දියසෙවළ
මම හිටියේ නිදාගෙන නෙමෙයි..රෑ අට කියන්නේ නිදාගන්න වෙලාවක් වෙන්න බෑ...රෑ කෑම කන්න, උණු චොක්ලට් කෝප්පයක් බොන්න, කකුළ් දෙක ලඟට කරගෙන රොමෑන්ටික් චිත්‍රපටියක් බලන්න වෙන් වෙච්ච වෙලාවක්..ඒත්, එළියේ හයියෙන් වහින කොට මුළු ගෙදරටම එළිය දෙන්න එකම ඉටිපන්දමක් විතරක් තියෙන කොට ඇස් ඇරගෙන කළුවර දිහා බලාගෙන නින්ද ඇවිත් යනකන් ඇඳේ ඉන්නවා ඇරෙන්න වෙන කරන්න දෙයක් අපි දෙන්නටම තිබුනේ නෑ...ඉටිපන්දමේ එළිය එන්න එන්නම වැඩි වෙනවා...
ඒ එළිය එයාගේ පියවෙලා නැති ඇස් වල කණිනිකා වල වැදිලා දිළිසෙනවා..බිම අහම්බයකින් වැටිච්ච තරු දෙකක් වගේ..එළිය වැඩි වෙලා එක පාරටම ඉටිපන්දම නිවිලා ගියා..
"ඔයා නිදිද?"
ඒ කටහඬ යාන්තම වෙව්ලන , දෙපාරක් කහින්න වගේ ගිහින් පිට වුනේ එයාගෙන්..
"හ්ම්ම්"
"අපි බියර් එකක් බොමුද?"
"ෆ්‍රිජ් එකේ ඇති කෑන් දෙකක්...ඒත් හීතල ගිහින් ඇති...දැන් ලයිට් ගිහින් පැයකට වැඩි මිස අඩු නෑ"
"කමක් නෑ"
මම කළුවරේම ඇඳෙන් නැගිට්ටා...ඉටිපන්දම් වාෂ්ප වල පිළිස්සුම් සුවඳක් විතරයි ඉතිරි..කළුවරට ඉඩ දීලා එළිය අතුරුදහන් වෙලා ගිහින්..
හිතේ සෝදිසියට හිතෙන් මග ලකුණු ඇඳගෙන ෆ්‍රිජ් එක ගාවට යද්දි දෙපාරක් කකුළ් වැදුනා කොහෙහරි..රිදෙන එක ගැන හිතන්න මේ වෙලාව හොඳ වෙලාවක් නෙමෙයි..ඇරත් තනියම කුස්සියේ ඉන්න කොට රිදෙන බව කාට කියන්නද..ඒ වෙලාවට තමන්ට විතරක් ඇහෙන්න 'ආව්' කියලා කියන එකේ පලක් නෑ..මම බියර් කෑන් දෙකත් අරගෙන ආයිමත් කාමරේට ගියා...
"මගේ කකුළ දෙපාරක් කොහෙද වැදුනා...රිදෙනවා"
"බියර් ගෙනාවද?"
එතකොට කකුළ වැඩිපුර ගැම්මක් අරගෙන රිදෙන්න ගත්තා...ඔයාට තිබ්බේ 'කෝ එන්න අත ගාන්න' කියන්න..නැත්නම් 'එළියක් නැතිව යනකොට ඔහොම වෙනවා' කියන්න...
"ඇඳේ බියර් හලන්න එපා...අපි බැල්කෙනියට යමු.."
"එළියෙ තාමත් වැස්ස...අකුණුත් ගහනවා"
"ඉතින් පොඩ්ඩක් තෙමුනම මොකද?මැරෙන්නේ නෑ තෙමුනට"
එයා ඒ වෙලාවෙ මගේ අතකින් අල්ල ගත්තා...අපි කළුවරේම බැල්කෙනිය උඩට ගියා...
"ඔයාට පේනවද?"
"ඔව්..සැරෙන් සැරේ අකුණු එළි වලින් ඔයාවත් පේනවා...කළුවරමත් නෑ වැස්ස නේද?"
"බියර් සීතල නැතිව බොන එකත් හොඳයි..."
එයා ලඟට ඇවිත් එයාගේ තෙමිච්ච පපුව ලඟට මාව තුරුළ් කර ගත්තා..මට දැනුනේ පාසි වගේ ලිස්සන ගතියක්..
"ඔයාගේ පපුවේ පාසි බැඳිලා..හරිම දියසෙවලයි"
"කාලෙකින් තෙමෙන්නේ...ෆෝන් එකෙත් බැට්‍රිය ලෝ නිසා..."
"මම මේ පාසි හූරලා අයින් කරන්නද?ඔයා නොදන්නවා වුනාට බියර් ගෑවිච්ච නියපොතු වලට පුළුවන් ඒ වැඩේ හොඳට"
"හ්ම්ම්"
මම බියර් කෑන් එක එක හුස්මට බීලා ඉවර කළා...හෙමින් හෙමින් මම එයාගේ පපුව සීරුවා...දිය සෙවල වැස්සට හේදිලා ගිහින් සිනිදු ගල් පතුරක් වගේ පපුවක් ඉතිරි වුනා...මම ඒ පපුවෙ ඔළුව තියාගෙන ඇස් වහ ගත්තා...කළුවර ගොළු වුනාට වැස්ස ගොළු නෑ...
"හෙටට අවුරුදු හතරක්..එකට ජීවත් වෙන්න පටන් අරගෙන.."
"කසාදයක් මොකටද?බොරු වියදම් විතරයි..."
"පොතේ රෙජිස්ටර් කළොත් ළමයින්ට හොඳයි නේද?"
"එහෙනම් ලන්ච් අවර් එකේදි යමු..ඒකත් ඉවරයි එතකොට"
"කසාදෙට හාෆ් ඩේ එකක් දාමු දෙන්නම..අත්සන් කරලා කෝපි බොන්න යමු..කෝ ඔයා බියර් එක බීලා ඉවර නෑ තාම"
"ඔව්..ටිකක් ඉතිරි..දැන් හොඳටම තෙමිලා අපි..අසනීප වෙයිද හෙට"
"එහෙනම් කාමරේට යමු ආයිත්..කකුළ වැදුනා කිව්වා නේද?රිදෙනවද එතන"
"රිදෙන්නේ නම් නෑ..ඒත් අත ගන්න එතන.."
අපි ආයිමත් කාමරේට යනකොට ලයිට් ඇවිත් තිබුනා...වෙලාව දහයත් පහු වෙලා..
"කෝ මගේ ෆෝන් එක..?"
"චාජරේ එක්ක ඇති"
"මම නිදා ගන්නවා...මට හෙට වැඩ.."
මම නිවිලා ගිය ඉටි පන්දම බැල්කෙනියෙන් පහළට අතැරියා..
වැස්ස පායලා...මමත් එයා ගාවින් ඇලවුනා...මම එයාගේ පපුව අතගාලා බැලුවා...ආයිමත් දියසෙවල බැඳිලා..දැන් ගොඩක් ඝනකමට
හරිම අමුතුයි
ReplyDeleteලියන්න තවත්
ආසයි කියවන්න
හරිම ලස්සනයි අමා
ReplyDeleteස්තූතියි තාරකාව
ReplyDeleteස්තූතියි වසන්තයට පෙර
^_^
නියමයි මචං. ඇත්තටම.
ReplyDeleteතැන්ක්යූ දිනේෂ් අයියේ :)
Delete