වැලියන්ට්,


වැලියන්ට්,


හැමදාම ලියන "ආදරණිය වැලියන්ට්" ආමන්ත්‍රණය අද නොකළාට මට සමාවෙන්න....මේ ලිපියේ හැම අකුරක්ම හැම වචනයක්ම පණ පිටින් තියන්නයි මට උවමනා..."ආදරණිය" කියන මළකඳ තව දුරටත් මට ඔයාගේ නම ඉස්සරහින් එල්ලලා තියන්න ඔනිකමක් නෑ...මේ ලියුම වෙනදා වගේම ඕක් ලී කොට පිළිස්සෙන ගිනි උඳුනට පිච්චෙන්න දාන්න...හැබැයි අකුරක් නෑර කියවලා ඉවර වුනාම...හා ද?


ඔයාට මතකද වැලියන්ට් යුද්ධේ කාලය...එතකොට මම උපාධිය ඉවර කරපු මුල්ම දවස්...මගේ උපාධිය තිබ්බේ ඉංග්‍රීසි සාහිත්‍ය ගැන..ඒත් සාහිත්‍ය උපාධිය අතේ තියාගෙන මට වැඩකරන්න සිද්ද වුනේ මහජන රෝහලේ කාස වාට්ටුවේ...මම විතරක් නෙමෙයි...ඒ කරුමෙට කරගහන්න මගේ හොඳම යෙහෙළිය ඈන්ටත් සිද්ද වුනා...කවිකාරියෝ වෙච්ච අපිට වෙලාවක් කලාවක් තාලයක් නැතිව කහින මනුස්ස පරාණ වැතිරිච්ච ඇඳවල් අතරින් ඇඟිලි තුඩු වලින් ඇවිදින්න සිද්ද වුනා...අවුරුදු හතරක්ම සොක්‍රටීස් ප්ලේටෝ වගේම තව ඔයා අහලවත් නැති දාර්ශනිකයෝ එක්ක ලිහලිහා හිටපු ජීවිතේ ගැන තර්ක පැරෆින් ඉටි වගේ දියවෙන්න පටන් අරගත්ත කාලයක් ඒක.. අන්තිමට ඉතිරි වෙච්ච මුකුත්ම නෑ...විස්වාස කරන්න වැලියන්ට්..මුකුත්ම නෑ...


මම වගේම ඈන් බෙහෙත් නැතිව ටිකින් ටික මැරිලා යන මිනිස්සු දිහා බලාගෙන හිටියා..ඒ ඇඳන් වල හිටියේ හැම කෙනාම බලන් හිටියේ තමන්ගේ වාරේ එනකන්...මැරෙනවා කියන එක එච්චරම සාමාන්‍ය වෙච්ච කාලයක ඈන්ගේ මරණය මට දරාගන්න බැරි වෙච්ච එක ගැන පුදුමයි වැලියන්ට්...එයාගේ ලේන්සුව රතු පාට වෙලා තිබ්බා...මට මතකයි ඈන්ගේ නිල් පාට ඇස්..ඒවා කබ වලින් වැහිලා තිබුනේ...එයාම සාත්තු කරපු ලෙඩෙක් හිටපු ඇඳක එයා අන්තිම දවස හිටියේ මගේ අත්දෙක තදකරලා අල්ලගෙන..


"මේරී...මගේ කෙළ්ළේ...මතකද අපි ප්‍රංශයට යන්න දැකපු හීනේ..මට දුක උඹව තනියම යවන්න වෙච්ච එක ගැන...පරිස්සමින් හිටාන් මේරි"


ඒ ඈන්ගේ අන්තිම වචන..මට වචනයක් නෑර මතකයි හැමදේම..ඈන් මැරෙනවත් එක්කම මට පත්තර කන්තෝරුවක රස්සවක් ලැබුනා..


ඒ මේ වගේ තෙත ග්‍රීස්ම කාලයක...මට තිබ්බේ ආණ්ඩුවට හොඳ කියලා ලිපි ලියන්න.. ඇත්තටම මම සම්පූර්ණ මාසයක් එහෙම ලිව්වා වැලියන්ට්..බඩගින්න ආත්මාභිමානයට වඩා බර වැඩි වුනා...ඒත් ඉළඟ මාසය වෙනකොට මම කෝපි කඩේක අත් උදව්කාරියක් විදිහට වැඩ කරන්න පටන් ගත්තා..ඔයා කලින් මේ විස්තර දැනගෙන හිටියේ නැති එක ගැන පුදුම වෙන්න එපා...මේ තමා පළවෙනිම වතාව..හැමදේම ඔයාට කියන...

දැන් මගේ ගාව සැළකිය යුතු සල්ලියක් එකතු වෙලා තියෙනවා...දැන් මම මගේ ලෝක සංචාරය පටන් ගන්න හොඳම කාලය..මැදි වයස කියන්නේ ජීව්තේ ඉහළම තැන..ඉහළම තැනින් පස්සේ එක දිගට පල්ලම...ඒ පල්ලම් බහින කාලය වෙනකන් මම ජීවත් වෙයි කියලා මට විස්වාසයක් නෑ..ඇරත් ඔයා දන්නවා මගේ පෙනහළු දෙකම නිකොටීන් වලින් හෙම්බත් වෙලා විත්තිය..මේ සල්ලි වලින් කොටසක් ඈන්ට අයිති...මම ඒ සල්ලි වියදම් නොකර තියාගෙන හිටියේ මේ ගමනට...මේක මගෙයි ඈන්ගෙයි හීනයක් වැලියන්ට්...ඔයාට ඒක තේරුම් ගන්න අමාරුයි...


මම ඔයාට ආදරය කළා වැලියන්ට්..සමාවෙන්න මට මේ වාක්‍ය අතීත කාලයෙන්ම නවත්තන්න සිද්ද වෙනවට..මට ඇත්තටම කියන්න ඔනි වුනේ මේකයි වැලියන්ට්...අපි ආපු දුර වැඩියි..ඇරත් මට හරි මහන්සි...මගේ ලෝක සංචාරයට ගෙනියන මල්ලට ඔයා අමතර බරක් වෙනවට මම අකමැතියි..අමතර මුකුත් ගෙනියන්න තරම් මම හයිය ගෑනියෙක් නෙමෙයි දැන්..ඉතින් අතහරින දේවල් ලයිස්තුවේ උඩින්ම ඉන්න ඔයාව කණගාටුවෙන් වුනත් අතහරින්න වෙනවා...ඒ හැමදේටම හේතු තියෙනවා වැලියන්ට්..ඔයා හොදටම දන්නවා මම ඉපදිලා ඉන්නෙම ලියන්න..ඒත් මට අඩුවෙන්ම ඉඩ ලැබිලා තියෙන්නෙත් ඒ කාරණාවට...බගදාවත් මම ඔයාව බැන්ඳොත් කියන ඔයා මට එවපු ලියුමේ කොටසක් උපුටලා දක්වන්න කැමතියි..


"මේරි...ඔයා මාව බැන්ද දවසට මට රසට උයලා දෙන්න...කන්තෝරු වැඩ වලට උදව් වෙන්නත් පුළුවන්..හැබැයි දෙයියන්ගේ නාමෙට ලියන එක නවත්තන්න..මම කැමති නෑ ක්‍රිස්තියානිකාරයෙක් විදිහට මගේ බිරිඳව සාතන් පරික්ෂා කරනවට...හැමදාම පල්ලි යමු...ශුද්ධ වූ පවුලක් වෙමු..එකම දරුවෙක් ඇති..හොඳටෝම ඇති"


වැලියන්ට්, ඔයා හැමදේම තීරණය කරලා ඉවරයි නේද..සමාවෙන්න මට මේ එක දේකටත් එකඟ වෙන්න බෑ...සත්තකින්ම ඔයා මොන ජාතියේ ක්‍රිස්තියානිකාරයෙක් ද..එකම දරුවෙක් කියන එක දෙවියන්ට කලියෙන් ඔයා තීරණය කරන්න තරමට..මම දන්නවා වැලියන්ට් ඔයා කැමති විත්තිය මගේ හිනාවට..ඒත් හිනාවකින් පුළුවන්ද පවුල් ජීවිතයක් ගෙනියන්න..ඇරත් මට දවස පුරාම ඔයාට විරිත්තන්න බෑ..දෙවියන්ට ඔප්පුවෙන්න මට ලියන එක නවත්තන්න කියන්න තරම් ඔයා මෝඩ වුනේ කොහොමද..ඉතින් ඔයාගේ නොසණ්ඩාල ලියුමෙන් පස්සේ අතහරින දේවල් ලයිස්තුවේ පළවෙනිම කාරණාව ඔයා වෙච්ච එක පුදුම වෙන්න තරම් දෙයකුත් නෙමෙයි එක අතකින්...


ඔයා මොනවද වැලියන්ට් දන්නේ...මුකුත්ම දන්නේ නෑ...අතහරින එක ඉඹේ අතහැරෙන එකට වඩා ගොඩක් අමාරු දෙයක්...අපිට දර්ශනය කරපු ප්‍රොෆෙසර් සාවා කිව්වේ ආසියාතික ආගම් ගොඩක තියෙන මූලික හරය අතහැරිම කියලා...ඒක ඇත්ත..ඒක කොච්චර අමාරු දෙයක්ද...ඔයාට දැන් ඒ අමාරු වැඩේ කරන්න උත්සහ කරන්නම වෙනවා...


වැලියන්ට්,මේ ග්‍රීස්මය තෙතයි..කඩින්කඩ වැහි වහිනවා...මම මේ අන්තිම සතියේ ප්‍රංශයට පියාඹනවා...මම කැමති ඊට කලියෙන් ඔයාගේ ඇඹුල් වෙච්ච මූණත් එක්ක මගේ දොරකඩ ලඟට ඇවිත් සුභ පතනවා නම්...ඒ තමා මගේ අන්තිම ඉල්ලිම..ඉතින් මම නවතින්නම්..


මීට මේරී

Comments

  1. දුක හිතෙන ලස්සන කතාවක්..

    ReplyDelete
  2. කියවන්න ගත්තම තව තවත් කියවන්න හිතෙන නිර්මාණයක් අමා.. නියමයි

    ReplyDelete

Post a Comment

Popular Posts