ගින්න


බෝ මළුව ශෙවේත කෙස් ඇත්තියක්  ඉදල් ඉරටුවලින් සූරමින් සෙමින් බෝධි පූජා කවි මුමුණයි...බෝධීන් වහන්සේට සම්මුඛව බෝ පතක හැඩය ගත් පහන් වැටක්ද ඊට පියවර දහයක් වම් පසට වන්නට මලසුනකද සියළු සංස්කාරයන් අතහරිනුදෝ අතනොහරිනුදෝ යයි දෙගිඩියාවෙනි..

"කලකිනි බුදු කෙනෙකුත් උපදින්නේ" උස් පහත් වන ස්වරයන් අතර ගයන්නේ කිනම් බෝ කොළයක්ද..අතු අගිසි වල ලා ලෝහිත තුරුණු පතක්ද..නැත්නම් නටු අගින් පරිනිබ්බානයම ප්‍රාර්ථනා කරන වියපත් පතක්ද...බෝ මැඩ අසල දොහොත් මුදුනින් වැලි පුරවා ගත් ශිලා ටැඹක් දැවෙමින් සුවඳ දෙන සඳුන් කූරු දරාගෙන ඉවසයි..දුම් වැදුන තැන් අඳුරු පැහැති මුත් දුම නම් සුවඳවත්ය ; ශ්වේත වර්ණය..
මම පත්කඩ වැලි මළුව මත දිග හැර දණ නමා වැද වැටුනෙමි..ඇරඹුම සුපුරුදුය..එනම් "නමෝ තස්සය" මුලටය..

ගාථා සෙමින් මුවින් ගිලිහී මදින් මද දියවෙමින් කොහේදෝ පාවෙමින් යනු ඇත...මම ගාථා අවසන සෙමින් ඇස් පියා ගත්තෙමි...අර්ධ පරියංකයට සිතද රැගෙන ආමි..

"උපේක්ශා  මෑණියෝ..අන්න ලොකු මෑණි කතා කලා"

හිස පිටුපසින් ඒ වෙව්ලන කටහඬ කිරි අම්මාය..අපේ තනිකම මකන මකනය ඇයය..අපේ පාතරසය ලිප තබන්නේද ලිපෙන් බාන්නේද ඇයය..

ලොකු මෑනියන්ගේ කුටියට යන අඩි පාර,පාෂාණභූතිය, දෙපස ඒකවාර්ෂික හතර කණිසම මල් පේළි දෙකක්ය..මල් පිපෙන මෙවන් හැන්දෑ වරු වල හිත නවාතැන් ගනුයේ නාසාග්‍රයේ එල්ලීගෙනය..

ලොකු මෑණියන්ගේ ආවාසයේ එක පියනක් විවර වී ඇත..ඒ මා සඳහා දැයි නොදනිමි..

මම දෙපා පාපිස්නාව මත අතුල්ලා උගුරේ රැල් බුරුල් කළෙමි...මෑණියන් සෙමින් කුටියෙන් පිටතට පැමිණ ඉදිරි පස වහළයෙන් එල්ලී සිටින චිමිණිය දල්වන්නීය..චිමිණි එළිය මන්ද්‍රය..නමුදු ලොකු මෑණියන්ගේ මුහුණේ ඇඳි කාල රේඛා අතර ඇති ගැඹුරු ඛාතයන් පවා උලුපවා පෙන්වයි..

"ලොකු මෑණියෝ..මට එන්නය කිව්වේ?"

"ඔතනින් ඉඳගන්න උපේක්ශා මෑණියෝ"

ලොකු මෑණියෝ එක අතක් සමතල ගොම මැටි පොළව පෙන්වයි..ඇය සිටියේ හාන්සි පුටුවක හාන්සි වී ගෙනය..

මම සීරුවට සිවුර එකතු කර පොළව මත බර තබා හුස්මක් ගතිමි..ලොකු මෑණියෝ මේ තරම් දිරාපත්ව  සිටිනු මීට පෙර මා දැක නැත්තෙමි..ඇය දිරාපත් වෙමින් සිටියි..මම තුන් හිතින්ම වියලිලා බියවෙමින් සිටිමි..

"උපේක්ෂා මෑණියෝ..හෙට පහළ ගම සුරංග මහත්තයාගේ ගෙදර දානයක්..මට බැරි වෙයි වඩින්න එච්චර දුරක් නම්...ඔය ඇත්ති වැඩියොත් මට සතුටුයි"

මෑණියෝ මගෙන් පිළිතුරක් බලාපොරොත්තු නොවෙන බව මම දනිමි..නමුත් මා හිතද පයද පැකිලෙයි...මම බියෙන්මි..යලියලිත් සලිත වෙමින් දියවෙමි..

මා මගේ කුටියට ගොස් දොර වසා ගතිමි..භාවනාවට හිත නොසන්සුන්ය...වැල් ඇඳ උඩ හාන්සි වූයේ ඒ නිසාය..
*******************************************
ඒ සමය වසන්තයක් දැයි මම නොදනිමි..නමුත් මා පියවිය අමතක කරගෙන සිටිමි..මම උන්නේ දෑස තදකර වසාගෙනය..මට මුහුද කෑ ගසන හඬ අතර පිරිමි හුස්මක් හඬ ඇසෙයි..ඒ සුරංගගේ දුම් ගඳ  හුස්මයි...ඇඳක චිරි චිරියක්ද ඇසෙයි..නැවත නෑසී යයි..

"ජනේලෙන් එහා පැත්තේ මහ මුහුද...ඒත් මුහුදු හුලඟ ඇහෙනවා විතරයි...මම ජනේලේ අරින්නද සුරංග..?"

"එපා...මට හචින් යන්න ගනීවි.."

"සුරංග අපි බඳින්නේ කවදාද?අම්මාත් අසනීපෙන්..අපි ඉකමනට බඳිමු..එයා මැරෙන්න කලින් ආසයි මුණුපුරෙක් බලන්න..මමත් හරි ආසයි අම්මෙක් වෙන්න"

"ඔයාට පිස්සුද?මොන කසාදද?"


"ඒත් සුරංග..."

සුරංග මා නැවත ඇස් අරින විට සිටියේ නැත...මා ඇඳ රෙද්ද තුළ බොහෝ වෙහෙසට පත්ව හතිලයි..සුරංග යන විට අමතකව ඉන පටිය දමා ගොස් ඇත..මම විලාප තිබ්බෙමි..විලාපය මුවින් නොනැගුන නිසා අසරණව සිටියෙමි..
*******************************************

මම දෑස් ඇර බැලුවෙමි...මගේ ආවාස කුටියේ එක ජනෙල් පියනක් හෝස් ගා විවරය...වැල් ඇඳට තද වුන පපු පෙදෙස රිදුම් දෙයි..මම දෑස් නැවත තද කර වසා ගත්තෙමි..අතරින් පතර කදෝකිමියෙක් මිස අන් කිසිත් එළියක් කුටිය තුළ නැත..විවර වුනු කවුළුවෙන් සඳ රේඛා දෙකක් පමණක් ඇද වැටී ඇත..

මම වැල් ඇඳෙන් නැගිට ආවාස කුටියෙන් පිටතට පය නැගුවෙමි...කළුවරය...කළුවර යනු ස්වභාවයෙන්ම බිය උපදවන්නෙකි..බෝ මළුව දෙස බෝ පත් වල ශාන්ත චිරි චිරි මිමිණුමක් කාණ්දු වෙයි..මගේ පියවර පා ලකුණු තබන්නට ලොල් වූයේ ඒ දෙසටය..


බෝ මළුව පඨම ධ්‍යානය මෙන් සංවරය..හැන්දෑවේ අමදින ලද මළුව මත බොහෝ දුක් අසා සිට බෝධිය හැරපියා ඉදල් ඉරටු සිඹිනු වස් වැතිර ගත් පඬු පාට බෝ පත්ය..සිත මත ඇවිලෙමින් තිබෙන්නේ අතීත වින්දනයක අග්නි කදම්බයක් බව දනිමි..පැවිද්දෙන් සය අවුරුදු ගෙවා දැමූ පසුවද නිවා ගත නොහැකියි අළු යට ගින්න;සුරංග...
සුරංග ගැන සිතීම පවා පාපයකි..එය දෙයාකාරයකින් පාපයකි..එකක් මා මෙහෙණක් නිසාය..අනෙක ඔහු විවාහක නිසාය..බෝධියේ කඳ මැදින් පවා නිරා ගිනි දැල් පෙනෙයි..නමුදු මා අරහත්ව නොමැත්තෙමි..මා සිතද සැළෙයි..දැවෙයි..විඩාවට පත් වෙයි..සිවුරකටද සිත වසාලිය හැකිද?

මම පත්කඩය නැතිවම වැලි මළුව මත ඉඳගතිමි..සෙමෙන් ගාථා සියල්ලම කියන්නට තැත් කළෙමි..සමහර ගාථා පැටලෙයි..මම ගාථා පැටළෙන විට එය නැවත මුල සිට ඇරඹුවෙමි..අවසන ගිනි නිවී හිත මත බෝධියට වත් කළ පැන් කළසක පැන් බිඳක් ඉසින වග දැනුනි..

උදෑසනම දවසේ වත් පිළිවෙත් ඉටු කර මම ලොකු මෑණියන් බැහැදැක සුරංගගේ නිවස කරා යන්නට පය එසෙව්වෙමි..සුරංගට මාව මතක ඇත්ද , ඔහු මොනවා සිතයිද යැයි දහසක් ප්‍රශ්න මැද ඔහුගේ නිවස අසලට යන විට ඔහු දොරකඩට වී පා සේදීමට සැරසෙයි..පළමු වතුර පහරින් පා තෙත් විය...දැන් සිසිලය..

සියල්ල මතුපිටින් සේදී හද තුළ ගොස් ඇලවෙයි...

දානය පිළිගැන් වුයේ සුරංගගේ බිරිඳය..ඇය සුරංගගේ අත අල්ලා සිනහ සෙයි..ඒ මට පේන්නද?මට පෙනෙන්නට කරනවා යැයි මට දැනෙන්නේ මන්ද?

දානයෙන් පසු කෙටි දෙසුමක් කර පිට වෙන්නට මත්තෙන් සුරංග මා දෙපා ලඟ වැද වැටිණි..මා ආශිර්වාද නොකර පිටව ආමි..

දහවල මා දාහයෙන් පීඩා වින්ඳා පමණක් නොව දැඩිව හිතින්ද දැවෙමින් සිටීමි..හැන්දෑ යාමයේ ලොකු මෑණියන්ගේ කුටියට යන විට ඈත සිටම චිමිණිය දැල්වෙමින් පවතින  වග දුටිමි..ලොකු මෑණියෝ ශාන්තය..බාගදා ඇය රහත් වී සිටීදැයි සැකය..

"උපේක්ෂා මෑණියෝ..ගින්දරට  පිඳුරු  දැම්මොත් මොකක් වෙයිද?"

ඇය බලා සිටින්නේ අහස දෙසය..නමුත් කතා කරනුයේ මා සමඟය..

"ගිනි ගන්නවා මෑණියෝ"

"අපි ගිනි නිවන්න පිඳුරු දාලා හරි යන්නේ නෑ නේද?"

"නෑ මෑණියෝ"

"රාගය නැති කරන්න පුළුවන්ද ඉරිසියාවෙන්, නොසන්සුන්කමින්...බෑ නේද?මගේ ලඟින් වාඩි වෙන්න..අපි  දෙන්නාම කායානුපස්සනාව වඩමු"

"එහෙයි මෑණියෝ"

ලොකු මෑණියෝ සෙමින් කායානුපස්සනාව විස්තර කරනු ඇසෙයි..සුරංග පා ලකුණු නොතබාම පිටව යනු පෙනෙයි..

"කේසා ලෝමා දන්තා"

Comments

  1. උඹ මචං කතා රචනා කරද්දි මොකක්ද හරි ලස්සන ගලාගෙන යන ගතියක් තියනව....මේකට කමෙන්ට් එකක් දාන්ඩ..දාන්නෙ මොකක්ද කියල හිතාගන්ඩ බැරුව හිටියෙ....නින්ද්‍රා ගත සිතිවිලි වලට ආමන්ත්‍රනය කරන උබේ පරිකල්පන හැකියාව සිරාවටම...එල බං

    ReplyDelete
  2. මේක නම් හොඳයි. කාටවත් අහුවෙලා නැති කොටසක්. වචන හැසිරවීම නම් ඉතාම අගෙයි!

    ReplyDelete
    Replies
    1. ගොඩක් ස්තූතියි උපේක්ෂා අක්කේ
      😊

      Delete
  3. එක අකුරක්වත් අතාරින්න ලෝබ කමක් දැනුනා. හැමදාමත් කියවන දකින දේවල් වෙනස්ම වචන වලින් ඉදිරිපත් කරන්න ඔයාට තියෙන හැකියාවනම් මාරයි අමා.

    ReplyDelete
    Replies
    1. ගොඩක් ස්තූතියි 😊
      වරා මලී

      Delete
  4. //ඇය බලා සිටින්නේ අහස දෙසය..නමුත් කතා කරනුයේ මා සමඟය..//

    උඹේ රචනාව ඇත්තම අනන්‍යයි..... හරි ලස්සනයි.... කියවන්න ආසයි..... ඒ වගේ ම ටිකක් වෙනස් අමුතුම කතාවක්...... සුභ පැතුම්

    ReplyDelete
    Replies
    1. ගොඩක් ස්තූතියි කුරුටු 😊

      Delete

Post a Comment

Popular Posts