එකමත් එක...

එයා ගොරවනවා...ගොරවනවා කියන්නේ හොඳට නින්ද ගියාය කියන එකට හොඳ ලකුණක්...පව් වයසක මනුස්සයා...බාගදාට විස්කි වීදුරු දෙක ඔනිවට වඩා මත් ගතියක් ගේන්න ඇති...ඈනුම් දහයකට වඩා ගියත් මට තාම නිදිමතක් අහලකවත් නැති හැටි..හඳ එළිය ජනෙල් වීදුරු වලින් විසරනය වෙලා කාමරය ළා අළු සුදු පාටකින් තෙතමාත්තු වෙලා තිබ්බා...
යාන්තම් ජනෙල් රෙදි සොළවන්න පුළුවන් තරම් සුලඟක් තේක්ක කණ්ණාඩි මේසයේ දර්පනය මත වැදිලා දිය පාරක් වගේ බේරිලා වැටුනා...ඒ තරම් සුලඟ පින්නෙන් තෙත් වෙලා...එයාගේ කළයක් වගේ තියෙන බඩ ගෙඩිය යාන්තමට ඉහළ පහළ යනවා..ඇමති කෙනෙක්ට බඩක් තියෙන්නම ඔනි...එතකොට මිනිස්සුන්ට ඒ බඩ ඇතුළෙ එයාලගේ බඩගින්න හංගන්න පුළුවන්..ඒ වගේ බඩගින්න මිනිස්සු හංගලා යන නිසා වෙන්න ඇති මෙයා මෙච්චර කන්නේ...එයාගේ තට්ටෙටත් හඳ එළිය වැටිලා දිළිසෙනවා...එයාගේ රැළි වැටුන මූණේ තරුණකමක හෙවනැල්ලක් වැටිලා තිබුනා...ගෑනු වගේ නෙමෙයි පිරිමි...පිරිමින්ට ඔනිතරම් වයසින් බාල ගෑනියෙක් කසාද බැඳගෙන අඹුවට ගන්න පුළුවන් වුනත් ගෑනුන්ට එහෙම කරන්න බෑ...විශේෂයෙන් ඇමතියෙක්ට ඒ වගේ දේකට ඔනිවට වඩා අවස්තා තියෙනවා...එතකොට එයාගෙත් වැරැද්දක් නෑ එක අතකින්..මම ඇඳ රෙද්ද ඇතුළින් කකුළ් දෙක එළියට අරගෙන ටයිල් පොළව උඩින් තියලා තද කලා...දැන් පාන්දර දෙකට කිට්ටු ඇති... මම ජනේලය ලඟට ගිහින් හෙමින් ජනේලය ඇරලා ජනේලයේ ඩ්‍රිල් කූරක් තද කරලා අල්ල ගත්තා...අද පෝයදාට පහුවෙනිදා...ඊයේ මෙයා එක්ක නමවත් දන්නේ නැති පන්සලක බෝධිඝරයක් විවෘත කරන්න ගියා මතකයි...ඔක්කෝම ප්‍රෝඩාව...පන්සිල් පද පහවත් නොදන්න ආගම්කාරයෙක් වෙච්ච මෙයා දොහොත් මුදුනට තියාගෙන මොනවාද මිමිණුවා විතරයි..මුමුණපු දේවල් පොටෝ වලට වදිනවා කියලද ඉතින්...එතනට ඇවිත් හිටියා පුංචි කාලේ මගේ හොඳම යාලුවා...දැන් ඒකිට කෙළ්ළෝම තුනයි..බෝණික්කි පැටව් වගේ දරුවෝ..ඒකි කිව්වේ "මැඩම් හරිම ලක්කාරි" කියලා...ඇත්තටම මම එක අතකින් ලක්කාරියක් තමා...අතට පයට වැඩකාරයෝ , ඉල්ලන පරක්කුවට හැමදේම...ඒත් ගෑනියෙක්ට සල්ලි බාගේ විතරක් තියලා ඇතිද ඇත්තටම...දරුවෙක් කියන්නෙම හීනයක් තමා...ඒත් වලපයයි ගොඩපයයි මිනිහෙක්ට පුළුවන්ද එච්චර හපන්කමක් කරන්න...මාසේට දවසක් ,ඒකත් කලාතුරකින් විනාඩි දෙකක හති ලෑමක් ඇතුළේ තියෙන්නේ යාන්ත්‍රික ඔයිල් ලීක් කිරීමක් විතරයි...මම මොනවා කරන්නඳ..... හැඟිම් කියන්නේ වහල් වෙන්න හොඳ දෙයක් නොවෙන බව ඇත්ත...ඒත් කසාදයක් කියන්නේ හැඟිම් පත අට එකට හින්දලා දෙන්නා එක්ක සමසමව බෙදා ගන්න එක නෙමෙයිද...කල්පනා කරන්න නම් කොච්චර දේවල් තියෙනවද...කල්පනා කරලා ඇති වැඩකුත් නෑ ඉතින්...බොරුවට කාලේ නාස්තිය විතරයි...මේ කළුවර, අළු සුදු හඳ එළියෙන් තෙත් වෙච්ච, ඔයත් එක්ක පහළ වෙරළු ගහ මුල වාඩි වෙන්න මම ආසයි...ඔයා දැන් ගොඩක් වයසට ගිහින් බව ඇත්ත.. දවසින් දවස මමත් වයසට යනවා...ඔයාට තරුණ කොල්ලෙක් වගේ මහ පාරේ මාව බදාගෙන ප්‍රංශ හාදුවක් දෙන්නවත් මහ වැස්සේ තෙමි තෙමි ෆිල්ම් බලන්න යන්නවත් බැරි බවත් මම දන්නවා...එහෙම අමාරු ඉල්ලිම් නොකර ඉන්නේ ඒකයි...ඒත් ඔයාට පුළුවන් නම් මගේ පපුව අත ගාන වෙලාවේ මගේ පපුවට යටින් තියෙන හදවතත් අතගාන්න...හෙමින් දැනෙන්න හාදුවක් දෙන්න...ඔයාගේ කට කොණකින් කුණු කෙළ පෙරෙනවා...ඒකට කමක් නෑ...ඔයාට දරාගන්න බෑ මාව...ඔයා ඉක්මනට මැරෙයි..මට හිතෙනව හෙට සමහරවිට මැරෙයි කියලා...මේ දැන් වුනත් ඒක වෙන්න බැරි නෑ...ඊට පස්සේ මට පුළුවන් වෙයිද මේ හඳ එළිය දිගේ ඇවිදගෙන යන්න...ඔයාට ගෙට ගැහිලා ඉන්න මට බැමි ලිහා ගන්න...ඊට පස්සේ මටත් පුළුවන් වෙයිද එකෝමත් එක රටක කුමාරියෙක් වෙලා එකෝමත් එක කතාවක් ලියන්න...ඔයාට පුළුවන් වෙයිද අද රෑම අන්තිමටම හුස්ම ගන්න..එහෙමත් නැත්නම් මගේ පපුව මැද්දේ මූණ ඔබාගෙන හැම දෙයක්ම වෙනස් කරන්න...එළිවෙන්න කලින් කියන්න..මේ හඳ එළිය අතුරුදහන් වෙන්න කලින් එක සැරයක් කට දෙපැත්තේ කුණු කෙළ පිහදාලා කියන්න!!

Comments

  1. සෑහෙන්න ප්‍රශ්ණයක් නේ?

    ReplyDelete

Post a Comment

Popular Posts