ඉතින් මම දුක කියනු කොහොමද

දෙවිවරු ඇත
ගොළුව
කිසිත් නොකියාම
ගල් ගැහී පිළිම වල
දුම් ඉවසගෙන
කිවිසුම් තද කරගෙන
කළුවර කුටි වල සිරව

දෙවොලේ රට උළු
සෙළවෙයි,
කපුරු පෙත්තක්
කැමැත්තෙන්
නෙරළු හිස මත දැවී සුන්වෙයි,
දුක් අදෝනා උච්ච ස්වරයෙන් මිමිණෙයි,
දෙව් පිළිම මත ස්වර  ගැටෙයි,
බිම වැටෙයි,
කැබළි වී විසිර යයි!


කුදු ගැහුණ මලසුනට පිටදී මල්
කෝ කොහෙද විමසයි සමනලුන්
දෙවියන්ගේ ඇස් වලත් පහන් දැලි නිසාවෙන්,
මල් පරව දිනපතා මියයයි!!

තිරයකට පිටුපසින් සිටගෙන
දෑත් පය අකුළුවාගෙන ඉඳගෙන
සදාකාලික වෙන එකයි දඬුවම
දෙවියන්ට විඳවන්න හිමි වුන
ඉතින් මම දුක කියනු කොහොමද
දුකින් පසු වෙන තවත් කෙනෙකුට!!

Comments

  1. ඔලු කුරුවල් නොවු යථාර්තවාදි කවියෙක් දිගු ගමනක පෙර මග සලකුණු.!!!!!!!Aru.

    ReplyDelete
  2. //දුකින් පසු වෙන තවත් කෙනෙකුට!//
    මෙහෙම කෙනෙක් දුක හදුනනවා නේද?

    ReplyDelete
    Replies
    1. දුකින් පසුවෙන කෙනෙක්ට දුක කියන එකෙන් වෙන්නේ ඒ කෙනාගේ දුකට තව පොහොර දාන එක නෙමෙයිද...ඇරත් එයාගේ දුකට පිළියමක් නැතිව අපේ දුකට එයා පිළියම් හොයන්න වෙහෙසෙයිද

      Delete
    2. For sure... if he or she care about own gudness will definitely try, not only try will do.

      Delete
  3. අපූරු නිර්මාණයක්....
    ජයවේවා..

    ReplyDelete
  4. //දෙවිවරු ඇත
    ගොළුව
    කිසිත් නොකියාම
    ගල් ගැහී පිළිම වල
    දුම් ඉවසගෙන
    කිවිසුම් තද කරගෙන
    කළුවර කුටි වල සිරව

    //තිරයකට පිටුපසින් සිටගෙන
    දෑත් පය අකුළුවාගෙන ඉඳගෙන
    සදාකාලික වෙන එකයි දඬුවම
    දෙවියන්ට විඳවන්න හිමි වුන
    ඉතින් මම දුක කියනු කොහොමද
    දුකින් පසු වෙන තවත් කෙනෙකුට!!//

    නියමයි. නොදකින පැත්තකින් ලිවීමක් !

    කතාව ඇත්ත. ඇත්තටම ඔය කියන දෙවිවරු ඉන්නව නම්, කොයි තරම් නම් කරදරයක් ඇත්ද මිනිස්සුගෙන්. දුක් අඳෝනාම අහලා එපා වෙනව ඇති.

    ReplyDelete
    Replies
    1. ඒක ඇත්ත..දෙවිවරු වුනත් කැමති වෙයිද එක දිගට ප්‍රශ්නම විතරක් විසඳන්න..ඇරත් අනුන්ගේ

      Delete
    2. //ඒක ඇත්ත..දෙවිවරු වුනත් කැමති වෙයිද එක දිගට ප්‍රශ්නම විතරක් විසඳන්න..ඇරත් අනුන්ගේ//
      හහ්.... මෙන්න කතාව.

      අපි දායක පන්සලේ ස්වාමීන් වහන්සෙ මේ "සේවාව" කරනව. මිනිස්සු වෙනුවෙන් මිනිස්සුන්ගෙ දුක දෙයියන්ට කියනව. කාටවත් දොස් කියනව නෙමෙයි...ඒත් මිනිස්සු දෙයියො ළඟට ගේන ප්‍රශ්න හාමුදුරුවො මහ හයියෙන් පිරිස ඉස්සරහ කියද්දි හිනා නොවී ඉන්නෙ අමාරුවෙන්. දෙයියො කෝම හිනා නොවී ඉන්නව ඇත්ද...

      Delete
  5. දුක් අදෝනා උච්ච ස්වරයෙන් මිමිණෙයි,
    දෙව් පිළිම මත ස්වර ගැටෙයි,
    බිම වැටෙයි,
    කැබළි වී විසිර යයි!

    මේක තමයි යතාර්තය....

    මනු වෙසින් දෙව් ලොවින් බට දන
    පදික වේදිකාවේ යදින සඳ
    මිල කරන්න වෙර දරන ජීවිතය....
    නොදුටු විලසින යන්නෙමු,
    නොදුටු දෙවියන් පුදන්නට
    පඬුරු ලෙස මොණරුන් ගෙන....

    කදිම නිර්මාණයක් ! සුපිරි !

    ReplyDelete
    Replies
    1. මෙතූ ඔයාගේ කවියෙන් කියන කතාවත් ඇත්ත...දෙවියන් එක්ක අපිට වානිජමය නොවෙන ගණුදෙනුවක් තියෙන්න ඔනි

      Delete
  6. දෙවියන් පුදා කාටද අද හරි යන්නේ
    කපුවන් නොවේද දෙවියන් වී ඉන්නේ
    දෙවියන් අසරණව පින් ගන්නට ඉන්නේ
    ගන්න ඉන්න අයගෙන් ඇයි ඉල්ලනේ

    අපුරුයි, හබම වෙනස් කවියක්, ජය ඔබට.

    ReplyDelete
    Replies
    1. සොමියාගේ කවිය පට්ට!!
      ඇත්තම කතාව ඕක...ඇයි අපි නැති (එක්කෝ දෙන්න බැරි) කෙනෙක්ගෙන් දෙයක් ඉල්ලන්නේ

      Delete
  7. // දුක් අදෝනා උච්ච ස්වරයෙන් මිමිණෙයි,
    දෙව් පිළිම මත ස්වර ගැටෙයි,
    බිම වැටෙයි,
    කැබළි වී විසිර යයි!// පද පේලි ටිකට වැඩිපුර හිත ගියා

    අපූරු නිර්මාණයක්...

    ReplyDelete
  8. හිත ගිය බ්ලොගයක්. රහ වැඩි කවියක් :)

    ReplyDelete
  9. අමා කවිය හිතට දැනුනා. මගේ ජිවිතයේ ඒ වගේ තමන්ගේ දුක් තියාගෙන ඒවට උත්තරත් නැතුව අනිත් අයගේ දුක් තමන්ගේ කරගෙන විසඳුම් හොයලා, කරලා අනිත් කෙනාගේ සතුට දිහා බලාගෙන තමන්ගේ උත්තර නැති ප්‍රශ්න එක්ක දිවි ගෙවන දෙවියන් වන් මිනිසුන් මුනගැහිලා තියනවා. වරක් දෙවරක් නොව එය තම ආත්මය කරගත් මේ මිනිසුන් හරිම නිහඬයි...

    ReplyDelete

Post a Comment