අම්මේ!

(නිහඬ මිනිස්සුන් මැදින් ඇවිද යමි,ගැඹුරු හුස්මක් දෙකක් ගනිමි.)


මේ තුන්මාසය,මතක වල හුස්ම හඬ ඇසෙන,
සොහොන කෙළවරක හරි නිහඬව,ඔත් ගසක
 මුල් වැතිරගෙන ,
අම්මේ! අපි නැතිව පාලුවක්, ඇත්තෙම නැද්ද?
මේ තරම් කාලයක් එක දිගට,නිදාගෙන කෝම,
අද මගේ උපන්දිනය කොට,වෙනදා වගේ රස්නෙට,
හාදුවක් දෙන්න, අදහසක් නැද්ද,


"අම්මා දැන් නැති එකට දුක නැද්ද?
ඇස් වලට කඳුළු නැත්තේ ඒකද"
සනුහරේ ඇවිත් මීට හරියටම,මාස තුනකට කලින් දවසක,
අහනකොට පුදුමයෙන් කට ඇරගෙන,ඔරවගෙන,
 "අම්මා නැති වෙන්නේ කොහොමද?
අම්මා ඉන්නවා හැමදාටම"
මම කිව්වේ යාන්තමට,හිනාවෙන ගමන්මයි උන්ට!


"අම්මා ලස්සන සුදු සාරියට,
අගස්ති මාලයත් ගැලපෙනවා හොදටම"
කිව්වා මතකද මන්දා ඔයාට,
මැද සාලේ හරි මැද,හරිම ලස්සනට,
හිටිය හැටි මතකයි මට,
හිනා වෙලාම දවස් තුනක්,
එක දිගට ඇස් පියාගෙන,




ඇහෙනවා නේද මාව,
සල් මල් වැටෙන තැනක මෙහෙම,
ඉන්න එක ලස්සන හීනයක් නේද,
ඉපදීම එක්කම ගුලිකරගෙන,
මරණයත් මොකට එනවද,අම්මලා එක්ක,
සල් මල් එහෙම නාහන එක,
මට තාම පුදුම,




අම්මේ!
මරණයකට පුළුවන්ද
 මව් බැම්ම දෙදරවන්න
 අපි එකට බැඳ තියෙන?


ආසයි එක වතාවක් හරි,
වෙනදා වගේ කුස්සියේ දර ලිප ගාව,
පොළොස් උයන ගමන් මට ඇහෙන්න,
 "අද පොළොස් පොඩි පුතාට"
කියනවා අහන්න!


අම්මේ!
කවදාම හරි දවසක
 මටත් මේ සල් ගහ යට,
ඔයා ලඟින්ම,පපුවට කිට්ටු තැනක,
ඉඩ ටිකක් ඉතිරි කරගෙන ඉන්න

Comments

Post a Comment

Popular Posts