කාලය


"අම්මේ...ඔයා කියන්නේ මේ සම්බන්ධය නවත්තලා දාන්න කියලද?"


එතකොට අම්මා හිටියේ ගොඩක් සන්සුන් විදිහට තේ කෝප්පයක් කටින් පිඹලා නිවන ගමන්...මම අම්මා ලඟින් වම් පැත්තේ පුටුවකින් වාඩි වෙලා බලන් හිටියේ අම්මා කොයිම වෙලාවක හරි මොනාම හරි කියාවි කියන සිතුවිල්ල එක්ක..අම්මා තේ උගුරක් හෙමින් තොල ගෑවා...


"තේ නිවන එකත් එක්තරා කලාවක්"


අම්මා යාන්තම් හිනා වෙන ගමන් තේ කෝප්පය මේ උඩින් සීරුවට තිබ්බා..


"අම්මේ මම එයාට ගොඩක් ආදරෙයි...තාත්තට කියන්න නම් එපා...දන්නවා නෙහ් එයාට පොඩි දෙයත් ඇති පරල වෙන්න...එයාගේ තරහ අවුස්සන්න නම් හිතන්නවත් එපා...අම්මේ ඔයා කියන්නෙත් මේ සම්බන්ධය නවත්තන්න කියලද?"


අම්මා තේ කෝප්පය ආයිමත් අතට ගත්තා...ටික වෙලාවකින් ආයිමත් ප්‍රාශ්වාස සුලං දෙකක් පිඹලා තේ උගුරක් බිව්වා..


"නෑ...නවත්තන්න කියලා කියන්න මට අයිතියක් නෑ.."


අම්මා හෙමින් පුටුවෙන් නැගිට්ටේ තේ කෝප්පයත් එක්කමයි...අම්මා තේ කෝප්පයට ආයිමත් පිම්ඹා..


"ඕක ඔච්චර පිඹලත් නිවිලා නැද්ද?


"සමහර දේවල් සිද්ද වෙන්න නියමිත


කාලයක් තියෙනවා මගේ පුතේ...මට දෙක වසරේ ඉන්න කොට අම්මා කෙනෙක් වෙන්න ඔනි වුනා...අම්මා මට තරවටු කරනවා වගේ ළමයින්ට තරවටු කරන්න ඔනි වුනා...අම්මා වගේ උයන්න...ඉස්සර මම හිතාගෙන හිටියේ අම්මලා කියන්නේ ළමයි බලා ගන්න රසට උයන කෙනෙක් කියලා..මට දෙක වසරෙදි අම්මා කෙනෙක් වෙන්න ඔනි වුනත් මට ඒක කරන්න පුළුවන් දෙයක්ද? ආයිමත් මට මතකයි ඕ ලෙවල් පංතියේදි මුලින්ම පිරිමි ළමයෙක් ලියුමක් දුන්න දවස"


"අම්මාට කොල්ලෝ ඒ කාලේ ලියුම් දුන්නද?"


මම හෙමින් කට අතකින් වහගෙන හිනා වුනා...


"ඔව්...මම ඒ ලියුම් කියෙව්වා...මට හිතුනා ඉතින් එයත් එක්ක යාලු වෙලා බලන්න...යාලු වෙලා ඉන්න කොට මොකෝ වෙන්නේ බලන්න...මට එයා හැමදාම රිස්බරි චොක්ලට් එකක් ගෙනත් දුන්නා...දවසක් මම ඇහුවා කොහෙන්ද ඔයාට සල්ලි මේවා ගන්න කියලා"


"ඉතින් එයා මොකද කිව්වේ?"


අම්මා කෝප්පය මේස උඩින් තියලා ආයිමත් පුටුවෙන් වාඩි වුනා..


"උදේට තාත්තාගෙන් හොරකන් කරපුවා කිව්වා..මම ඊට පස්සේ එයාගෙන් චොක්ලට් ගත්තේ නෑ...එයා මගේ යාලුවට චොක්ලට් දෙන්න පටන් ගත්තා...පස්සේ එයලා ඒ ලෙවල් පංතියේදි පැනලා ගියා..."


" දැන් කෝ එයලා"


"මගේ යාලුවට පැනලා ගිහින් අවුරුද්දකින් ළමයෙක් ලැබුනා...ඊට අවුරුද්දකට පස්සේ අර පිරිමි ළමයා කඩයකින් හොරකන් කරන්න ගිහින් අවුරුදු ගානකට හිරබත් කෑවා...මගේ යාලුවා ගාමන්ට් එහෙකට ගියා වැඩට...ඒ කාලෙදි දරුවට කාසේ හැදිලා මැරුණා...මම මල ගෙදර ගියේ කැම්පස් එකේ යාලුවෝ එක්ක...මට හොදට මතකයි එයා අඬපු හැටි...ඒ වෙනකොට එයාට කාලය ලොකු පාඩමක් කියලා දීලා තිබ්බා..ඒත් එතකොට පරක්කුයි"


අම්මාගේ දිළිසෙන ඇස් කෙළින්ම මං දිහාවට අතහැරලා තිබ්බේ...මම බිම බලා ගත්තා...


"ආදරේ කියන්නේ සම්බන්ධයකට වඩා ගොඩක් එහාට ගියපු දෙයක් දරුවෝ...ඕ ලෙවල් පංතියේ පොඩි කොල්ලෙක්ට ඇත්තටම ඇති වෙන්නේ ආදරේ නෙමෙයි කියන්න තරම් මම දුෂ්ට
 නෑ....ඒත් අපිට ආදරේ පිට දාලා ජීවිතේ ලිහා ගන්න බෑ...එහෙම වුනාම අපිට අපිවම මඟ ඇරෙනවා"


"අම්මේ මේ සම්බන්ධය නවත්තන්නද?"


"ඔයාට මුළු ජීවිත කාලයක් තියෙනවා ආදරේ කරන්න...ඉගෙන ගන්න තියෙන්නේ පුංචිම කාලයයි...මම කියන්නේ අඩිතාලමක් දාගන්න උදව් වෙන ඉගනීම ගැන...තමන්ගේ ජීවිතේ තමන්ගේ...මට ඔයා වෙනුවෙන් තෝරාගැනීම් කරන්න අයිතියක් නැත්තේ ඒ නිසා...ඔයාට තීරණය කරන්න වෙනවා ජීවිතේ හරිම තෝරාගැනීම මොකක්ද කියන එක...ඒ තීරණය උඩ ඔයා එක්ක බැඳිලා ඉන්න අයටත් බ පෑම් එනවා...ඒ හැමදේකම වගකීම ඔයාගේ..."


අම්මා මාත් එක්ක හිනා වෙලා ඇස් පියා ගත්තා...


 "තේ එකක් වුනත් නිවෙන්න ඔනි තරමක් වගේම වෙලාවක් තියෙනවා මගේ පුතේ"

Comments

  1. Replies
    1. ඇත්ත...පොඩ්ඩක්..රිදෙනවා..

      Delete
  2. මචං කියන්න වචන නෑ. මොකද මේ ටිකම පොඩ්ඩක් එහාට මෙහාට වෙලා මාත් අහලා තියෙන නිසා.
    උඹේ අකුරු පපුවටම අනිනවා බං.

    ReplyDelete
  3. ඒක නම් හොදටම දැනුනා

    ReplyDelete

Post a Comment

Popular Posts