අභිනික්මන්


"සිද්ධාර්ථ වගේ වෙන්න හදන්න එපා ප්‍රබුද්ධ...සිද්ධාර්ථට නම් මාළිගාවක් හරි තිබ්බා , ගෑනිටයි දරුවටයි වැටිලා ඉන්නවත්...ඒත් අපිට හරිහමන් ගෙයක්වත් තියෙනවද?මේ ඉන්නෙත් කුලී ගෙදරක...දෙමාසයක හිඟ කුලී එක්ක...මේ මාසෙට මාස තුනයි...කුලීකාරයා වුනත් මිනිහෙක් නෙහ්..ඉවසනවාය කියලා මෙහෙම ඉවසාවිද?"


යසෝදා ප්‍රබුද්ධගේ ගමන් මල්ලේ සුදු සරම හෙමින් අතගාන ගමන් කෙටි හුස්මක් ගත්තා...ඒ වෙනකොටත් ප්‍රබුද්ධගේ ඇඳුම් වලින් බාගයක්ම ගමන් මල්ලේ අඩුක් වෙලා ඉවරයි...ප්‍රබුද්ධ මුකුත් නොකියාම ඇඟට දාගත්ත සුදු කමිසයේ බොත්තම් එකින් එක දාන්න පටන් ගත්තා...


"ඔයා ඇත්තටම යන්නද හදන්නේ?"


යසෝදා වෙව්ලන ගමන් වචන ගෙට ගහන්න පටන් ගත්තා......ප්‍රබුද්ධ ඒ වෙනකොට අන්තිම බොත්තමත් දාගෙන ඉවරයි...හැමදේම ලෑස්තියි..


"ඔයාට මොකක්ද එක පාර හැදිච්ච පිස්සුව..මම දන්නවා ඔයාට දරාගන්න බැරි විත්තිය...හැමදාම කරවල කටු හොදී කලවම් කොළ මැල්ලුමයි කන එක අමාරු විත්තිය..ඒත් අපි සතුටු වෙන්න ඔනි නේද?බඩගින්දරේ හිටියේ නැති එක ගැන...පන්සල් වල හැමදාම දාන තමා..ඇරත් ඔයාට පෙශර් එක්ක...ඔය කෑම හොදද කන්න..මෙන්න මෙහෙ නවතින්න"


යසෝදා ප්‍රබුද්ධගේ දිහා නොබලාම ගමන් මල්ලේ ඇතුලේ තිබ්බ කමිසයක් ඇඳ උඩින් තිබ්බා...ප්‍රබුද්ධ මුකුත් නොකියම යසෝදා ලඟින් වාඩි වුනා..වාඩිවෙනකොට ඇඳ ටිකක් එබෙනවා යටට..


"අපිට ඉන්නේ එක දුවයි නේද..තව පෝය දෙක තුනකින් දුව කොටහළු වේවි බාගදා...දැක්කද කෙළ්ළගේ මූණ එළිය වැටිලා තියෙන ලකේ...දුවට තියෙන්නේ ඔයාගේ මූණත් තහඩුවමයි අනේ..මම දන්නවා ඔයාට සසර කළකිරෙන්න දුවවත් මමවත් නෙමෙයි නිමිති වුනේ කියලා..ඔයත් හරි අසරණයි..සල්ලි තමා හැමදේටම මුල..සසරට බැඳලා තියන්නෙත් සල්ලි..බලන් ගියාම සසරෙන් ගලවන්න හදන්නෙත් සල්ලිමයි...දුවට අඩුම ගානේ අරුංගල් ජෝඩුවක් වත් අරන් තියමු නේද?මගේ කරාබු දෙකට පන්දාහක් ගන්න පුළුවන් උගස් කඩේ...බැංකු වල නැහැ එච්චර දෙන්නේ...අපි ඒකෙන් අරුංගල් දෙකක් ගමු...පාටි නම් නැතත් මොකෝ...චාරිත්‍ර ටිකවත් කරමු හොදටම නේද?"


යසෝදා ප්‍රබුද්ධගේ උරහිසට ඔළුව තියාගෙන ඇස් වහ ගත්තා...ඒ වෙනකොටත් යසෝදාගේ කම්මුළ් දෙකම හොදටම පෙඟිලා තිබ්බා...ප්‍රබුද්ධ හිටියේ ගලක් වගේ...යසෝදයි දුවයි දෙන්නම එයාව ගෙදරට අලවලා බැඳලා තිබ්බා...ප්‍රබුද්ධ යසෝදාගේ ඔළුව හෙමින් අතගෑවා...කොණ්ඩ ගස් අස්සෙන් ආවේ දෑසමන් සුවඳක්...


"දන්නවද...මමත් ආසයි මහණ වෙන්න...මේ හැමදේම දුකක් විත්තිය ඔයාට වගේම මටත් නොතේරෙනවා නෙමෙයි...බඩෙන් බාගයක් කාලා මෙහෙම ඔයත් එක්ක ජීවිතේ ගෙට ගහගෙන ඉන්නේ දුව නිසා...මුලින්ම අපි දුව ලොකු කරගෙන උගන්වලා ඉමු..පස්සේ අපි දෙන්නම යමු...අහලා තියෙනවා නේද භද්‍රකපිලානි තෙරණියි කාශ්‍යප රහතන් වහන්සෙයි එහෙම මහණ වෙන්න ගිය කතාව...ඔයා දැන් යන්නේ සසර කළකිරිලා නෙමෙයි නේද?ඔයාට දරාගන්න බෑ මේ දේවල්...ඔයාට බැරි බව ඇත්ත..ඒත් අපිට පුළුවන් නේද?"


යසෝදා ප්‍රබුද්ධගේ රැවුල් කොට වැවිච්ච කම්මුළ උඩින් කම්මුළ තියලා ඇතිල්ලුවා...ප්‍රබුද්ධ කමිසයේ බොත්තම් එකින් එක ආයිමත් ලිහලා දාන්න පටන් ගත්තා...

Comments

  1. ගැහැණියකට හිත් වෙනස් කරන්න පුළුවන් කියන්නේ නිකන්ද ඉතින්.
    කතාව ලස්සනයි බං.

    ReplyDelete

Post a Comment