ජනේලය


මේ ජනවාරියේ අන්තිම හීතල සති අන්තය...උදේ ඉදන් ඇද හැලිච්ච වැස්ස යාන්තම් තුරල් වෙලා ගිහින් අහස ළා රෝස පාටක් අරගෙන තිබ්බා...වැස්ස මේ රෝසපාට හැන්දෑව අතහැරලා ගිහින් තිබුනත් තාමත් ජනෙල් වීදුරුව බදාගෙන වැහි බින්ඳු පෝළිමක් ඉන්නවා..මම වම් අතේ ඇඟිලි තුඩු වලින් වීදුරුව පිරිමැද්දා...සීතලයි තාමත්...
මම ජනේලය ගාව හිටියේ පාර භාසක වීදුරුවෙන් ඈත පේන කොළ පාට දිහා බලාගෙන..තාමත් කළුවර වැටිලා නෑ..ඒත් දැන් මගේ කාමරෙන් හරියටම බාගයක් කළුවරයි...


"මේ දේවල් සිද්ද වුනේ මගේ වරදින් වෙන්න ඇති.."


ඒ අම්මා...කාමරේ කළුවරම මුල්ලක තිබුණ ඇඳ උඩින් එයා වාඩි වෙලා හිටියේ...ඒත් අම්මව දකින්න මට කළුවර මහ බදාවක් නෙමෙයි..




"මේ මම ලබා උපන් හැටි අම්මේ...අම්මා මොනා කරන්නද?"




උත්තරයක් නොදී ඉන්නවට වඩා උත්තරයක් දෙන එක තමා වෙලාව හැටියට හොදම දේ...මට ඔනි වෙලා තිබ්බේ ජනේලය අරින්න..එහෙම කළා නම් කාමරේ ටිකක් හරි එළිය වැටෙන්න තිබ්බා...ඒත් මදුරුවෝ රින්ගුවොත් එහෙම...මම ඒ අදහස අතහැරලා දැම්මා...හිතට එන හැමදේම කරන්න නරකයි.. ...


"උඹට ක්ලබ් වල නටන්න යන්න දෙන්න බෑ පුතේ...උඹට රස්සවක් ඔනි නෑ...උඹ ගෙදර හිටහන්"




"දැන් මට අවුරුදු විසි පහක්...රස්සාවක් ඉල්ල ඉල්ලා හිඟමනේ කී තැනකට ගියාද අම්මේ මං...සෙටිෆිකට්ස් නෙමෙයි උන්ට චෙක් කරන්න ඔනි...උන්ට ඔනි කලිසම ගලවලා මං මොකෙක්ද කියලා චෙක් කරන්න..."


අම්මා අරගත්ත හීන් හුස්ම කාමරේ අහුමුළු වල ගිහින් හැන්ගුනා...දැන් ළා රෝස පාට අළු පාටකට හැරිලා...අළු පාට හරි මූසලයි..කළු පාට තරමක් හොඳයි එහෙම බැලුවම...අළු පාට කියන්නේ දෙකටම නැති පාටක්..




"ඒත් පුතේ...මගේ හිත කියන්නෙම උඹට මිනිහෙක් වගේ ජීවත් වෙන්න පුළුවන් කියලා...උඹට උනන්දුවක් නැතිකම මිස"


"අම්මට පිස්සුද අම්මේ...මට හරිම මහන්සි...ඔයා දැන් යන්න මෙතනින්"


මම එහෙම කියන ගමන් ජනේලය ලඟින් ඈත් වුනා...දැන් මුළු කාමරේම කළුවරයි...අම්මා කාමරෙන් පිට වෙලා යන අඩි සද්දේ ටිකින් ටික තුනී වෙලා ගියා...දැන් කළුවර මැද්දේ හිටියේ මං විතරයි...ලයිට් එක දාන්න මට තිබ්බේ අත දික් කරන්න විතරයි...තනි මට ලයිට් එළියක් මොකටද...ඔන්න ඔහේ කළුවරම සැපයි... හෙට පළවෙනිම දවස ක්ලබ් එකේ නටන්න යන...ඇත්තටම මට නටන්න බැරි බව කිව්වත් මාව තෝර ගත්තේ නටන්න...මම ටීවී එකේ දැකලා තියෙන විදිහට අත පය එහාට මෙහාට හොළවලා බැලුවා...නටන එක අමාරු නැතිව ඇති...එතකොට හෙට අඳින්නේ සාරියක්ද...නැත්නම් කොල්ලෙක් විදිහට ඩෙනිමක්...මට කොයිකත් ඔට්ටුයි...කීයක් හරි ලැබෙනව නම් හෙළුවෙන් වුනත් මේ වෙලාවේ හැටියට කමක් නෑ...ඇත්තටම මට එහෙම නටන්න කිව්වොතින් මොකක්ද කරන්න ඔනි..ගෑනු ළමයෙක් වගේ කෑ ගහන එක ලේසි...ඇරත් වෙන දෙයක් කරන්න මට කොහෙද හයියක්...


මම ඇඳෙන් හාන්සි වුනා...තාම කොට්ට උර වලින් සබන් සුවඳක් එනවා...අලුතින් හෝදපු කොට්ට උර දාන්න ඇත්තේ අම්මා...අම්මා ගැන හිතන කොට දුකයි...එකම දරුවා වෙච්ච මම දැන් එයාව බලාගන්න ඔනි...ඒක කරන ක්‍රමය ගැන මට තේරුමක් නෑ...තාත්තා අපිව අතහැරලා ගිහින් තියෙන්නේ මං ඉපදුන දවසෙමයිලු...එයාගේ පරම්පාරවටම ලැජ්ජාවක් කියලා...මට ඒ ගැන දුකක් නෑ...එයා නැතිවත් මම මෙච්චර කල් හිටියා නම් ඉතිරි ටිකත් ගෙවලා දාන්න අමාරුවක් නෑ මට..
ආයිමත් වහින්නද කොහෙද...ජනේලෙට ඇවිත් හයියෙන් හුලං ගෙඩි වැදිලා නවතිනවා...ෆෝන් එක එක පාරටම කළුවර අස්සෙන් කණාමැදිරි එළියක් වගේ පත්තු වුනා...මැසෙජ් එකක්...එක මැසෙජ් එකක් ඇතුලින් මහ බර මතකයක් ගුලි වෙලා තිබුනා...


"""හෙට යන්න හදන වැඩේට යන්න එපා"""


මම කළේ අර්ධ පරියංකයෙන් ඇඳ උඩ වාඩි වෙලා ඒ මැසෙජ් එක දිහා බලාගෙන හිටපු එක...එපා කියන්න දැන් එයාට කොහෙද අයිතියක්...ඇරත් දැන් එයා කසාද මිනිහෙක්..එයා එපා කිව්වට අපිට කන්න අදින්න එයා සල්ලි දෙනවද...හැමතැනම ප්‍රොඩාව..ආදරේ කරන එකත් එක විදිහකින් රඟ පෑමක්...දක්ෂම නළුවා එයා..මම එතකොට නිළියද නළුවද...
එහෙම හිතන්න ගියාම මේ හැමදේම නතර වෙච්ච එක හොඳයි...මම තාම දෙගිඩියාවෙන්...මම නිළියද නළුවද කියන එක ගැන පවා...
එක අතකින් එයා හොඳින් ඉන්න එක ගැන මම සතුටු වෙන්න ඔනි නේද...සතුටු නැත්තෙමත් නෑ තමා...දන්නේ නැද්ද ඉතින්...අපි රහත් වෙලා නෑ නෙහ්...


මම ඒ මැසෙජ් එක මකලා දැම්මා....දැන් ආයිත් වහින්න පටන් අරගෙන...මම නැගිටලා ඇවිත් ජනේලේ ලඟින් ආයිමත් හිට ගත්තා...එළියේ හොඳටම වැස්ස කියලා තේරෙන්නේ ජනේලය ඇරලා බැලුවම...ජනේලේ වහලා තියෙනකන් කාටවත් ඒක තේරෙන්නේ නැහැ...මම ඇස් පියාගෙන තිරිංග නැති වැහි වතුර වලට මූණ පුරාම ඇවිත් වැතිරෙන්න ඉඩ දුන්නා...බුද්ධාගම පොත් වල තියෙන්නේ මෙහෙම වෙන්නේ පෙර කරුමෙට කියලා...පෙර වැරදි අල්ලලා ඒ වැරැද්ද මතකවත් නැති කාලෙක දඩුවම් දෙන එක අසාධාරණයි කියලා හිතෙන්නේ මට විතරක් වෙන්න ඇති..බගයක් දාට ලබන ආත්මේත් මම මෙහෙම ඉපදේවි කියලා බයයි..එක්කෝ බය වෙලා ඇති වැඩක් නෑ..එන දේකට මූණ දෙනවා ඇරෙන්න..


හෙට තමා ඒ දවස...මම යන්නේ නටන්න විතරමයි කියලා මම මටම දහදොළොස් වතාවක් කියා ගත්තා...මම අහලා තියෙනවා ක්ලබ් ඇතුලේ ජීවිතේ ගැන....එක අතකින් මේක මගේ දෛවය වෙන්න බැරි නැද්ද...කවුද දන්නේ ක්ලබ් එක අතුළෙදි මට මගේ අතරමන් වෙච්ච ජීවිතේ හම්බ වුනොතින් ..සමහරවිට බාර් එකක් ඇතුලෙදි නැත්නම් ඩාන්සින් ෆ්ලෝ එක උඩදි..කොහෙ වුනත් මොකද ලැබෙන්නේ ජීවිතේ නම් එච්චරයි...


වැස්ස ඇවිත් ජනෙල් පඩිය පහු කරගෙන කාමරේටම...කකුළ් පවා තෙමිලා...සමහරක් දෙවියන්ගේ තීරණ පරික්ෂාවක්ය උඹත් ඒ වගේය කියලා කාරලා කෙළ ගහන ඇසිලින් නැන්දාව මට මතක් වුනා...පරික්ෂණයක් නම් පාස් වෙනවද ෆේල් වෙනවද කියන එක මගේ වැඩක්..මම ජනේලය වහලා දාලා කළුවරේම ගේ ඇතුළේ ඇවිදගෙන ගියා....පුරුදු වුනාම හැමදේම පහසුයි.....හරියට මම වගේ...මට දැන් කළුවරත් පුරුදුයි...

Comments

  1. කතාව ලස්සනයි මචං.

    ReplyDelete

Post a Comment

Popular Posts