රතු පෑන

මම හැමදාම බලාගෙන හිටියේ සිත්තරෙක් ඇවිත් අහම්බෙන් පෝස්ටර් පේන්ට් කුප්පියකින් අළු සුදු මගේ ජීවිතය පාට කරාවි කියන බලාපොරොත්තුවෙන්...ඒත්, සිත්තරෙක් කෙසේවෙතත් පාර වැරදිච්ච පින්සලක් වත් හතර මායිමේ නාපු එක තමා දුක..මම අළු සුදු පාට කම්මුළට දකුණු අල්ල තියලා සීගිරිය වගේ තියෙන මුළු ඔළුවෙම බර දකුණු අතට බාර කලා...
එතකොටයි දැක්කේ බිම වැටුණු වචන අහුලන කවියෙක්...හැමෝටම පෑගිච්ච වචන පරිස්සමට එකතු කරලා පෝළිමට හිටවලා කවි ලියන කවියෙක්...සමහර වචන ආයිමත් කවියෙන් ඉවතට ඇවිත් මහ පොළවෙ වැලි කැට වුනා..
"ඔයා ලඟ වැරදීමකින් ගෙනාපු පෝස්ටර් පේන්ට් නැද්ද?"
මම ඩ්‍රිල් දිරපු ජනේලෙන් පරිස්සමට අත එළියට දාලා ඇහුවා...
"සමාවෙන්න නෝනා...මම වචන ඇහිදින කවියෙක්..මගේ ලඟ රතු බෝල් පොයින්ට් පෑනක් විතරක් ඉතිරියි...නෝනා ගාව වචන තියෙනවද?මහ පාරට විසි කරන්න හිතාගෙන ඉන්න...සමහරක්දාට ඇති.."
"මම වචන ගැන උනන්දු නැහැ...ඒත් මට පුළුවන් උදව්වක් විදිහට රෝස සුවඳ කඩදාසි දෙන්න..රතු පෑන ටිකකට විතරක් මට දෙන්න..අළු සුදු පාට මට යාන්තම් රතු වෙන්න"
හැමදේම කට වචනෙට සම්මත වුනා..කවියා දූවිලි වචන පාපිස්ස ලඟින් අතහැරලා රෝස සුවඳ කොළ වල කවි ලියන්න පටන් ගත්තා...මම රතු පෑනෙන් තොල් රතු පාට කර ගත්තා...ඇහි පිහාටු,කම්මුළ් අන්තිමටම හදවතේ හැම නහරයක්ම රතු පාට කරගෙන ඉවරවෙන කොට කවියා හිස් බැල්මකින් මං දිහා බැලුවා..
 "හැමදේම රතු පාටයි..දැන් ඔයා මැයි දිනේට ගෙනියන කොඩියක් වගේ"
 "ඉතින් ඔයාට පුළුවන් මාව මැයි දිනේට එක්කන් යන්න දැන්..එහෙම නෙමෙයිද?"
 "නොවැම්බර් මාසෙ!මැයි දිනයක් කොහෙද..අනික කෝ මගෙ රතු පෑන..?"
 "ඒක ඉවරයි..ඔයාගෙ රෝස සුවඳ කොළ වගේම"
කවියා කළබලෙන් පාපිස්ස ලඟට ගිහින් ආයිමත් වචන ඇහිද ගත්තා...රෝස කොළ පාපිස්ස උඩින් සීරුවට අතහැරියා...සමහරක් කොළ බිම වැටෙන්න කලින් අහසේ ටිකක් පියෑඹුවත් එක්ක..
 "ඔයා යන්න එපා..යනවා නම් ආයිමත් එන්න"
 "මම හොයන්නේ දූවිලි වචන...අනික මගෙන් අහන්නේ නැතිව පෑන ඉවර කරපු එක හරි වැරදි.."
"ඒත් මම හිතුවෙ ඔයා තියාගන්න දුන්නා කියලා..ඉතින් මම බලාපොරොත්තු වුනා...ඉවර කරන එක ඔයාගේ බලාපොරොත්තුව කියලා...ඇත්තටම!""
කවියා එයාගේ කළිසම් සාක්කුවෙන් කිළිටි වෙච්ච කවියක් අරගෙන පරිස්සමට මගේ අත උඩින් තිබ්බා...
මම දැන් කවියෙක් එනකන් බලාගෙන ඉන්නවා...රතු පාට ඇස් බොර පාටට හරවගෙන.

Comments

  1. කෙටිකතා වලටත් - මේ වගේ- හොද නමක් දැම්ම නං හරි වගේ..
    නිකං රේන්බෝ ෆැන්ටසි වගේ හිහි
    පට්ටයි මචෝ

    ReplyDelete
    Replies
    1. හී හී රේන්බෝ ෆැන්ටසි කියන එක නම් මරු !
      ස්තූතියි මහේෂ් :)

      Delete
  2. ලස්සනම ලස්සනයි............

    ReplyDelete
  3. මල්ලී උ‍ෙඕ කතා ලස්සනම ලස්සන ෆැන්ටසී වලට ඇදන් යනවා ජය!

    ReplyDelete

Post a Comment

Popular Posts