සාතන්ට ප්‍රේමයෙන් ලියමි !

මළ කාපු කටු කම්බි අගිසි වලට
 ඇමිණිලා ඉතිරි වුනු හදවතක
 එක්තරා නම නොදත් ධමනියක
 ප්‍රේමයක රක්තානු සිහිනයක
 කාක පිහාටුවක් පොඟවා
 ඉරිතැලුන සුදු පිඟන් ගඩොලක
 සාතන්ට ප්‍රේමයෙන් ලියමි


ගිරි දුර්ග මත චණ්ඩ හීතලක
 කිණිසි සඟවා වැරෙන් පහරදෙන
 මීදුමක අඳුරු හෙවනැලි අතර
 පාසි බැඳි මළානික තෙත රුකක
 මඩ පාට කඳුළකින්
 සාතන්ට ප්‍රේමයෙන් ලියමි


පව් සමා කළ හිතක පතුළක
 රීදී පැහැ මුදුවක්ය සැඟවුන
 ශුද්ධවරයෙන් පවා කිළිටි වුන
 ආත්මයෙ හිම මිදුන කැඩපතක
 ඇඟිලි කෙළවරක් ගෙන සීරුවට
 සාතන්ට ප්‍රේමයෙන් ලියමි


තහනම් ගහේ ඵල නොදරපු දෙවියන්ගේ අත්තක
 කොළයකින් උපත ලද දේවදූත හාද්දක
 ඒවගේ ළමැද කඳු අතර සානුවක
 ප්‍රේමයෙන් බෞතිස්ම ස්නානය කළ
 ආදම්ගේ බීජයක් ගෙන පින්සලට
 සාත්න්ට ප්‍රේමයෙන් ලියමි


දෙවියන්ට නොපෙනෙනා කළුවරක
 ඉටිපහන් එළියකින්
 සාතන්ට ප්‍රේමයෙන් ලියමි !

Comments

  1. සාතන් දැන් බ්ලොග් ලියන්නේ නෑ. නැත්නම් ඒකට මේක පෙන්නන්න තිබුනා.

    ReplyDelete
  2. ඔය කියන්නෙ අර සාත්න්ගෙ අඩවිය බ්ලොග ලියන හාදයද?

    ReplyDelete

Post a Comment

Popular Posts