සරෝජා
"සරෝජා ඉතින් කොහොමද?
අඳුන ගන්නත් ආසයි අපි,
පළවෙනියා නේද පංතියේ හැමදාම,
කොහෙද ඉන්නේ කියන්නකෝ අපිට,
හැව්ලොක් වල ෆැලැට් වලද,
අම්මා ශුවර් ටීචර් කෙනෙක් නේද?
තාත්තා ආර්මී?මම හරිද"
හැමෝම ඇවිත් පංතියේ,
පිටිපස්සටත් පිටිපස්සෙම,
මං ඉන්න බංකුව ගාවට
කෝටියක් ප්‍රශ්න වලට
ශෝට් ඇන්ඩ් ස්වීට් උත්තර දැනගන්න
"සරෝජා මං,දෙමළ සිංහල කවලම්,
කොණ්ඩේ මල් ගහන්නට ආසයි,හැබැයි ඒ අරලිය මල්,
ඉන්නේ මං කොරියාවෙ,
බේර වැව පේන මානේ,
කපුටු බෝ ගහක් මුළ කළුවරේ,
ටකරං මඩුවකුයි අපේ ගේ,
අප්පච්චි සුන්දරම්,සුන්දරයි අපිට නම්,
මුට්ට කර ගහනවා,කුලී වැඩ කරනවා,
ඉඳලා හිටලා බීඩියක් උරනවා,
හැමදෑම හැන්දෑවෙ බූන්දිත් ගේනවා,
අප්පච්චි සුන්දරම්, අපිට විතරක්ම ඉස්තරම්,
කොරියාවේ ප්‍රේමා,ඒ අපේ අම්මා,
අහේතුක කඳුළක් නිරන්තර,
ඇගේ එක කම්මුළක් ඉම්ඹා,
හැමදාම උදයේම නැගිටගෙන,
දර ලිපට ඈ හුස්ම පිම්ඹා,
හැලප වන්ඩු ආප්ප රස නැත නිම්මා,
හිස මතට අරගෙන කඩචෝරු,
දවසෙම දා කඳුළු වික්කා
කියන්න නම් විස්තර කොච්චරද,
අහන් ඉන්න ආසයිද කියන්න,
කවුරුත්ම අහන්නේ නැති එකයි දුක,
චන්දේ කාලෙට විතරයි කට්ටියට,
කණ් තියෙන වගවත් මතක,
අමතකයි පස්සේ කරුමෙට
ඉස්සරම කොටි ගහන කොට කොළඹට,
මතකයි අපේ ටකරං වහලට,
ගල් වැසි වැහැපු හැටි හරියට,
දැන් නම් නැහැ කවුරුත්,
මතක් කරන්නේ වත් නිකන්වත්
ඉතින් පිටිපස්සේම පිටිපස්සේ
පොළිමට ආයිමත් එනවද,
දන්නේ නැති වුනාට ඔයාලා
පිටිපස්සේ පොළිමටත්,
හොඳට පේනවා කළු ලෑල්ල!!
ප.ලි-
කිව්වොතින් මං මෙහෙම
මොනානම් හිතාවිද,මොනානම් කියාවිද,
හිනාවෙන් ගොළු වෙලා නොයිද,
මෙහෙම කියන්න තරම් මං මෝඩද!
Comments
Post a Comment