පිරිමි ළමයා(අවසන් කොටස)

සුදාර..







ඇස් පිහාටු කඳුළු  වලින් එකට එකක් ඇලවිලා... ඇස් දෙක අත් දෙකෙන් පොඩි කරලා හෙමින් ඇරලා බලනකොට, මනුක පොඩි දරුවෙක් වගේ ඇඳේ කෙළවරක, ...එයා ගොරවනවා..හරියට බැලුමකින් හුලං යන සද්දෙට සමාන සද්දෙකින්... ඒ එයා කොට්ටෙට ඔළුව තියාගෙන නිසා..එයාට කොට්ටේ ඔළුවට තියලා නිදා ගන්න අමාරුයි කියලා මම දැනගෙන කොච්චරක් කල්ද කියලා මට මතකයක් නෑ...මම හෙමින් කොට්ටය මනුකගේ ඔළුවෙන් අහකට අරගෙන නහයට ලං කරලා බැලුවා...මම අරන් දුන්න ටිකක් සැර ජෙන්ස් සෙන්ට් සුවඳින් කොට්ටේ පෙඟිලා...දැන් සෙන්ට් සුවඳ මනුකගේ සුවඳ  එක්ක කලවම් වෙලා අමුතුම සුවඳක් අලුතින් ලෝකෙට බිහි වෙලා දැන් ඒ සුවඳ මගේ පෙනහළු වල පිරෙනවා නේද කියලා හිතන කොට, හිත මැද්දෙන් දොළ පාරක් ගලාගෙන යනවා දැනෙනවා..



අම්මා දැන් මොනවා කරනවා ඇතිද??බාගදා තාත්තාට රෑට කන්න ඉදි ආප්ප තම්බනවා ඇති... තාත්තා කැමති නෑ රෑට දවල් හදපු හොදි මාළු කන්න...ඒ නිසා දවල් ඉතිරි වෙච්චා බල්ලට අනලා දාලා අම්මා රෑට කන්න අලුතින් මොනවා හරි හදන්න ලෑස්ති වෙනවා ඇති..එතකොට තාත්තා?? එයා ටීවී එක දාගෙන ඒක ඉස්සරහට වෙලා පොතක් කියවනවා ඇති.. ඒ අපේ තාත්තාගේ හැටි..ටීවී එක ඔහේ වැඩ කරන්න දීලා ඒක ඉස්සරහට වෙලා පොත් කියවන එක.. මට දැන් , මේ දැන් ඇස් දෙක වහගෙන අපේ ගෙදර දිහා හිතින් බලන්න පුළුවන්... මිදුලේ තියෙන පිච්ච වැල...කරදරයක් වෙන තරමට වැවිච්ච හෙන්දිරික්කා ගාල...දැන් පිපිච්ච්හ් හෙන්දිරික්කා මල් එකක් නෑර බෝධි පූජාවට යන නාකී ගෑනු කඩාගෙන ගිහින් ඇති...තද දම් පාට, ළා රෝස,තව දෙමුහුන් වෙච්ච පාට පාට හෙන්දිරික්කා මල්...කොච්චර කපලා අහක් කලත් ආයිමත් ආයිමත් ලියලන සුන්දර කරදරයක් ඒක...




මම පුංචි කාලේ පවුලේ හිටිය අනිත් ළමයි එක්ක සෙල්ලම් ගෙවල් දාපු අඹ ගහ මට ඇස්  පියාගත්තාම පේන්න පටන් ගන්නවා..එතකොට මම හතර වසරේ විතර ඇති මගේ හිතේ..අම්මාගේ පරණ පුස් බැඳිච්ච ඕගන්දි සාරිය ඇඳගෙන මම සෙල්ලම් ගෙදර අම්මා වෙනකොට..එතන හිටිය ගෑනු ළමයින්ට අම්මාගේ චරිතේ ඔනි වුනත් මම කිසිම වෙලාවක අම්මාගේ චරිතේ ඒ අයට දෙන්න හිතුවෙවත් නෑ..මට ඔනි වුනේ අපේ අම්මා වගේ වෙන්න.. උදේ පාන්දර නැගිටලා උයලා ලස්සන සාරියක් ඇඳගෙන පොළට ගිහින් බඩු ගේන්න... මට පිහිඹියා කෝට්ටකින් අම්මා ගහනවා වගේ ළමයින්ට පාර හිටින්න ගහන්න...එක දවසක් නැන්දගේ පුතාට මම සෙල්ලම් ගෙදරදි අම්මාව හිතෙන් ආරූඪ කරගෙන ගහපු පාරකට නැන්දා ඇවිත්    අම්මාට කුණුහරුපෙන් බනිනකන්ම අම්මාගේ සාරි ඇඳගෙන සෙල්ලම් කරන්න තහනමක් තිබ්බේ නෑ..... නැන්දා බිම පිහදාන තරම් දිග සාය දණ හිස ගාවට උස්සගෙන "ඈ පරට්ටියේ උඹෙ හිකනල ගෑනු කොල්ලා මගේ කිරි සප්පයට ගහලා තියෙන්නේ...උඹේ ආච්චිට හාල් ගරන්න... ඕකට සාරි නෙමෙයි යට සායක් අන්දලා වේල් පෙරහැරේ යවහන්... උඹලා එක්ක නෑකන් පවත්තන අපිට ගහන්න ඔනි යකෝ වැලි" කියලා කෑ ගහන කොට අම්මා ඇස් රතු පාට කරගෙන නැන්දාට පේන්නම මට ගහපු හැටි මතකයි..එදා    මට වඩා ඇඬුවේ අම්මා.. ඊට පහුවෙනිදා අම්මා පරණ සාරි ඔක්කෝම ටික පුච්චලා දානකොට මම ගිනි ගොඩේ පිච්චිලා යන මම ආසම කරපු සුදු දම් සාරිය දිහා බලාගෙන හිටියේ තාත්තා එදාම සෙල්ලම් ගේත් බිමට සමතලා කරලා දාලා තිබ්බ නිසා..ඒ අඹ ගහේ අතු වල එල්ලිලා ලෝකේ දිහා උඩ යට මාරු කරගෙන බලාගෙන ඉන්න වවුල් රංචුව මේ වෙනකොට කෑම හොයාගෙන ඉගිලිලා යන්න පටන් අරගෙන ඇති....උන්ගේ ඉටි වගේ බෙටි අම්මා හෙටත් ඉදලෙන් හූර හූර අතුගාවි...මම නැතිවට හැමදේම වෙනසක් නැතිව තියේවී...මට ආයිමත් ගෙදර යන්න හිතුනත්.. දැන් ගොඩක් පරක්කු වැඩියි... ගොඩක් පරක්කු වැඩියි..









මම මනුකගේ කාමරේට එනකොටම ගලවලා දාපු හයිහීල්ස් දෙකේ රිදී පාට පටි යාන්තම් කළුවරේ වුනත් දිස්නෙ දෙනවා පේනවා...මම කණ්ණාඩි මේසේ ලඟට ගියාම තමා දැක්කේ උදාරගේ පර්ස් එක ඒක උඩ ඔහේ විසි කරලා වගේ තියෙනවා...ඒකේ තියෙන්නේ එයාගේ අම්මගේ තරුණ කාලේ පින්තූරයක්...කළු සුදු පින්තූරේට වෙලා ඉඳගෙන එයා මට හිනා වෙනවා... පුංචිම පුංචි කාලේ ඉදන් මේ අද වෙනකන් හැමෝගෙම හිනාවෙන් තෙහෙට්ටු වෙලා මම ඉන්න බව නොදැන  එයා දිගටම හිනා වෙනවා...මුලින්ම හිනා වෙන්න පටන් ගත්තේ පවුලේ අයම තමා...අවුරුද්දට අපේ ගෙදර එන නෑයෝ මාව වටකරගෙන හිනා වුනේ මම එයාලට හිනා වෙන්න මවාපු සතෙක් ගානට..මම දුක හිතිලා අඬනකොට පවුලේ අනිත් පිරිමි ඈයෝ ඇස් ලොකු කරලා "පිරිමි ළමයෙක් වෙයන්කෝ"කියලා කියනකොට මම නොසෑහෙන්න බය වෙච්ච දවස් තිබ්බා....මම අම්මා ගාව ආරක්ෂාව හෙව්වේ...සුළුවෙන් හරි ආරක්ෂාව තිබ්බේ එයා ගාව විතරයි...









මම වගේම යාලුවෝ මට හම්බුනේ හත වසරෙදි..සුමිත්,නිමල්,තාරක මම වගේම පැද්දුම් කලාවට ඇවිදින මගේ බෝට්ටුවේම අය විත්තිය මට තේරිලා තිබ්බේ... අපි පංතියේ ඉස්සරහම පොළිමේ ඉදගත්තේ එකට..අපි හතර දෙනා එකතු වෙලා කතා වුනේ මූණේ ගාන ක්‍රීම් ජාති ගැන, අඩි උස සපත්තු දාගෙන ඇවිදිනකොට වැටෙන්නේ නැතිව ඇවිදින එක ගැන..නිමල් අපේ ඇඟේ හැඩේට ගැලපෙන්න ගවුම් විලාසිතා පොත් පිටි පස්සේ කුරුටු ගෑවා...අපි හයියෙන් හිනා වුනා...සෙල්ලම් කළා..අපි එකට ඉන්න කොට සතුටින් හිටියා...ඒත්  ඉස්කෝලේ කියන්නේ අපි හතර දෙනාට විතරක් නෙමෙයි... පිරිමි ඉස්කෝලෙක පිරිමි ළමයි ගොඩක් මැද්දේ අපි හිටියේ තනි වෙලා...ඒ ළමයින්ට අපිව පෙනුනේ විහිළුකාරයෝ වගේ...එයාලා අපිව දකින  දකින තැන එක එක දේවල් වලින් දමලා ගැහුවා...අපි කිසිම දවසක දිනන්න බැරි යුද්ධයක කිසිම ආයුධයක් නැතිව තනි වෙච්ච සොල්දාදුවෝ වගේ...අපිට තිබ්බ එකම පිහිට ඉගෙන ගන්න එක විතරයි..සමහර අයියලා අපි දිහා බැලුවේ එයාලට ඔනිම විදිහකට පාවිච්චියට ගන්න පුළුවන් බෝනික්කෝ වගේ..මට මතකයි දවසක් අයියා කෙනෙක් තාරකට කරදර කරලා මිස් කෙනෙක්ට එයා කියන්න ගිය   දවස... මුලින්ම වේවැල් පාර ගැහුවේ තාරකට...කරදරයට පත් වෙච්ච  එයාට එහෙම ගැහුවේ එයා ගෑනු විදිහට හැසිරෙන නිසාලු....එදා අපි හතර දෙනාම තාරක එක්ක ඇඬුවා...







විශ්ව විද්‍යාලයට තේරිලා ගෙදර ඉන්න දවස් වල තමා ඇත්තටම අපිට ලෝකේ තියෙන්නේ කොච්චර චූටි තැනක්ද කියලා දැනෙන්න ගත්තේ.. ලංකාව වගේ ලෝක සිතියමේ පේන්නේවත් නැති තරම් චූටි රටක ඒ ඉඩ කොච්චර ඇබිත්තන් වෙන්න ඔනිද...මහේල් ආවේ යන්නම බලාගෙන කියලා මම දැනගෙන හිටියේ නෑ...එයාව මට හම්බුනේ පුස්තකාලෙදි...මට වඩා වැඩිමල්..මම හිතුවේ එයා මට ඇත්තටම ආදරෙයි කියලා...එයාට තිබ්බේ නිවෙන්නේ නැති තද රතු ඇස්...හරියට බීපු මිනිහෙක්ගේ වගේ...එයා මාව පොඩි කරලා චප්ප කරලා දැම්මා..පස්සේ උක් රොඩ්ඩක් විසි කරනවා වගේ මාව තුක් කියලා විසිකරලා දැම්මා...ඒ වෙනකොට මම දැනගෙන හිටියා පිරිමි අපි
දිහා බලන්නේ පාවිච්චියට අරන් විසි කරන්න පුළුවන් සිලි බෑග් දිහා බලනවා වගේ...







අපිට ගෑනු ළමයෙක්ටවත්,, පිරිමි ළමයෙක්ටවත්  ලැබෙන ගෞරවය ලැබෙන්නේ නැති වග අපි දැනගෙන ඉවසගෙන ඉන්න පුරුදු වුනා.. ලැබෙන්නේ නෑ කියලා ගෞරවය ලබා ගන්න මටවත්
මගේ යාලුවන්ටවත් ශක්තියක් තිබ්බේ නෑ..








විශ්ව විද්‍යාලයේ ඇතුලෙත් මට තිබ්බේ යුද්ධයක් කරන්න... යාලුවෝ ගොඩක් මැද්දේ මට වුනේ තනියම ඉන්න... අනිත් ළමයි මාත් එක්ක එකට ඉන්න එක ලැජ්ජාවක් වගේ දකිනකොට  මට මං ගැනම මොනා හිතෙනවා කියලද හිතෙන්නේ..මනුක ආවේ මගේ හදවත කෑළි කෑළි වලට බිඳිලා තියෙන කාලෙක...එයා එයාට පුළුවන් තරම් හදවත පිළිසකර කළා...මම මනුකට ආදරේ කරන්න පටන් ගත්තා... එයා මට මගේ නැති වෙලා තිබ්බ ජීවිතේ හොයලා දුන්නා.. අම්මා තාත්තා මං දිහා බැලුවේ මම වැරදීමකින් ඉපදිච්ච  දුර්වල දෙලොවටම නැති ජීවියෙක් විදිහට...ඒත් නංගි මගේ අතින් තද කරලා අල්ලගෙන හිටියේ... එයා තමා මට කිව්වේ තීරණයක් ගන්න තියෙන නිදහස මට තාම නැති වෙලා නැති විත්තිය..නංගි මට මුහුදෙන් එපිට මට පැළ වෙන්න සුදුසු බිම් තියෙන විත්තිය මට මතක් කරලා දුන්නා..


ගෙදරින් එන්න තීරණය කලේ ඇයි කියන එක ගැන මම තාම දන්නේ නෑ..මම ගෙදරින් දොට්ට බැහැලා එනකොට අම්මාගේ ඇස් වල මොනවා තිබ්බාද කියලා මම මවා ගන්න උත්සහකරනවා... වෛරයක්..දුක..කළකිරීමක්...දැන් මම පරක්කු වැඩියි.. මට ආපස්සට හැරෙන්න දැන් අමාරුයි..





මනුක තාමත් ගුලි වෙලා නිදාගෙන ඉන්න වග මට කණ්ණාඩියෙන් පේනවා...මනුකට එයාගේ පවුලම අතෑරලා මාවත් අරන් කොහේ හරි යන්න කියලා කියන එක කොච්චර  අසාධරණද..එයාගේ අම්මා තවමත් පර්ස් එකට වෙලා හිනා වෙන්නේ මනුකට එයාගේ බන්ධන වලින් ලිහෙන්න බැරි විත්තිය පෙනිලා වෙන්න ඇති..මම මොකක්ද කරන්න ඔනි කියන්න  එක මට විසඳගන්න බැරි  ප්‍රෙහෙලිකාවක්..




කණ්ණාඩියෙන් මට මාවම පේනවා...ලිප්ස්ටික් ගෑවිච්ච කම්මුළ් දිය වෙලා ගිහින්..හැම මිහිහෙක්ටම හැම ගෑනියෙක්ටම ජීවිතය කියන්නේ    බාධක දිවීමක්.. ඒත් මට , මං වගේ අයට ජීවිතේ බාධක දුවන්න වෙලා තියෙන්නේ කකුළ් දෙකක්  නැතිව...








මගේ ඇස් බොඳ වෙන්න පටන් ගෙන....මම ඇස් දෙක වහගෙන අනාගතේ දිහා බලන්න වෙහෙසෙනවා... මට පේන්නෙත් කළුවර විතරයි...එළියක් නැති කළුවරක්..
           

Comments

  1. මේ ලෝකේ කළු සුදු පාට වලට අමතරව තවත් පාට තියෙනවා. ඒක පිළිගන්න කැමති නැති එක කළු සුදු මිනිස්සුන්ගේ ආවේනික ලක්ශනයක් නෙවෙයි. පාට පිරුණු ලෝකයක් දිහා බලන එක අසම්මතයක් විදියට හිතන්න පුරුදු කරපු ලෝකෙක, සීමාවෙන් එහාට හිතන්න පුරුදු නැහැ එහෙම මිනිස්සුන්ට. විවෘත මනසකින් ලෝකය දකින්න පුලුවන් මිනිස්සු ඉන්න හෙටක් ගැන හීන දකින එක ඒ හීන පැල කරන එක ගැන අවංකවම ආඩම්බරයි.

    ReplyDelete

Post a Comment