පාවෙනා තරුවකටය..
"මම වෙනුවෙන් ලියන්න" යැයි කියූ පළමු වැන්නා නුඹ නොවන වග පවසමි..ඉතින් මේ සටහන සියළු ගැටපද ලිහා ගනිමින් සීරුවට කියවීමේ වගකීම ඔබට පවරමි..
බී අවසන් කෝපි බඳුන්'තර අඩක් ලියා අවසන් කවි ය, ලියා අවසානයක් නැති පතරංග කවිය,ප්‍රේමය,කා නමින් නම් කරන්න දැයි දෙගිඩියාවෙන් පසුවෙමි...විදුලි සංඥා ලෙස නුඹ වටා දැවටෙන මගේ සිනහව,එය පළුදුය,කිසිවෙක් නොවිමසන තරම් සීරුවට,කඳුළු ලාටු ගා අලවා ඇත්තෙමි...සබඳ නුඹ සවන ඒ පළුදු වලට සංවේදී නොවීම පුදුමයක් නොවෙයි..එය එතරම් ඉසියුම් වුව, මහත් වේදනා දනවන සුළුය...
සබඳ මම නුඹට මා හද මත කාලය සිතුවම් කළ දළ රූ සටහන්,අකුරු අමුණා ඇති ව්‍යාකරන වැරදි සටහන් පෙන්වමි..තුවාල වූ කවි වලින් ගැලූ ලේ සළකුණු පවා පෙන්වමි..බැලීම හෝ නොබැලීම නුඹෙ කැමැත්තය...මම නුඹට පෙනෙන ලෙස මා සතු ශක්තියෙන් හද ඉහළට ඔසවාගෙන සිටිමි..
මගේ පපුව රිදුම් දෙයි...ඒ ඇයි දැයි විමසන්නට කිසිවෙක්ම නොමැති විම, මේ රිදුමට වඩා රිදුමකි...මගේ ප්‍රේමය කිසිදාක නොදැකපු භූත ආත්මයක වෙනුවෙන් දන් දී දෑ වසරක්ය..ඒ භූතාත්මය කාලය ටික ටික දික්කරමින් මා වෙහෙසට පත් කරයි..මට උරහිසක් අවැසි මොහොතක, කමිස උරහිසකින් කඳුළු පිස දැමීමට අවැසි මොහොතක, ඔහු, නෑවිදින් සැඟව යයි... ඉතා දැඩි සීත වැළදගැනීමක් අවැසි විට පවා ඔහු නොපැමිණ මඟහැර නික්ම යයි..ඔහුව කිසිදාක මම දැක නැත්තෙමි..මම දන්නා එකම දේ මා ,ඔහු වෙනුවෙන් කාලය නිකරුනේ පුළුස්සන වග පමණි..
ප්‍රේමයේ හෙවනැලි පමණක්ම මා දැක ඇත්තෙමි...මගේ සිහින වළාකුළු මෙන් ඉහළය...සති අන්තවල තෝසේ කඩවල උඳු වඩේ හා සාම්බාරු සුවඳ විඳීමට මට අවැසිය...පේරාදෙනිය රොබරෝසියා ගස් යට පරව ගිය මල් වලින් සිහින ගැන විමසීම අවැසිය... සියළු දෑ ක්ෂ්ණිකව අතහැර පැතලි උරහිසක හිස හොවාගෙන කැමති කවි පද සෙමින් මිමිනිම අවැසිය..
නුඹ පැමිණියේම ඒ සියල්ලම මම කැමතිම පාට මල්ලක දමාගෙනය..මම තවමත් වික්ෂිප්තව නුඹ ගැන මනස වෙහෙසවමි... නුඹ පැමිණියේ කොහෙ සිටද??අර පේන නිහාරික දූවිල්ලේ සිටද.. නැතහොත් කඩා වැටෙන තරුවක වල්ගාවක සිටද.
.
ගිටාරයේ තන්තු පෙළන හඬ හා මුසුව ඇසෙන නුඹෙ හඬ,මා හදවතේ තනුවට සමාන්තරව වැයෙන හැටි!!නුඹ ගයන විට මම සිත සෙමින් සූරමි...නුඹ බාගදා නොදන්නවා විය හැකිය... නුඹේ හඬ ඔහු නමින් නම් කළ බොහෝ කඳවුරු පුපුරවා හැරිය වග...නමුදු නටඹුන් එහෙම්මමය..මට කාලය බොහෝ සේ අවැසිය..
නුඹ හිස තබාගන්න උරහිසක්ද,ඇවිදින විට අල්ලා ගන්න දෑතක්ද හා කාලය නැමැති වියළුණු මලක පෙත්තක්ද මා නමින් වෙන් කිරීමට සිටින වග දැනෙයි..මමද සිහිනයෙන් අවදිව නුඹෙ අත අල්ලාගෙන පේරාදෙනිය වලේ මනමේ බලන්නට ආසාවෙන් සිටිමි.. නමුදු මම බියෙන් සිටිමි... අහේතුකව මම බියෙන් සිටිමි...
ඉගිල යන කදෝකිමි තරු සිටින අමාවක කළුවරක,නුඹෙ උරහිසට බරව , ගිටාරයේ ස්වර කම්පනයන්ට දැහැන් ගත වෙමින් අතීතයට පිටුපා සිටගන්නට මම ආසා කරමි...ආසාව අනෙක් සියළු ආසා මෙන්ම බිඳී විසිරී ගොස් නැවත හදවත තුවාළ වුවොත්??..ඒ නිසා මම නිරුත්තරව පසුවෙමි
ටික කලක සිටන් මා අමතක වන බව දැනුනා
ReplyDeleteඅද මට නොදැනිම මගෙ දෙනෙතට කදුළු පිරෙනවා
පිපි මලක් එලෙස මහ වන මැද මා පරවී යනවා
ළං වී සිටි ඔබ මාගෙන් ඈතට ඉගිලෙනවා
දුක සෝකය මා හට නම් පුරුදුයි හැමදාම
ආදර වදනින් මා හද පෙළුවේ ඇයි මෙලෙස
සමුගන්නට නම් අහිමිවු ආදරයෙන් මෙලෙස
ඉවසම්ද මා කෙසේ සොදුරියේ මේ දුක කෙළෙස
මා ඔබ ගැන අහිතක් නොසිතමි මින් කිසිදාක
ඔබ තුටින් සිටී නම් මට සැපතකි හැමදාම
ආදරයක ඇති වේදනාව දැනෙනවු දාක
සිහිවෙයිද මගේ සොදුරියේ බිදුවක් යළි මතක
https://www.youtube.com/watch?v=EQ3OAzFYfiE
හදවත තුවාළ වුවොත්??..ඒ නිසා මම නිරුත්තරව පසුවෙමි :( හිත හීනියට රිදුනා ..
ReplyDelete