දන්නවද විජය,


දන්නවද විජය,
මම දෙමළ කෙල්ල,යාල්පානමේ මායිම් ගමක,
අතට අහුවෙන තරම් ජීවිතය,
මනිපූර් සාරියක ඔතාගෙන,
ගිනි මද්දහනෙම කොළඹ ආපු


ඒ තමා අමාරුම කාලය!
අම්මා අප්පා එකම තැන,
පතොක් ගාලක අමුණලා කඳුළු කණකර,
නිදාගෙන වගේ හිටියා බදාගෙන පොළව,
විජය!මේ බලන්න මගේ ඇස් වල
 ඒ කණකර තාම හරි පරිස්සමට


තංගච්චි පොඩි එකී හුරතලී,
එක්තරා මූසලම මහ රෑක,
දොර පියන් කඩාගෙන,අමෝරාගෙන තුවක්කු,
නමක් නැති කළු පාට හෙවනැලි,
වෙඩි තියලා ගිහින් තිබුනා යටි බඩට,


විජය,
ඉතින් මම පියඹලා ආවා කොළඹට,
නළල මත කාලයක් තිස්සෙම,
නැවතිලා හිටපු තනි කළු තිලකය,
මකා දැම්මෙත් ඒ දවස් වල
 පිටකොටුවේ ගහ ගාව බෝධිය,


එදා ඉදන් මම සිංහල,
මැනින් මාකට් එකේ තැලුන තක්කාලි තෝරපු,
මුදලාලිලා අතින් හැමදාම වගේ තැලුනු,
සිංහල කෙල්ල මං, දෙමළ වචනයක් ඇහුනත්,
බිම බලාගෙන ගියපු


කාලය ගෙවෙන ඉක්මන,
යාල්පානමට දැන් වසන්තය(ලු) නේද,
ආසයි බලන්නත්,
අම්මා අප්පාගේ අවතැන් වෙච්ච,
හරි පුදුම හීන අපි ගැන..


විජය,
ඔයාගේ උරහිසක, හිස තබාගෙන මං,
දැන් අවුරුදු කීයක්ද කියන්න,
අපේ දරුවන්ට පවා දවසක,
කියලා දෙමු නේද,
මනිපූර් සාරි කෑලි වලින්
 ජංගි කොට මහපු හැටි එයාලට..

Comments

  1. දෙමළ කෙල්ල නලලේ කළු තිලකය මකලා දාලා ජාතිය අතඇරියා වගේ අපි ඔක්කෝටම අපේ තිලක මකලා දාන්න පුළුවන් වුනා නම්... අපි මොන ජාතියෙද කියලා අඳුරගන්න අපටම බැරි දවසක් උදා වුනා නම්...

    ReplyDelete
  2. ලස්සනයි මචං
    වෙනද ලියන ඒවට වඩා පට්ටම ගති..
    කියන්න වචන නෑ

    ReplyDelete
  3. ලස්සනයි මචං.

    ReplyDelete
  4. හිතට සුපිරියට වැදුනා මචෝ..
    ගොඩක් ලස්සනයි.)

    ReplyDelete
  5. හැමෝටම ගොඩාක් ස්තූතියි <3

    ReplyDelete

Post a Comment