පබවත

ජයම්පතීලා පෝළිමක්ම හිටියා සීරුවට...මට තිබ්බේ වෙදඇඟිල්ල දික් කරන්න විතරයි...පස්සේ කැමති නම් දීග යන්නත් පුළුවන්..ඒත් මොකක්දෝ මන්දා මගෙ ජානයක අවුලකට මට ඒ හැම ජයම්පතී කෙනෙක්වම පෙනුනේ ඉමිටේෂන් මාල වගේ...එක් කෙනෙක් ඩොක්ටර් කෙනෙක්..රජයේ රෝහලක අධ්‍යක්ෂක පට්ටමක් හිටන් තිබ්බා...අම්මා කිව්වෙම ඩොක්ටර් ජයම්පතී දිහාවට වෙද ඇඟිල්ල දික් කරන්න...අනිත් කෙනා ලෝයර් ජයම්පතී...සල්ලි වකාරෙක ගිලිල හුස්ම හිර වෙච්ච ගානට බිසී එයා...ඔය පෝළිමේ මුලටම හිටපු දෙන්නා...හැමෝම එකයි...ලස්සන වුනාට පිත්තල වගේ...ගනන් පෙනුම වුනාට සීයේ කෑළි වගේ..

"මේ මැයි මාසේ නැකත් තියෙන මාසේ...ඔය ජයම්පතීලා සැට් එකෙන් එකෙක් තෝර ගත්තා නම් මම අලුතින් ගත්ත ඔයිල් සාරිය ඇඳන් එන්නත් තිබ්බා මඟුලට"

ඔෆිස් ගිය වෙලේ ඉඳන් අල්ලපු කැබින් එකේ මිසිස් පාලියන්ගොඩ , අමතක වෙලා යාවි කියන අස්ථාන බයකින් වගේ ඔය කතාව මතක් කරනවා..මට තාම හරියන උත්තරයක් ගැන හිතා ගන්න බෑ...ඒක සීරුවට හිතන්න ඔනි උත්තරයක්..එක උත්තරෙන්ම එයා කොර වෙලා යන්නත් එපැයි!

මම නිතර නිතර යන තැනක් තමා මහජන පුස්තකාලය...සාමාජිකත්වෙ ගන්න එක වස අමාරුයි අෆ්ෆා...අර වරිපනම් මේ වතුර බිල් අර අත්සන මේ අත්සන..කීයක් කියලා ෆෝම්ද...අන්තිමට ෆෝම් එක පුරවලා ගිහින් දුන්නම පුස්තකාලේ ගෑනුන්ගේ ගෙම්බර් එකදාස් නවසිය අනූවම බලන්න වෙනවා පොතක් දෙකක් ගන්න...මොනා කරන්නද ඉතින් ලංකාව නෙහ්!


ඔෆිස් ඇරිලා පුස්තකාලෙට ගොඩ වෙලා දූවිලි තට්ටු පිටින් පුරවලා තියෙන රාක්ක වල වැරදීමකින් වගේ අතරින් පතර තියෙන නවකතාවක් දෙකක් අතට අරගෙන ජනේලය ගාවම තියෙන තනි පුටුවකින් වාඩි වෙලා ඉන්න එක දෛනික දින. චරියාවේ ප්‍රධානම අංගයක් වෙලා තිබ්බා...පොත් වල දූවිලි හෙමින් තට්ටුවක් දාලා ගසලා මේසය උඩින් දිග ඇරගත්තාම යන්න කියන කන් නැගිටින්න හිත් දෙන්නෙම නැති තරම්..පස්සෙන් පහු පුස්තකාලෙට ගියේ පොත් කියවන්නම නෙමෙයි..අන්න ඒකයි මට තාම හිතා ගන්න අමාරු කාරණාව!
පුස්තකාලේ ගැන කිව්වේ මම පොත් කියවන බව අඟවන්න විතරමයි...දැන ගන්න!! මම නවකතා පොත් සූපු කරලා චිකන් කටු වගේ බරබර ගාලා හපලා කාලත් තියෙනවා...ජයම්පතීලා පුස්තකාලේ යන්නේ නෑ..එයාලව හොයන් පුස්තකාල යනවා මිසක්!


ජයම්පතීලා පොදු ප්‍රවාහන සේවා පාවිච්චි කරන ජාතියේ පිරිසක් නෙමෙයි...එයාලා පොදු දේවල් වලින් ගොඩක් ඈත හරි පෞද්ගලික ජීවියෝ...මම නම් ආසම කෝච්චියේ යන ගමන් දවස් ගානක් එක දිගට බැදපු පරණ වඩේ කන්න..නෑ ඉතින් විස්සට දහයක්ම හම්බෙන එකේ පාඩුවකුත් නෑ...ඔය පරණ වඩේ කන්න දොළ දුක් පහළ වෙච්ච දවසක තමා මගේ හිත හරි මැදින් හයිවේ එකක් හැදෙන්න පටන් ගත්තේ..

එයාගේ කොණ්ඩේ බෙංගාල බොක්ක වගේ කැළබෙමින් අවුලෙන් අවුලට යමින් තිබ්බා...ඇස් සෘජුකෝනාස්‍රාකාරයි...දත් දෙකක් තිබ්බෙ යාන්තම් ඇදේට..මම ඉඳන් හිටියේ එයාගේ උරහිස මගේ උරහිසේ ගෑවෙන තරම් ලඟින්..අමුතු දාඩිය උෂ්ණයකුත් ආවා...දාඩිය දාන එක මනුස්ස ස්වභාවය..ඒක නම් මට අපුලක් වුනේ නෑ..කුස ඇඳන් හිටියේ කමිසයක් දිග රේල් පීලි වලේ ඉරි වැටිච්ච...

එක පැත්තකින් ආපස්සට ආපස්සට දුවන මහ මුහුද...අනිත් පැත්තෙන් ඇස් ලොකු කරගෙන ඉන්න මම... එයා හිටියේ මේ දේවල් ගැන වගක් නැති ගානට..අඩුම ගානේ මම පාවිච්චි කරන ගාඩ්නියා මල් සුවඳ ගැනවත් සෝදීසියක් නැතිව...එයාගේ වම් අතට හාන්සි කරගත්ත ජංගමය හරහා ඇඟිලි ගල් කටුවෙන් ෆේස් බුක් කැටපත් පවුර උඩ මොනවද හූරන බව දැක්කම, සංසාර පුරුද්දට වගේ අරන් එන "කුකුස" ඇවිස්සිලා හොරෙන් ඒ දිහා බලන්නම හිතුනා...ඉතින් ආයිත් දෙපාරක් හිතන්නේ මොකටද..මමත් හොරෙන් බැලුවා..

"අල්ලපු අසුනේ වෙළඹකි
ගාඩ්නියා සුවඳ සුසුම්ලන
මූදු ගිය කපුටු තෙම මම
වෙළඹ සුසුමකට හසුව නැවතුන"

හිතන්නත් කලින් ඒ කවිය අන්තර්ජාල සුලඟට ගහගෙනා ගියේ මගේ මුලු සරුවාංගයම අන්තර් ජංජාලයක් කරන ගමන්..මම හෙමින් එයා දිහා බැලුවා..නෑ නෑ..බැලුනද මන්දා...එයා ඇස් පුංචි කරගෙන ඔහේ බලාන හිටියේ මං දිහා...ඉස්සරහ ඇද වෙච්ච දත් පෙන්නලා හිනාත් වුනා...

"කවි වලට ආසද?"

"ඔව්..ආසයි..සොරි..මම ඕක කියෙව්වා හොරෙන්"

"කමක් නෑ..මටත් වඩේ එකක් දෙනවද?"

"දෙකක්ම ගන්න...එකක් මදී නේද!"
*******************************************
මම දැන් දොස්තර ජයම්පතීගේ නෝනා...මිසිස් පාලියංගොඩ මට දැන් කතා කරන්නේ මැඩම් කියලා...මට හිතට මොකක්ද වගේ වුනා මුල් දවස් වල..දැන් නම් ගානක්වත් නෑ..ජයම්පතී පැය විසිහතරෙම වැඩ...පාන්දර පහට ඉස්පිරිතාලෙට ගියාම ආයිමත් ගෙදර එන්නේ ප්‍රයිවට් කරලා මහ රෑට...එනකොට එයා එන්නෙම මහන්සී කියාගෙන නිදා ගන්න...බාගදාට මම  එයා එන්නත් කලින් නිදා ගන්නවා...උදේ නැගිටින කොට එයා වැඩටත් ගිහින්...දැන් හරි පුරුදුයි එව්වා...සල්ලි නම් තිබ්බා හරියට..කැමති නම්  පුච්චලා අළු නළලේ ගා ගන්නත් පුළුවන්..අම්මා කිව්වා හරි.. කුසව බැන්දා නම් සතියක් ගානේ සැලුන් යන්න සල්ලි කොහෙන්ද...දවල් කාලෙම මම තනියම...ගොඩක් තනියි වගේ නම් කුසට කෝල් එකක් දීලා ජයම්පතී මැදුරට ගෙන්න ගන්නත් පුළුවන්...එහෙම ආවම එයා යන්නේ රෑ වෙලා...ඒ දවස් වලට බර වැඩ කරලා වගේ මහන්සියි...

ජයම්පතීගේ යාලුවන්ගේ පාටී වලට මාව වරද්දන්නේ නැතිව එයා එක්කන් යනවාමයි...උගත් ලස්සන නෝනෙක් කියන්නේ හරියට රත්තරන් බොත්තම් වගේ...කෝට් එකේ ලස්සනට ගහගෙන යන්න පුළුවන්...මමත් හරි කැමති ඒකට...ජයම්පතීත් හරි කැමතියි ඒවට..

කුස ගොඩක් කවි ලියන්නේ මං ගැන...එයාගේ පපුව පුංචි සිංහරාජයක් වගේ...ඒ පපුව උඩින් කන තියා ගත්තාම කැළෑවක දෝංකාරය පවා ඇහෙනවා...එහෙම අහගෙන ඉන්න මටත් කවි ලිය වෙනවා...මම එව්වා කුසට දික් නොකරපු වෙදඇගිල්ලෙන් එයාගේ පිටේ ලියනවා...ජයම්පතී වගේ නෙමෙයි කුස...කුස වගේ නෙමෙයි ජයම්පතී...ඔය දෙන්නම හිතන් ඉන්න කෙනත් නෙමෙයි මම...හැමදේම හොඳින් සිද්ද වෙලා කියලා හිතුනත් ඇයිද මන්දා කොහේ හරි තැනක් වැරදියි කියලා තේරෙන්නේ...මම හිතනවා වැඩි ඇති!!  

කුස කවි ලියලා ලඟදි පොතකුත් ගහන්න ඉන්නේ...මම එයාට මගේ පොකට් මනී ටික දුන්නා වැඩ ටික කරගන්න කියලා...ඉතිරි සල්ලි වලින් එයා මට ලස්සන ඩයරියකුත් ගෙනත් තිබ්බා...පළවෙනිම පිටුවෙන් ලියන්න බෑ..ජනවාරි පළවෙනිදා ගෙවිලා දැන් ගොඩක් කල්...අද දවසට වෙන් වෙච්ච පිටුවේ කුස කවියක් ලියලා...

"ප්‍රිය පබවත,
වයර් කෝඩ් එකක් තරමට
දිගම දිග සංසාර ජංජාලෙ
නුඹයි මගෙ කැඩපත
කැවුම් නහයක සළකුණ
නිරන්තර සිහියටම කැඳවන

පබා හිමි කුසට
ඒකයි නේද නියමය!
නියාම කඩුලු
බුල්ඩෝසර් කලේ මොණර කොළ
අන්න ඒකයි හිතට දුක!

පබවත
සී මැදුරු කවුළුවෙන් එපිටට
ජයම්පතී අතහරින්න,

මම තාම
පියගැට පාමුළ"

Comments

  1. මම හිතන්නේ මම ආපු පලවෙනි වතාව වෙන්න ඇති, මම දැනන් හිටියේ නැහැ විසල්ට බ්ලොග් එකක් තියෙනවා කියලා. මම ඉතාම රසවිඳපු කතාවක්. සාමාන්යෙන් මම බ්ලොග් වලට කොමෙන්ට් කරන්න හරි කම්මැලියි. ඒත් මේ කතාවට මට කොමෙන්ට් එකක් නොදා බැහැ කියලා හිතුනා.
    අපි හැමෝගෙම ජීවිත වල ඔය චරිත ඔක්කොම ඉන්නවා. මටත් පබාවතියක් හිටියා. මම කාලයක් ජයම්පති කෙනෙකුත් වෙලා හිටියා, ඒ වගේම මගේ අතීතයේ මම කුස ගේ චරිතයත් රඟපැවා. මේ ඔක්කොම මතක් උනා මේ කතාව කියවද්දී.
    කිව්වා හරි තමා මේක වචනයේ පරිසමාප්ත අරුතින්ම පබවතක් තමා. ගොඩක් ස්තුතියි ලස්සන කතාවක් ලිව්වට.
    ජය!

    ReplyDelete
    Replies
    1. ජීවිතේ කියන්නේ අපිට හම්බවෙන මිනිස්සු, අපිව හම්බවෙන මිනිස්සුන්ට ලිශාන්...හීන සාප්පුවට ගොඩ වුනාටයි මගේ කතාව කියවලා ඇගෙව්වාටයි ගොඩක් ස්තූතියි ^_^

      Delete
  2. මිනිස් ජීවිතයේ දී අපිට ලැබෙන්නෙ අපි ගොඩක් නොපතන දේවල්...එත අපි එව පතන දේවල් විදිහට වෙනස්කර ගන්නව....අන්තිමට අපි දන්නෙත් නෑ ඒව අපි නොපැතුව කියල.....ජයම්පතීල හොදයි....කුසලත් හොදයි......පබාවතීලත් හොදයි.....නොලැබීම් වලට වඩා අපි ලැබීම් වලට ආස හින්ද ලැබීම් පස්සෙ අපි යනව....ලැබීම් නොලැබුනහම නොලැබීම් ලැබීම් කරගන්නව.....

    ගැහැණිය සහ පිරිමිය හැකි සෑම අවස්තාවකදීම ආදරය සොයා යනව....ඒත් ඔවුන්ට මතකයි ලැබීම් තමන් පතන විත්තිය එක හින්ද ඔවුන් සල්ලි පිටුප ආදරය පුද දෙනව....ඉතින් හැම ලැබීමක් හා නොලැබීමක් අතරෙම,ජීවිතයක් අතරෙම ඔවුන් සාර්තකයි......පබාවතී ආදරය විකුනනව.....තමන්ගෙ ඉගනීම මත,රුව මත,සහ ආදරය මත.....ජයම්පතීට සහ කුසට....

    ලස්සන ගෙත්තමක්.....ලස්සන නූලෙන්.....හීන් ඉදිකට්ටෙන්.....ලස්සන රටාවකට ලස්සන ගෙත්තමක්.....ජයවේවා!!!!!

    ReplyDelete
    Replies
    1. රසික ඔයාගේ කියවීම ගැන ඇත්තටම සතුටුයි ^_^ ගොඩක් ස්තූතියි

      Delete
  3. මේ චරිත අනාගතයේත් ඉදිවී,,,

    ReplyDelete
  4. මරු මලයා.. දිගටම ලියන්න.විශිෂ්ට නව අර්ථකථනයක්..

    මේක කියවද්දි මේ ගීයත් සිහියට නැඟුණා.රත්න ශ්රීගෙ අර්ථකථනය ජයම්පතීගේ ඇහෙන්..
    https://www.youtube.com/watch?v=vgoyJwQJDtA

    ReplyDelete
  5. Replies
    1. අනේ මේ මුකෝ උපේක්සා අක්කේ :(

      Delete
  6. තැන්ක්යූ වැසි දැරිය ^_^
    තැන්ක්යූ ලලිත් 😊

    ReplyDelete
  7. සුලබ කතා තේමාවක්.. අපූරු ලිවීම් රටාවක්... ලස්සනයි..

    වැඩි වැඩියෙන් ලියන්න. කියවන්න. මේ හැකියාව මුවහත් කරගන්න. අනාගතයට ඉතාම හොඳ ලේඛකයෙක් බිහිවේවි...

    ReplyDelete
    Replies
    1. තරූ අක්කේ ගොඩාරියක් ස්තූතියි

      Delete
  8. කතාව ඉදිරිපත් කරපු විදිහටයි මම වැඩියෙන්ම කැමති.

    ReplyDelete
    Replies
    1. තැන්ක්යූ දිනේෂ් අයියේ ^_^

      Delete
  9. ආසාවෙන් කියෙව්වා. අමුතු සිත්ගන්නා සුළු ස්ටයිල් එකක් ඔයාට තියෙන්නේ.

    මේ කොටස මරු

    //උගත් ලස්සන නෝනෙක් කියන්නේ හරියට රත්තරන් බොත්තම් වගේ...කෝට් එකේ ලස්සනට ගහගෙන යන්න පුළුවන්...මමත් හරි කැමති ඒකට...ජයම්පතීත් හරි කැමතියි ඒවට..//

    අදයි බ්ලොග් එකට මුලින්ම ආවේ. අද ඉඳලා හැම පෝස්ට් එකක්ම කියවනවා. දිගටම ලියන්න. ජය !

    ReplyDelete
    Replies
    1. හීන සාප්පුවට ආදරෙන් පිළිගන්නවා... ගොඩක් ස්තූතියි ^_^
      දිගටම හීන රහ බලන්න එන්න

      Delete
  10. Samahara wita pabawathigei kusagei bandanaye pawethma rendune jayampathige monara kola uda wennath puluwan needa ? Jayampathita kusata wage pabawathita kavi walin lan wenna beri unata prayogika lookedi eya monara kola wenuwen karana shrama diya kireema pabawathi wenuwen gayana nihanda pem kaviya wenna berida ? Kusa aththatama pabata pem karanawada nettan paba kiyanne kusa liyana thawat eka kaviyakata vasthu beejayak witharak wenna puluwan da ? Pabawathige lassana witharak nan kusawa kusa kenek krnne , jayampathi saha kusa athara athi wenasa mokakda ? Kusa asammathai Jayampathi sammathai , sammatha dee athule lassanak dakinna ber kama nam kusage asammathaya lassana karanne ..... ?

    ReplyDelete

Post a Comment

Popular Posts