කුහුඹු පෙම්වතිය..

අකුණු ගෙරවුම් පවා සුසුම්ලන කළුවරක
 නුඹෙ පපුව මත වැතිර හිස හෙමින් ඔසවගෙන
 මහ ගොඩක් ඉස්සරම දවසක්ය නොනැවතුන
 මතකයකි මතක අමතක අතර තනිවෙච්ච


මහත්තයෝ කවදාහරි මගෙ හුස්ම ඉගිලුනොත්
 දුක හිතේවී නේද නුඹට මං නැති වුනොත්
 බය නොවී නුඹ ඉන්න කවදහරි මියැදුනොත්
 කුහුඹු කෙළ්ළෙක් වෙලා ලඟ ඉන්නවා මමත්


නුඹේ සයනීය තේ බඳුන හරි උණුසුමයි
 මම වැතිර සිටිය තැන කවුරුදෝ නිදිකිරයි
 දෙතොල් නුඹ තියන තේ බඳුනේ තැන හිස්තැනයි
 මම බලාගෙන සිටිමි කුහුඹු හිත හීතලයි


දෑස් අඩවන් වෙච්ච මට පුරුදු නුඹෙ මුහුණ
 ලඟට මට දැකගන්න මේ ලැබෙන එක මොහොත
 ඇඟිලි තුඩකින් හෙමින් කොණිත්තා මගේ පපුව
 චප්ප කෙරුවාට මක් වෙනවාද ඉතින් නුඹ


සංසාර ප්‍රේමයේ අළු පාට හෙවනැල්ල
 මගේ තැන හිස්තැනට ඇය ඇවිත් පිරුණාට
 ඇගෙත් නුඹගෙත් ප්‍රේමයේ අසනි කුසුමක්ව
 නුඹ අතර පිපෙන්නෙමි සළන්නෙමි මකරන්ද

Comments

Post a Comment