය වියන් ඇඳ උඩ හිටිය තව රූපයක් කළුවරෙන් වෙන් කරලා නිස්සාරණය කළේ...කල්පකාලයකින් පානවක් ගැන හෝඩුවාවක් අහන්නවත් බැරි වුන අවුල් වුන කෙස් ඒ පුරුෂ මුහුණේ හැමතැනක්ම පිරිස්සලා මහන්සියට ඇලවිලා තිබ්බා...ඉටිපන්දම් එළියට වුනත් පේනවා ඒ කෙස් අතර මැද්දෙන් හැන්ගෙන්න හදන නර කෙස්...බැලූ බැල්මටම වලහෙක්...ලෝම ගොඩක් තියෙන මැදි වයසේ මිනිස් වලහෙක් වෙන්න පුළුවන්...ඒත් වලහෙක්ට ගෙස්ටර් කියන නම ගැලපෙන්නේ නෑ...ඇරත් සරමක් ඇඳන් ඉන්න එක විකාරයි...එහෙනම් මේ වලහෙක් තරම් රෝම පිරිච්ච මිනිහෙක්...
"ලීසා...උඹව මේ ඉටිපන්දම් එළියට මේ තරම් ලස්සන ඇයි කියලා තේරෙන්නේ නෑ...උඹ හැමදාම ගේන්නේ මේ අසමජ්ජාති සුවඳක් තියෙන ඉටිපන්දම් නොවෙන්න මට උඹෙ කොදුනාරටිය දිගේ උනලා තියෙන දාඩිය පුසුඹ දැනෙන්නත් තිබ්බා"
"ලයිට් තියාගෙනත් මොකෝ ඉටිපන්දම් ගහන්න කියන්නේ...මටයි මහ වදේ උදේට...හැමතැනම ඉටි.."
එතකොට ලීසා වළල්ලක් වගේ ගවුම වියන් ඇඳ ලඟ ගලවලා ගෙස්ටර් ලඟට කිට්ටු වුනා...ගෙස්ටර් සිංහ සෙයියාවෙන් ලීසා පැත්තට හැරිලා ලීසාගේ පපුව දිහා බලන් හිටියා..
"මට ඇත්තටම පුදුමයි...තාමත් සරම ඇඳගෙන"
"ලීසා තව කොච්චර වෙලා තියෙනවද එළි වෙන්න"
"තව හෝරා හතරකින් එළි වෙනවා..."
ගෙස්ටර් ලීසාගේ දකුණු අත උදුරගෙන පපුව උඩින් තියා ගත්තා...
ඒ නිරුවත් පපුව උඩ තද මොණර නිල් පාට පච්චයක හෙවනැල්ලක් පේනවා...ලීසා ඒ සළකුණ උඩින් හෙමින් ඇඟිල්ල අරන් ගියා...ඒ මකර පච්චයක්...චීන පිඟානකට ගැලපුනාට මයිල් පිරිච්ච පපුවකට කොහොමත්ම ගැලපෙන්නේ නැති මකරෙක්..
"උඹට තියෙන්නේ මහ පිරිමි පපුවක් ගෙස්ටර්...මම ආදරේ මෙන්න මෙතන වම් තන පුඩුවට...බලන්න එතන මම හපපු ලකුණත් තාම රස්නෙට අතට අහු වෙනවා...සමහරක් පිරිමි තුනී ලෑලි වගේ..ඒත් පුංචි කඳු දෙකක් පපුව මැද්දේ තියෙන මිනිහෙක් උඹ"
ලීසා හෙමින් හුස්ම ගන්න හැටි ඉටිපන්දම් එළියට පේනවා...ඇත්තටම පේන්නේ හෙවනැල්ල...හුස්ම ගන්න චිත්‍රයක් වගේ හෙවනැල්ල හෙමින් ඉස්සෙනවා පහත් වෙනවා...
"ලීසා හෙට කියන්නේ කොහොම දවසක්ද?"
ගෙස්ටර් දැන් කතා කරන්නේ ඇහෙන නොඇසෙන ගානට හෙමින් ලීසාගේ කන ගාවටම කිට්ටු වෙලා...එතකොට පේනවා ලීසා කරාඹු දාලා නැති විත්තිය...
"හෙට කියන්නේ හෙට දවසට...ඒත් තාම අද...තාමත් හෙට වෙලා නෑ...මට නිදාගන්නවත් උඹට පොඩි වෙලා චප්පන් වෙන්නවත් බෑ වගේ අද..මොකෝ කියන්නේ බිම ඇලවිලා ඉමුද ටිකක්"
ලීසා අවසරයක් ඉල්ලුවා වගේ පෙනුනට එයාට අවසරයක් ඔනි වුනේ නෑ...එයා එහෙමම 'කිරි කිරි' ගාන වයසක ඇඳ අතහැරලා රතු සිමෙන්තියේ දිගා වුනා උඩුබෙලි අතට...දැන් ලීසාගේ හදවත් කඳු දෙක වගේම ඒ මැද ඉතිරි සානුවත් හොඳට පේනවා..ඒ දිහා බලන් හිටියේ ගෙස්ටර් ඇඳේ හරහට හාන්සි වෙලා බෙල්ල විතරක් ඇඳෙන් දොට්ට දාගෙන...
"මේ නාකියා එක්ක උඹට ඉඳලා මොන සතුටක්ද කෙල්ලේ...උඹට තිබුනා පල්ලියේදි මගුල් මුද්ද පාදිලිට ගිල්ලවන්න...මම දන්නවා එහෙම දෙයක් කරන්න උඹට බැරිකමක් නැති විත්තිය"
"මම සතුටින් ගෙස්ටර්...වෙන කවදාටවත් වඩා උඹ එක්ක සතුටින්..මම උඹට කතවක් කියන්නද..මම දන්නවා උඹ කැමතියි ඒ කතාවට"
ලීසා පොළවට සමාන්තරව තිබ්බ කොඳුනාරටිය ලම්භකව කෙළින් කරලා සීරුවට තියා ගත්තා..
"එතකොට මට වයස විසි එකයි...මම යාලු වෙලා හිටියේ තඹ කොණ්ඩයක් තියෙන කෙසඟ කොල්ලෙක් එක්ක..මඟ යන්න පණ නැති එකෙක්...ඌට ඇති අවුරුදු විසිහතක් විතර..ඌට බැරි වුනා හරියට කෙළින් ඉන්නවත්..ඒත් උඹ යසට කෙළින් ඉන්නවා...අනික උඹ මං ආසම ජාතියේ වලහෙක්...මම පුංචි කාලේ ලඟ තියාන හිටිය ජාතියේ පණ තියෙන ලොකු එකෙක්"
*******************************************
"මේ දැන් ලැබුණු විශේෂ පුවතක්...ඊයේ රාත්‍රියේ පැමිණි කතරිනා සුළි සුලඟ නිසා විශාල දේපළ සහ ජීවිත සංඛ්‍යාවක් හානි වී ඇති අතර මේ වන විටත් සහන කණ්ඩායම්.."
නිල් පාට ප්ලාස්ටික් තොප්පියක් දාගත්ත මුකවාඩම්කාරයෙක් පොකට් රේඩියෝව නිවලා දැම්මා...ඒ මනුස්සයා හිටගෙන ඉන්නේ කැඩිලා ගිය ගෙයක නටඹුන් උඩ කියලා සහතියකයි...අත් වල රබර් අත්වැසුමුත් දාලා..
"මෙන්න මෙතන ගෑනු කෙනෙක්ගේ බොඩි එකක් තියෙනවා...කවුරු හරි එන්න හෙල්ප් එකට"
මුකවාඩම කඩාගෙන යන තරම් හයියෙන් බෙරිහන් දුන්නෙත් ඒ මනුස්සයා..ඒ නටඹුන් අස්සෙන් තවත් කිහිපදෙනෙක් උස්සලා ගත්තේ ගෑනු කෙනෙක්..බාගදා මැරිලා..එක අතක ටෙඩී බෙයාර් කෙනෙක් ගුලි කරන්...
*******************************************
"පුළුවන් නම් අපිට උදව්වක් කරන්න මගේ නංගි අතුරුදහන් වෙලා...අපිට ගෙනාපු මිනී පරික්ෂා කරන්න පුළුවන්ද?"
කණ්ණාඩි දාගත්ත ඒ ඇස් රතු වෙච්ච පිරිමියෙක්ගේ ඒ වචන , මහා කළබලයක් අස්සේ වුනත් කාරුණික වෙන්න හදන කාපිරි කොල්ලෙක් අහගෙන හිටියා...පස්සේ ඔළුව දෙපැත්තට හොලවලා හිනා වුනා..
******************************************
"තව දෙකක් ඉතිරී"
එහෙම කිව්වේ අර කණ්ණාඩි දාන පිරිමියා...තව දෙකක් ඉතිරි...ඒ නිසාමද මන්දා මුහුණ දිය වෙලා ගිහින් තිබ්බා...අන්තිම මිනිය ගාවට ඇවිත් නිල් පාට ඉටි කොළය ඉස්සුවෙත් ඒ බෙරිවෙච්ච මූණෙන්මයි..
"දෙවියන්ට ස්තූතියි වේවා..ඒ අපේ නංගි නෙමෙයි...අපිට තව බලාපොරොත්තුවක් ඉතිරි...ඒත් හරිම කණගාටුයි..මේ අල්ලපු ගෙදර ලීසා..ඔළුව ටිකක් හොඳ නැතිව හිටියේ මහත්තයාගේ මරණින් පස්සේ...ලීසා අන්තිමට මහත්තයා ගාවට ගියා...පව් හිත හොඳ කෙල්ල..."
එතන වට වෙලා හිටපු කිහිප දෙනෙක්ම කුරුසය නළලේ සළකුණු කරගත්තා...තව කවුරුදෝ නමෝ මරියනි යාඥාව කියන සද්දයක් ඇහෙනවා...හැබැයි ඒ ගොඩක් ඈතින්..
කණ්ණාඩි දාපු පිරිමි ඇස් යාන්තම් තෙත් වෙලා තිබ්බා...බාගයක් සතුටට..බාගයක් බාගයවිට දුකට..
ලීසා හිටියේ නිල් පාට ඉටි කොළයක් පොරවගෙන කිළිටි වෙච්ච ටෙඩියෙක් තුරුළ් කරගෙන...
ලස්සනයි අමා
ReplyDeleteaththenma lassani
ReplyDeleteaththenma lassani
ReplyDelete