ඒ දිරපු කොටය


ඒ දිරපු කොටය , දිය සීරාවක් නැතිවත් පලා පැහැ ඇල්ගී පණ පිටින් හිටිය , අපි පස්සා පැත්තවල් තද කරන් හිටිය තැන විතරක් දුඹුරු පාට...මම හිටියේ නැගෙනහිර පැත්ත බලාගෙන...ඒ පැත්ත කළුවරයි..කට්ට කළු තිත්ත කළුවර නෙමෙයි..පට්ට අළු තෙත්ම තෙත් කළුවරක් ඒක..එයා මට වාරුවක් දුන්නා...මම එයාට වාරුවක් දුන්නා...හරි සිම්පල් ප්ලෑන් එකක් ඒක..
මම හෙමින් මගේ සාක්කුවට අත දැම්මා...සාක්කුව ඇතුලෙන් මුලින්ම එළියට ආවේ බාගයක් ඉවර වෙච්ච රෝස පාට ලයිටරේ..ඊට පස්සේ ආවේ රත්තරන් කොළයක ඔතපු සිගරට් පැකට් එක...පැකට් එකටම ඉතිරි එකම එක සිගරට් එකයි..මම ලිප්ස්ටික් ගාපු තොල් අස්සේ තියලා සිගරට් එක තද කරගෙන ලයිටරෙන් පත්තු කලා..


"කෝ මට නැද්ද?"


මේඝ බලාගෙන හිටියේ බටහිර පැත්ත...අර මැරුණට පස්සේ මිනියේ ඔළුව හරවලා තියෙන පැත්ත...ඒ පැත්ත මට පේන්නේ නෑ...ඒ පැත්ත නම් එළියයි වගේ..
එළියයි කිව්වේ එයාගේ හෙවනැල්ල යාන්තමට මගේ කකුළ ගාව ගෑවි නොගෑවි තියෙන නිසා...මම ඕනිකමින්ම කකුළ හෙවනැල්ලෙන් ඈත් කරගත්තා..පෑගුනොත් එහෙම!


"එකයි තියෙන්නේ..ආ..ඔයත් උගුරක් ගන්න"


මම එහෙම කියන ගමන් මගේ කොපර් පාට කොණ්ඩය උඩින් එයාගේ කළු පාට තොප්පියට වහාම ඉහළින් සිගරට් එක අල්ලගෙන හිටියා..එයා සිගරට් එක ගත්තේ ක්ෂණිකව..සිරාවටම මළ පෙරේත ඩයල් එකක් ..


"ඝර්ජී..ඔයා මේ පැත්තට හැරෙන්න...අර අර..ඉර බැහැගෙන යන ලස්සන..ඉර මේ තරම් ලේ තැඹිලි පාටට කලින් මම දැකලා නෑ...එක පැත්තක වළාකුළු තීරුවක්...අනිත් පැත්තේ පෝස්ටර් පේන්ට් හලලා වගේ වළාකුළු නැති හිස්තැන්"


මට කිසිම දෙයක් වෙනස් කරන්න ඔනි වුනේ නෑ...මට ඕනි වෙලා තිබ්බේ හැමදේම සිද්ද වෙනවාය කියන විදිහට සිද්ද වෙන්න...අඩුම ගානේ මේඝ මට දකින්න බලකරන එළිය දිහා බලන්නත් මට තිබ්බේ වැක්කිරිලා බේරෙන උදාසීනකමක්...ඒත් ටිකකින් මේඝගේ හෙවනැල්ල අතුරුදහන් වෙලා ගියා...ඒ වෙන කොට මං ඉන්න පැත්තෙන් හඳ පායගෙන එනවා...හැරුනා නම් අපරාදේ...!


"මේඝ..කැමතිනම් හැරෙන්න මගේ පැත්තට...දැන් මේ පැත්තේ හඳ පායලා...හඳ පළුවක් බව ඇත්ත...ඒත් ඒක වැඩිත් තරම් මේ වගේ වෙලාවකට"


"මම මුළු හදවතින්ම කැමතියි හැරෙන්න...ඒත් හදවත කියන එකට ඉඩක් දෙන්න බැරි තරමට අපි මෝරලා...අපිට අපේ කැමැත්ත බිල්ලට දීලා ජීවිතය රැකගන්න සිද්ද වෙලා...මට හැරෙන්න අමාරුයි..නෑ නෑ මට හැරෙන්න බෑ..ඔයාටත් පුළුවන්ද ආපස්සට හැරෙන්න..බෑ නේද"


"මට ආපස්සට හැරෙන්න තරම් හොඳ ආපස්සක් නෑ...මම ඔයාගේ පැත්තට හැරෙන්නේ නැත්තේ හේතු කන්දරාවක් නිසා...ඒ හේතු වලින් මහ පොදු හේතුව මම ඔයාට නොසෑහෙන්න ඇබ්බැහි වෙලා ඉන්න එක...මම ඔයාට පිට දීගෙන ඉන්න තාක් කල් මට ඔයාව නැති නොවේවි...ඔයා ඉන්න පැත්තට හැරෙනවා කියන්නෙම අවදානමක්..ඔයාව නැති වෙයි කියලා දැනෙන පොඩි අවදානමක්වත් ගන්න තරමට මම මෝරලා නෑ!"

"පිස්සි! දැන් කතා කරන්නේ හරියට බකපණ්ඩිත ගෑනියෙක් වගේ...සිගරට් වල පවර් එකද?"


මේඝ හිනා වෙන සද්දේ කන් දෙක පසාරු කරන් යනවා විතරක්ම නෙමෙයි..එයා හිනා වෙනකොට ඒ සද්දේ පෙනහළු වලින් දෝන්කාරයක් වෙලා ඇවිත් 'ගොජ ගොජ' සද්දෙන් එයාගේ පිට හරහා මගේ හදවත හොලවනවා...මට මාවම සමබර නැති වෙන විදිහට හදවත හෙලවෙනවා...එයා හිනා වෙනවා..


"ඔයා හම්බවෙන්න කලියෙන්..ඒ කියන්නේ එකදහස්..නෑ..දෙක දහස් අවුරුදු ගනන් වල මම සිගරට් බිව්වේ නෑ..ඒකත් පුරුදු වුනේ ඔයාගෙන්...ඔයා වගේ දුම් පිඹින්න පුරුදු වුනේ මම ලඟදි හැබැයි...දැන් මට උදේට ලැට් එකට යන්නත් සිගරට් එකක් ඔනි..නැත්නම් ඒකවත් හරියට වෙන්නේ නෑ"


"එච්චරට බොනවද?මම දැන් බොන්නෙම නෑ වගේ...ඔයත් බොන්න එපා..."


"මට එපා කියන්න එපා...අන්තිමට ඔයාගෙන් ඉතිරි මට මේ ඇබ්බැහිය විතරයි..ආ..ඇයි ඔයාගේ අත්වැරැද්ද..ඒකත් ඉතිරි.."


"මොන වැරැද්දද?"


"අම්මා මංගල දැන්වීම් වල ලියලා යවන සුළු අත්වැරැද්දක් වුන කියන එක..."


මේඝ නහය ඇතුලෙන් අමුතු සද්දක් දාලා ගෙරෙව්වා...පස්සේ එක දිගට එක දිගට එක දිගට හචින් පෝළිමක් යැව්වා...ඒ හැම හචිමක් එක්කම මම ගැස්සුනා...


"අත්වැරදි වලට නෙමෙයි දැන් මිනිස්සු අත්වැරදි කියන්නේ...මුන් හැමෝටම පිස්සු..අම්මා ඕක ලියන හැමවෙලේම වගේ මාව හිනා ගිහින්ම මැරෙන්න යනවා...හයියෙන් ගොඩක් වෙලා හිනා වුනාම දරාගන්න බැරි තරම් මහන්සියි..පස්සේ පස්සේ ඇස් වලින් කඳුළුත් එනවා.."

මේඝගේ මහ ගොරෝසු අත් වලින් එයා බීලා ඉතිරි වෙච්ච සිගරට් ෆිල්ටරේ මගේ අත උඩින් තිබ්බා...මම ෆිල්ටරේ කෘන්තක දතකට තියලා තද කලා...ඒ ෆිල්ටරෙන් පෙරෙන්නේ නැතිවම කටට ආපු කටකාරවන කහට රහ..ඒ මේඝගේ හුස්ම රහ!


"මගේ පස්ස රිදෙනවා ඝර්ජී..ඇරත් මේ කොටේ ඉන්න පුංචි සත්තු මගේ පස්ස පහුරු ගානවා...මට තව මේ කබල් කොටයට බරක් වෙන්න බෑ වගේ...කුෂන් පුටුවක් තිබ්බා නම්..බගයක්දා තව විනාඩියකට වඩා ඉන්න තිබ්බා"


"මම මෙතනට ආවේ කුෂන් කොට්ට, ස්ප්‍රින් ඇඳවල් , සෝෆා විසිකරලා...මට පස්ස රිදෙන්නේ නෑ...ඔයාට රිදෙනවා නම් යන්න..පස්ස  පැත්තේ රතු බුබුළු දාවි කියලා බයයි නම් යන ගමන් බාම් කුප්පියක් අරන් යන්න"


"එතකොට ඔයා?ඔයා කැමති නම් මේ පැත්තෙන් යමු..එහෙම ගියොත් මට අත්වැරදි නිවැරදි කරන්න අවස්තාවක් ලැබෙන්න පුළුවන්...අර බලන්න..තව ටිකකින් හඳ එන්නේ මගේ පැත්තට..."


මේඝ විදුලියක් වගේ නැගිට්ටා..මම මදුරුවෙක් චප්ප කලා...


"මට බෑ..ඒක හරි ස්ථීරයි..හෙට වෙද්දි ඉර පායන්නේ මගේ පැත්තෙන් විත්තිය...ඔයාගේ අත්වැරදි හරි ගස්සන්න මට මගේ පැත්ත වෙනස් කරන්න බෑ..ඔයා දැන් යන්න..කුෂන් කොට්ටයක් හම්බ වෙනකන් යන්න...පස්ස තියාගෙන පරිස්සමට ඉඳගන්න"


එයා අහන් හිටියාද මන්දා...පස්සෙන් පහු මට අඩි සද්දයක් වත් නෑහෙන ගානක් ආවා..
දැන් ඒ දුඹුරු දාරුමය කොටය උඩ හිටියේ තනි මම, පාසිමය පස්සා පැත්තක් එක්ක!
දෙන්නෙක්ම බීලා ඉවර කරපු සිගරට් කොටය තාම දත් අස්සේ තද වෙලා..මේඝ, මහ කහට රහයි උඹ!

Comments

  1. ගින්තර පහට තියෙයි බං..
    කෝම මේ වගේ ඉටිකිරිස් අයිඩියාස් එනවද මංද...
    ජයවේවා

    ReplyDelete
  2. ගෑනු හිත කියවීම නම් තක්කෙටම පුළුවන්.... කතා එකිනෙකට වෙනස්ව ලියන්න බලන්න.

    ReplyDelete
    Replies
    1. තැන්ක්යූ උපේක්ෂා අක්කේ..ඊලඟ කතාව මීට ගොඩක් වෙනස් වෙයි :)

      Delete
  3. වාව් මචං වාව්....උබනම් මාරම සාර්තකයි මචං....සිද්දි දාමයන් ගෙතීමේ....චරිත හැසිරවීමේ.....පරිකල්පන ගොඩ නැගීම....රචනය...භාශා භාවිතය...වාව් වාව්

    ReplyDelete
  4. ලස්සනයි, දිගටම ලියන්න,

    ReplyDelete
  5. උඹේ කතා දැන් සෑහෙන මට්ටමකට ඇවිත්. සතුටුයි ඒ ගැන.

    ReplyDelete
    Replies
    1. තැන්ක්යූ දිනේෂ් අයියේ ^_^
      ඒක නම් සතුටට කාරණාවක්

      Delete

Post a Comment

Popular Posts