සරල-විරල

"බඳින්නේ නැතිව ඉන්නද ඇහුවම එහෙමත් එපා කියන ඔයා ගැන දුක් නොවී ඉන්න හදනවා හැර මං කියලා මක්කරන්නද සරලා"


විරල එහෙම කියන ගමන් බැදපු බතල පෙති අහුරක් කටට දාගත්තා...කෝච්චිය මරදාන ඉඳන් කළුතර යන ගමන් තිබුනේ...අපි දෙන්න ඉඳන් හිටියේ මුහුද පැත්තේ සීට් එහෙක..කෝච්චි පෙට්ටියටම හිටියේ මිනිස්සු තුන්දෙනයි...ඒ අපි දෙන්නා නැතිව... අපි දෙන්නත් එක්ක පස් දෙනයි.. විරලගේ දත් වලට අහු වෙලා චොප්ප වෙලා යන බැදපු බතල පෙති සද්දේ කම්මුළ් දිගේ ඇවිත් මටත් ඇහෙනවා...දැන් ඒ බතල පෙති බතල පෙතිද කියලා අඳුන ගන්නත් බැරි තරම් චොර
 වෙලා ඇති...විරල හොඳට හපලා කන කෙනෙක්...මම නම් හපන්න කම්මැලි...ඊට ලේසි ගිලින එක..


පාන්දර නැගිටපු නිසා මගේ නහය බර වෙලා හොඳටම..මම විරලට පේන්නේ නැති වෙන්න නහයෙන් එළියට එන්න දඟලන වතුර වගේ හොටු පිට අල්ලෙන් පිහලා සල්වාරියේ ශෝල් එකෙන් පිහ ගත්තා..විරල දකින්න නරකයි මගේ හොටු...එයාට එතකොට බතල පෙති කන්න අප්පිරියා වෙයි..


"මෙව්වා තනියම කන්න නෙමෙයි ගත්තේ...ඔයාත් කන්නකෝ සරලා.."


එහෙම කියන ගමන් එයා තවත් බතල පෙති දෙකක් කටට දාගත්තා...මම හෙමින් හිනා වෙලා පරිස්සමට අහක බලා ගත්තා...විරල එයාගේ කමිසයේ උඩ බොත්තම ගලවලා ලේන්සුවෙන් බෙල්ල පිහ ගත්තා...අත් වල තිබ්බ මිරිස් කෑලිත් ලේන්සුවේ ඇලෙන්න ඇති..තව ටිකකින් අමතක වෙලා මූණත් පිහයි..පිස්සා!


දැන් කෝච්චිය කොටුව දුම්රිය පොළ අතහැරලා කොළ පාට හයිට්‍රජන් සල්ෆයිඩ් ගඳ බේර වැව ගාවෙදි යාන්තම් වේගේ වැඩි කළා...විරල මගේ උරහිස එයාගේ පැත්තට පාත් කරගෙන ඔළුව තියා ගත්තා...ඇස් පියා ගත්තා...එයාට නිදා ගන්න ඔනි කමක් තිබ්බේ නැතිව බව දන්නවා...මගේ උරහිස රිදුනත් මම සද්ද නැතිව හිටියේ රිදෙන උරහිස ලඟින් විඳින්න පුළුවන් උණුහුමක් තිබ්බ නිසා...මම වේදනාව අමතක කරලා ජනේලෙන් කඩාගෙන බිඳගෙන එන මුහුදු හුලඟට මූණේ කැමති තැනක් කොනිත්තන්න ඉඩ දුන්නා...


"සරලා..ඔයා අද දවසටම මාත් එක්ක කතා කලේ නෑ"


විරල උරහිසට ඔළුව තියාගෙනම අහනවා...මට එයාගේ හරි හතරැස් ඇස් නොපෙනුනාට මවා ගන්න පුළුවන්...විරල හෙට ඉඳන් මට සදහටම මහ විරල දෙයක් වෙලා යනවා....
ඊට පස්සේ මම ඉතිරි අන්තිම බන්ධනයෙනුත් නිදහස් වෙනවා...ඒත් බන්ධනයක් හදාගන්නවාට වඩා කඩා බිඳලා දාන එක හරි අමාරුයි...ඒක හරියට උඩ දුවපු පිළිකාවක් වගේ..අයින් නොකළත් මැරෙනවා...අයින් කළත් මැරෙනවා..


"විරල..අද මම ඔයාව හම්බෙන අන්තිම දවස"


විරල කරන්ට් වැදුන පොඩි එකෙක් වගේ නැගිට්ටා...මම එහෙම දෙයක් බලාපොරොත්තු වුනා...ඉතින් මට කළබල වෙන්න ඔනිකමක් තිබ්බේ නෑ..


"ඔයා කොහෙද යන්නේ?"


එයා එහෙම අහන ගමන් දත් මිටි කනවා...එයා හිතන් ඉන්නේ මම ඒකට බයයි කියලා..මම බය ඔහොම දේවල් වලට නෙමෙයි...බය වෙන්න කාරනා නම් කොච්චරද..මට ඔයාව අතහැර ගන්න බැරි වෙයි කියන බය...අන්තිම මොහොතේ මම දුර්වල වෙයි කියන බය...ඇයි සසර බය..රෝග බය...අමුනුස්ස බය...බය ජාති කීයක්ද...මට වුනත්  කීයක් අමතක වෙන්න ඇද්ද..


"ඔයා නෙහ් හෙට යන්නේ...අමතකද හෙට ඔයාගේ වෙඩින් එක වග..."


මම විරලගේ සිනිදු කැරළි කොණ්ඩය ඇතුලෙන් ඇඟිලි යැව්වා...එහෙම කරාම එයා සන්සුන් වෙනවා...මම ඒක අත්දැකීමෙන් දනවා.. 


"මම ඔයාව දාලා යන්නේ නෑ..."




එයාට ඔනි මාව අතහරින්නේ නැතිව තව කෙනෙක්ව අල්ල ගන්න...එයාට අත් දෙකක් තියෙන වග ඇත්ත...ඒත් එයාට හිත් දෙකක් තියෙන්න පුළුවන්ඳ...එයාගේ කුටුම්භිය සරු වෙන්න පටන් ගන්න කොට කොහොමත් මාව අතහැරෙයි...මඟින් බහින එක නේද කෝකටත් ලේසි..මුහුදු රැල්ල වෙරළ ලඟට එනකොට දුඹුරු පාටයි..හරියට විරලගේ ඇස් වල පාට වගේ..


අහසේ හැමතැනම වළාකුළු ඉහිරිලා...එක කාරනාවක් ඇරුනම අද දවස ලස්සන දවසක් වෙන්නත් ඉඩ තිබ්බා...


"සරලා"


විරලට මගෙන් උත්තරයක් ඔනි වුනේ නෑ...මම උත්තරයක් දෙන්න බැඳිලා හිටියෙත් නෑ..දැන් අපිට කතා කරන්නවත් දෙයක් ඉතිරි වෙලා නෑ...එයා එයාගේ කතාව වෙන කෙනෙක් එක්ක ලියන්න හෙට ඉඳන් පටන් ගනිවී...ඒ කතාවේ සුළු චරිතයක් වත් වෙන්න මට ඔනි නෑ...


මමයි විරලයි දෙන්නම ජනේලෙන් එළිය දිහා බලන් හිටියා...මට පේන්නේ ඈතම ඈත නැව්ගුරම් දාපු නැව්..විරලට දුර පේනවා හොරයි..එයා බලනවා ඇත්තේ ලඟින් ලඟින් තියෙන ටකරං ගෙවල්....
තව ටිකකින් විරල බහිනවා...
විසාල ගල් පර තියෙන වෙරළ පහු වෙච්ච ගමන් එයාගේ නැවතුම...ඒත් මට දිගටම යන්න වෙනවා...මගේ නැවතුම ගැන මට අදහසක් නෑ...ඒත් මට ආයිත් බෝඩිමට යන්න බෑ...මට යන්න කියලා ගෙයක්වත් අම්මෙක්වත් තාත්තෙක්වත් නෑ...මට නැවතුමක් එනකන් දිගටම යන්න වෙයි...බගදා අද දවසත් ගෙවිලා යයි..නැවතුම සමහර විට මෙහෙණි ආරාමයක් වෙයි..එහෙමත් නැත්නම් හෝටලය දිරච්ච ඇඳක් වෙයි...එහෙම නොවෙන්නත් පුළුවන්...මම විරලට අත වැනුවා...විරල ඒක දැක්කේ නෑ... විරල ගියාට පස්සේ හිස් වෙච්ච අසුනට ආවේ වයසක අම්මා කෙනෙක්...මාත් එක්ක හිනා වුනත් එක්ක..


"මගේ පොඩි පුතාගේ තුන් මාසේ දානෙට බඩු ගන්න ආවා දුවේ"


මම ප්‍රති උත්තර දෙන්නේ කොහොමද..හිනා වෙලාද..නැත්නම්?

Comments

Post a Comment