දැලි පාට අගුටු මිටි කෙල්ලෙක්මි!


කවකටු වගේ අත පා බොහෝ දිග,
හතරැස් උපැස් අතරින් එබෙන ,
පුංචි කළු පාට ඇස් තියෙන,
දැලි පාට අගුටු මිටි කෙල්ලෙක්මි!


පහයි දහයේ කෝච්චිය,
මරදාන තමා අන්තිම නැවතුම,
මම හැමදාම ඉඳගන්න
තර්ඩ් ක්ලාස් තුන් වෙනි පෙට්ටියේ,
මුහුද පැත්තට තියෙන,
ජනේලය ලඟ අසුන,
නවකතා පොතක් කියවන්න,
ඔහේ  ඈත බලාගෙන ඉන්න,
හොඳම තැන එතන!


ඒත් ඒ ඉස්සර!!


දැන් හැමදේම හරි වෙනස්,
දුම්රිය නැවතුම් පොළ නොම්බර එකෙන්,
කෝච්චියට ගොඩ වෙන්න පටන් අරගෙන,
හිත තලාගෙන යන,
කෙනිත්තුම් රිදුමක්ව දැනෙන,
අඩි හයක් උස,
ප්‍රේමයක් වගේ
මහ අමුත්තක්!


හැමදාම අඳින්නෙත් සුදු පාට කමිස,
මුහුදු වැලි වල පාට කලිසම,
කොණ්ඩය වගේමයි මුහුදු රැළි,
එකම තැන ගල් ගැහිලා නැවතුන,
හෝ ගානේ නැති එක විතරයි අඩු!
හිනා වෙන්නෙත් වගේමයි මුහුද


"ගුඩ් මෝර්නින් මිස්,හෙට ඉඳන් නම් මරු
ලෝන්ග් වීකේන්ඩ් එක නේද?"
මගෙන්?පිස්සුද,
එහෙම අහන්නේ එයා වෙන කාගෙන්ද,
එතකොටම ගැස්සෙන්නෙ මාව,
මන්දා ඒ මොකද?


දන්නවා හොඳටම,
මහ මුහුද බැරි බව,
දමාගෙන යන්න මට,
අත් බෑගයේ කොණක,
ඇරත් මං වගේ අගුටු කෙල්ලෙක්ට,
දශමයකවත් තියේද ඉඩක්
එහෙම!


ඒත් කවුරු දාන්නද තහංචි
බලාගෙන ඉන්න,
අහහෙන ඉන්න,
ලඟින් යන කොට ඉව කරන්න
මුහුද නේද?

Comments

Post a Comment