පොදු සාධකය

හැමතැනම මිදිලා...හිම වගේ සුදු පාට කඳුළු කාමරේ හැමතැනම...හීතලයි...අපි දෙන්නගෙ කාමරය දැන් එයාගෙයි මගෙයි වෙලා...දැන් එයා එයාගේ දේශ සීමාව කාමරේ ලකුණු කරගෙන ඉවරයි...ඉතිරි පංගුව මගේ...කසාද සහතිකේ තරම් විතර ඉඩක, ඇඳේ කෙළවරක භද්‍රාසනෙන් මම ඉඳගෙන හිටියා..සුදු පාට කොළ උඩ සීරුවට හිට ගත්ත අකුරු; ඒ මගේ කවි..එයාට ලියපුවා..සමහර කවි දැන් මැරිලා..ඒ කවි වල අවතාර විතරක් කොළ වල ඉතිරි වෙලා...
 " ෆෑන් එක ඕෆ් කරනවද? සීතලයි"
වෙනදට ෆෑන් එක ඕෆ් වෙන්නේ නැහැ...එයා ඇවිත් හීතල නැති වෙන්න බදා ගන්නවා..ඒත් අද ෆෑන් එක ඕෆ් වුනෙත් නැහැ...බදා ගත්තෙත් නෑ..ඉතින් මම හීතලට හුරු වුනා..මම කියපු දේ එයාට ඇහුනේ නෑ වගේ හිටියා...මගේ කටහඬත් හීනි වෙලා.. ..දැන් එයා මගේ කටහඬට බීරි මනුස්සයෙක් ගානයි...
මම අහලා නැති ඉංග්‍රීසි සින්දුවක් කියාගෙන එයාගේ ෆෝන් එක කෑ ගහන්න ගත්තා..අහලා නැති වුනාට ඒ සින්දුව ලස්සනයි..හෙමින් දණහිසට තට්ටුවක් දාලා තාල අල්ලන්න තරමට ලස්සනයි ඒ සින්දුව..එයාගේ මූණෙ ක්ෂීරපථය සිත්තම් වෙලා....ලස්සනට හිනා වෙලා ෆෝන් එක ආන්ස්වර් කලා...එයා හිනා වෙන්නේ ඉස්සර වගේමයි...ඇස් සරල රේඛාවක් කරලා දත් නොපෙනෙන්න...එයාගේ හිනාව වචන වුනා...වචන දුරකතන විදුලි සංඥා වල තැවරිලා කාමරේ පුරාම විහිදුනා...මගේ දේශ සීමාවට එයා විදුලි සංඥා වල තවරපු හාදුත් වැරදීමකින් ගහගෙන ආවා...සම්පූර්ණයෙන්ම වැරදීමකින්...ඒ හාදු මගේ කම්මුළ් , තොල් නොදැක්ක ගානට පා වුනේ...මම ඒ හාදු වලට අත වැනුවා..ඒත් අත වනනවා බලන්නවත් හාදු මොහොතක් වත් නතර වුනේ නැහැ...ආපස්සට හැරුනේ වත් නැහැ..
අපේ යුගල ඇඳේ හරි කෙළින් අපේ පුතාගේ රාමු කරාපු පින්තූරයක් තනි ඇණයකින් එල්ලිලා හිටියා...දැන් අපේ කියන්න ඉතිරි පුතා විතරයි..ඉස්සර අපේ වෙච්ච ගොඩක් දේවල් මගේ නැත්නම් එයාගේ..දැන් අපි දෙන්නා අපේ කියන වචනය කියන්නෙම නැති තරම්..ප්‍රශ්න ඔක්කෝම එක පෝළිමට තිබ්බොත් මහ පොදු සාධකය විදිහට අපේ පුතාව එලියට ගන්න පුළුවන්..පුතාට තිබ්බේ මගේ ඇස්..එයාගේ හතරැස් ඇහිපිහාටු...මගේ තොල්..එයාගේ දත්..අපි දෙන්නාගෙම නොවෙන සළකුණු ගොඩකුත් පුතාට තිබ්බා....ඒ එයාගෙ දේවල්...මමයි එයයි නොවෙන වෙනත් ජීවියෙක් විදිහට එයාට ජීවත් වෙන්න ඒක වැදගත්..එයාගේම සළකුණු!
 "මනස්ගාත කවි ලිය ලියා ඉන්න මොලේ අමාරුවක් තියෙන ගෑනියෙක්ට මගේ පුතාව දෙන්නේ නැහැ.."
දැන් ෆෝන් එක ආයිත් සද්දයක් නැතිව ඉන්නවා...එයා ඔරවලා බැලුවේ මගේ ඔඩොක්කුවේ තිබ්බ මම ලියපු කවි දිහා..එයා එහෙම කියන කොට අකුරු කොළ වලින් බැහැලා ජනේලෙනුත් එළියට ගියා..දැන් ඉතිරි සුදු කොළ මිටියක් විතරයි...
 "මගෙත් දරුවා"
මම කිව්වෙ එච්චරයි...මට තව කොච්චර දේවල් කියන්න තිබුනත් දැන් මට මහන්සි..මට ඕනිනම් ජාතක පොතේ ඉදන් කුරානය වෙනකන්, බයිබලේ ඉදන් මහාභාරතය වෙනකන් තර්ක කරන්න තිබ්බා...තර්ක වලට හැඟීම් නෑ...මම හිටියේ හැඟිම් කෝටියකින් නොසෑහෙන්න තෙත් වෙලා..එයා එයාගේ දරුවා කියලා ඔප්පු කරන්න ඇස් දෙකම කළු රෙදි පටියකින් ගෙට ගහගෙන හිටපු තරාදියක් අතින් අර ගත්ත ගෑනු මනුස්සයෙක් ව ඇඳ මැද්දෙන් එයාම හදපු තාප්පය උඩට නැග්ගුවා..තරාදියේ එක පැත්තකින් අපේ පුතාවත් අනිත් පැත්තෙන් එයාගේ තර්කත් දැම්මම පුතා ඉන්න පැත්ත උඩ ගියා...බලාගෙන මගේ පුතේ..වැටේවි!
 "ඔයාට මතාකද මම ඔයාට දුන්න පළවෙනි කවිය?"
එයා ඉස්සර කවි ලියපු මට කැමතියි....මම ඒ දවස් වල, අපි ආදරේ කරපු කාලේ එයාව කවි වල හෙවනැලි අස්සේ හෙවනැල්ලක් කරපු නිසා වෙන්න ඇති....ඒත් දැන් හැමතැනම කළුවරයි...ඉතින් කවි වලත් හෙවනැලි නැහැ..කළුවර විතරයි..එයාට මම කියපු වචන කාමරේ බිත්තියක ඔළුව හප්ප ගත්තා...එයා බීරි වෙච්ච ගානට සද්ද නැතිව හිටියා...
 "එයා අපේ දරුවා...එයාව අපි දෙන්නටම අයිති නැහැ....එයාව අයිති එයාට.."
එයා සුදු මැලි වෙලා..මම රතු වෙලා..අපි දෙන්නම බලාගෙන හිටියේ පුතා දිහා...පුතා තාමත් එකම විදිහට හිනා වෙනවා...
එයාගේ දේශ සිමාවට වෙලා එයා මගේ වැරදි එකතු කරලා මට බොම්බ විසි කරනවා..බණිනවා..මම අහගෙන හිටියා..එයාගේ බොම්බ වැටෙන තැන් වලින් හිට ගත්තා...මම බලන් හිටපු විදිහට එයාට බණින එක එපා වෙලා මට පිටු පාලා නිදා ගත්තා...මම තාමත් එරමිණිය ගොතාගෙන හිනා වෙන පුතාගේ මූණ දිහා බලන් ඉන්නවා..පුතේ ඔයා හිනා වෙන්නේ අම්මාටද? තාත්තාටද?....

Comments

Post a Comment

Popular Posts