අම්මා


කළුපාට යනු කළුවරට දෙන තවත් එක් සමාන පදයක්ද යැයි මම නොදනිමි..නමුදු මා මතක අහුලන සමයේ සිට අඳුනන කළුවර කළු පාටය...කවුළුවෙන් පිටත වැසිද , බොහෝ වෙහෙසීමෙන් පසු අහස හෙලන අනෝරා හුස්මද කවුළුවෙන් පිටත කළබවමින් කවුළුවට වහාම ඉහළින් ඇති ලැටිස් අතික්‍රමණය කරමින් සිටියි...හැමදේම කිව නොහැකි තරමින් හිස්තැන් සහ පළුදු සහිතය...මම බිඳී ගිය අසෝක වීදුරුවක් මෙන් රතු සිමෙන්තිය මත වැතිරගෙන කාණ්දු වෙන ශීතල කම්මුළ් වල ගෑවෙන මෙන් සිටින්නෙමි..

අකුණු දිළිසුම් සහිත එළියක්ව පැමිණ වහා පිටව ගිය පසුව අහස උගුර පාදන ඒ හඬ ඇසෙයි..ඒ හඬ සමඟ අත්වැල් ගායනය ජනෙල් වීදුරුය..මම ගොරවනවාට බිය නැත්තෙමි..මම බිය වූ දේ සිදුවී අවසන්ය..


මා ඇඳන් සිටින සායද , හැට්ටයද අම්මාගේ බව කිවයුතුය..අම්මා යනු කවුරුදැයි කවුරුන් හෝ ඇසුවහොත් මම  ගොළු වෙමි...අම්මා යනු අම්මාය...අම්මාට වෙන ආදේශක නැතේය..මව් කිරි වෙනුවට එළ කිරි දුන්නාට මව වෙනුවට වැස්සියෙක් ගත නොහැක්කේය...එය මහා පුදුම සහගතය...එමෙන්ම ගුප්තමය උණුසුමක්ය!!

අම්මා මේ හැමතැනම තැවරිලා සිටී දැයි මට සැකය...අතුගාන විට පවා අම්මා කෙස් රොදක්ව හෝ කොස්සේ විත් ඇලේවි යැයි හිත කියයි...අම්මා දැන් මොනවා කරනවා ඇද්ද, වෙලාවට කාලාද යැයි පවා මම නොදනිමි..අම්මා ඉඳහිට මදුරුවෙක් මැරුවාට දිව්‍ය ලෝකයට ගිය බව සිතන්නට කැමැත්තෙමි..අම්මා පල්ලියේ වහලයේ ඇන්ඳ දේව දූත සිත්තමක් වී ඇද්දැයි සිතෙයි...මේ හත් වෙනි දවස...නුඹ හැමදේම අතහැර, දිරාපත්ව සැනසීම සොයා ගොස් මේ හත් වෙනි කළුවර..

මම නුඹ වෙනුවෙන් අඬන්නට බියවෙමි...නුඹ මම අඬනවාට මට වඩා බියය..මම ඒ නිසාම ඇඬිය යුතු අවස්තාවල තදින් සිනහ සෙමි.."අම්මා අන්ත්‍රා වෙලා" යැයි දැන ගත් මොහොතේම මම ඇඬුම් නවතාගෙන හදවතින් පුපුරා ගියෙමි..ඒ පිපුරුමේ ගිනි දැල් සදාකාලිකව ඉතිරිය..මම දැවෙමින් සිනහ සෙමි..නුඹ නිසාවෙන් සිනහසෙමි..

අම්මේ!!මව් කුසේ සිටි සමය ගැන මට කිසිම මතකයක් නැති බව ඇත්තය..නමුත් කුස මත මැද්දා පෙදෙසට වන්නට නුඹ හා ඇතිකරගත් බැන්ධනයේ සඳාකාර කැළල සිත කොනිත්තමින් මව් කුස සිහි කරවයි...අම්මාගේ කිරෙන් බර පපු පෙදෙස අතර සිඟිත්තෙක් මෙන් සිටි අයුරු මට මවා ගත හැකිය..මම නුඹෙන් උපන්නෙමි...නුඹ මම නිසාවෙන් උපන්නෙමි..

මේ ඝන තිර රෙදි අතර නුඹ නැවත ඒවි යැයි මා සිහිනයන් කුරුටු ගා ඇත්තෙමි...අම්මා නැවත ආපසු සවර්ගයට යෑමට ඉඩ නොදෙන්නෙමි...අම්මා නැතිව මට පාලුය...මේ වැස්ස අවසන් වෙන්න ඉස්සර අම්මා ආවොතින් හොඳය!!

Comments

  1. හපොයි මෙහෙමත් ගින්දරක්, බරක් දැනෙන ලියවිල්ලක් !

    ReplyDelete
  2. ප්‍රේමවන්ත මව.....
    ලස්සන වැඩක් මචෝ

    ReplyDelete
  3. තැන්ක්යූ උපේක්සා අක්කේ
    තැන්ක්යූ රසික :)

    ReplyDelete
  4. ඇත්තටම සුපිරිම පොස්ට් එකක්.
    Mangala

    ReplyDelete
  5. ඒක හරිම ලස්සනයි අමා

    ReplyDelete

Post a Comment

Popular Posts