කැන්වසයක්මි

අවුල් වුණ කෙහෙරැලිය,හුලඟටත් පෙම් සිතක් මවන,
ඝන රැවුළට මුවා වුන මුවය,සිනහ නැති මුත් තෙත,
දබරයට බර'ගිල්ලය,පින්සලක බඳ බදාගෙන ඇත,
ඉතින් සිත්තරාන,මම බලාන ඉන්නෙම්,
කුමක් හෝ අඳින්න,මට දැනෙන්න


පෝස්ටර් පේන්ට් කුප්පියකි,අඩක් සිහිසුන්ය,
මදක් වලියට බර රතුය ඔහු,ඒත්
 ආසමත් ඒ ගතියට,
පින්සලත් හිස් තෙමාගෙන කැමැත්තෙන්,
රහස් කොඳුරන මුවාවෙන්,වැතිර ගනු හැටි,
වතුසුද්ද ම'මතට පෙරැත්තෙන්


පළමුව නොසන්සුන්ය නුඹ,දෙවනුව ගනු ලබන්නේ දිගු හුස්ම,
තෙවනුව මා කැමති පසස් සුලඟකි,
නුඹ උඩු රැවුළෙ හැප්පෙන,
පින්සලට නැත නිවනක් ඉතින්,
සිත්තරෙකු නිවන් දක්කනු පිණිස වෙහෙසෙනු මිස,


කාලයක් ගැන වගක් නැත,පින්සලට මෙන්,
මටද,
නුඹ නමට කැප වනු පිණිසම,
මවා ඇතිය මම,
සැකද?
අත ගා බලන්න,මගේ නළල


දැන් අහවරද පෙම්වත,
නුඹ හිතෙන් ගොඩ බහින ලද,
 "ඇය" වගේමද
 ඉතින් දැන්
 මම?

Comments

Post a Comment